නැෂනල් සුපර් ලීග් සිව්දින ක‍්‍රිකට් තරගාවලිය: කලම්බු වෙනුවෙන් කුසල් ලකුණු අතරට

150

නැෂනල් සුපර් ලීග් සිව්දින ක‍්‍රිකට් තරගාවලිය යටතේ හම්බන්තොට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට පළමු ඉනිම ක‍්‍රීඩාකරමින් සිටින කලම්බු කණ්ඩායම කඩුලූ 6 කට ලකුණු 224 ක් ලබා සිටියේය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් කලම්බු කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න සහ ක‍්‍රිෂාන් සංජුල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සාර්ථක ආරම්භයක් එක් කළහ. ජැෆ්නා නායක ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ සමින්ද ප‍්‍රනාන්දු උඩ පන්දුවක් රැක ගනිමින් දිමුත් දැවී යන විට ලකුණු 39 ක් ලබා සිටියේය. ඊට ලකුණු 4 ක් එක්කාසු වන විට ක‍්‍රිෂාන් සංජුලද ලකුණු 39 කට දැවී ගියේ ජෙෆ්රි වැන්ඩර්සිගේ පන්දුවක් හමුවේ කඩුලූ රැකි සධීර සමරවික‍්‍රම උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

දිනයේ නොසැලූණු පිතිකරුවා බවට පත් වුණු කුසල් මෙන්ඩිස් නොබිඳුණු ලකුණු 83 සඳහා පන්දු 185 කට මුහුණ දුන්නේය. වඩා ඉවසිලිවන්තව පන්දුවට පහර දුන් දකුණත් පිතිකරුවා තම ඉනිම හතරේ පහර 8 කින් වර්ණවත් කරගෙන සිටියේය. මාධව වර්ණපුර සමග එක්වූ කුසල් මෙන්ඩිස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 111 කලම්බු ඉනිමේ හොඳම කඩුලූ සම්බන්ධතාව ලෙසින් සටහන් විය. ඒ වෙනුවෙන් මාධව වර්ණපුරගේ දායකත්වය පන්දු 150 කදී ලකුණු 42 ක් විය.

නුවන් ප‍්‍රදීප් විසින් මාධවගේ කඩුල්ල දවා ගැනීමත් සමග යළිත් තරගයට අවතීර්ණ වුණු ජැෆ්නා නායක ධනංජය ද සිල්වා දිනය අහවර වන විට තවත් ලකුණු 9 ක් ඇතුළත කඩුලූ 2 ක් දවා ගත්තේය. පන්දු යැවීමෙන් වැඩි ඵල නෙළා ගන්නා ලද්දේ ධනංජය වන අතර ඔහු ලකුණු 42 කට කඩුලූ 4 කට හිමිකම් කීය. දැවී ගිය කඩුලූ 6 න් ඉතිරි කඩුලූ 2 නුවන් ප‍්‍රදීප් සහ ජෙෆ්රි වැන්ඩර්සි අතරේ බෙදී ගියහ.

කලම්බු පන්දු වාර 90 කදී කඩුලූ 6 ට ලකුණු 224 යි – (කුසල් මෙන්ඩිස් 83, දිමුත් කරුණාරත්න 39, ක‍්‍රිෂාන් සංජුල 39, මාධව වර්ණපුර 42, නිසල් තාරක 11, ධනංජය ද සිල්වා 42/4, නුවන් ප‍්‍රදීප් 24/1, ජෙෆ්රි වැන්ඩර්සි 58/1)

advertistmentadvertistment
advertistmentadvertistment