නැව නිසා කැස්බෑවන් 417 ක් ඩොල්ෆින් 48 ක් සහ තල්මසුන් 8 ක් මැරිලා

473

පසුගිය මැයි 20 වැනිදා ගිනි ගැනීමට ලක්වූ එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් මහ මුහුදට පෙට්ට්‍රොලියම් රසායනික ද්‍රව්‍ය අඩංගු බොර තෙල් (හෙවි පුවල් ඔයිල්* මිශ‍්‍ර වී ඇති බව රජයේ රස පරීක්‍ෂකවරයාගේ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තා අනුව අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඊයේ (30දා* පස්වරුවේ කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රදීපා ලෝචනී අබේවික‍්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නාය.

මුහුදු ජලයෙන් ලබාගත් ජල සාම්පල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණවලදී ඒ බව අනාවරණය වී ඇති බවත් එකී රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීම නිසා මේවන විට කැස්බෑවන් 417 ක්, ඩොල්ෆින් 48 ක් හා තල්මසුන් 8 ක් මියගොස් ඇති බවත් මාධව තෙන්නකෝන් මහතා එහිදී අධිකරණයට පැවසීය.

එකී ගින්න සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන, විමර්ශන නිලධාරීන් හා වරාය අධිකාරිය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් නිසි වගකීමකින් තොරව කරනු ලබන ප‍්‍රකාශ නිසා ශී‍්‍ර ලංකාවට හා ශී‍්‍ර ලංකාවේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවී ඇතැයි ද මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට කීවේය. එකී නෞකාව හිමි සමාගමේ දේශීය නියෝජිත ආයතනය, එකී සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ප‍්‍රමුඛ සැකකරුවන් හා නැවේ කපිතාන්වරයා ඇතුළු පාර්ශ්ව නියෝජනය කරන නීතිඥවරුන් රටේ කීර්ති නාමයට හානියක් වන අයුරින් විමර්ශන සම්බන්ධයෙන් සිදුකරන එවැනි හානිදායක කරුණු දැක්වීම් තම දෙපාර්තමේන්තුව දැඩිව හෙළා දකින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් කීවේය.

රටේ කීර්තිනාමයට හානි සිදුවනුයේ තමන් ඇතුළු විත්තියේ නීතිඥවරුන් පෙන්වා දෙනු ලබන කරුණු නිසා නොව විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුත්තන්ගේ හැසිරීම් රටාව අනුව වන්නේ යැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එහිදී පැවසීය.

එකී රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට කාන්දුවීමෙන් පරිසරයට හා මුහුදු ජීවීන්ට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව වැනි දෙපාර්තමේන්තු දැඩි කැපවීමකින් විමර්ශන සිදු කරන බවත් එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය.

රජයේ අධිනීතිඥ අසිස් මලික්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

එම දේශීය නියෝජිත ආයතනය විසින් විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති පරිගණක දත්තවල (බැකප්* එකී ආයතනයේ අතිශය රහසිගත ව්‍යාපාර තොරතුරු ඇති බැවින් විමර්ශන සඳහා අවශ්‍ය තොරතුරු ලබාගෙන සෙසු ඒවා යළි සමාගමට භාරදෙන ලෙසට නියෝගයක් කරන්නැයි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සහ ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment