නැෂනල් සුපර් ලීග් සිව්දින කි‍්‍රකට් තරගාවලිය

142

අර්ධ අවසන් වටයට එක දවසයි
කොළඹ 8 දෙනකුට කොවිඩ්

හෙට (31 වැනිදා) ආරම්භ වීමට නියමිත නැෂනල් සුපර් ලීග් සිව්දින කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් වටය සඳහා කී‍්‍රඩා කරන කොළඹ කණ්ඩායමේ 8 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඊයේ (29 වැනිදා) සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බවට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආරංචිමාර්ග සඳහන් කර සිටී.

පී.සී.ආර්. පරීක්ෂණයට අනුව කොළඹ කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කරන රොෂේන් සිල්වා, ප‍්‍රභාත් ජයසූරිය, ළහිරු මදුසංක, නිපුන් ධනංජය සහ අශේන් බණ්ඩාර යන කී‍්‍රඩකයන් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. මීට අමතරව කොළඹ ප‍්‍රධාන පුහුණුකරු දර්ශන ගමගේ, භෞතචිකිත්සකවරයා සහ කළමනාකරු පි‍්‍රයන්ත උදයරත්න යන අයටද කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ හේතුවෙන් හෙට ආරම්භ වීමට නියමිත අර්ධ අවසන් වටය සඳහා කී‍්‍රඩා කරන කොළඹ කණ්ඩායම මේ වනවිට දැඩි අර්බුදයකට පත්ව තිබේ.

නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ අර්ධ අවසන් වටය සඳහා කොළඹ, යාපනය, මහනුවර සහ ගාල්ල යන කණ්ඩායම් තරග වදිනු ලැබේ. ඒ අනුව තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන කොළඹ කණ්ඩායම සහ සිව්වැනි ස්ථානයේ පසුවන යාපනය කණ්ඩායම අතර තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීද දෙවැනි ස්ථානයේ පසුවන මහනුවර සහ තෙවැනි ස්ථානයේ රැඳී සිටින ගාල්ල කණ්ඩායම අතර තරගය මහනුවර පල්ලකැලේ ක‍්‍රීඩාංගණයේදීද පැවැත්වේ.

මෙම තරගවලින් ජයගනු ලබන කණ්ඩායම් අපේ‍්‍රල් මස 07 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මේ අතර තරගාවලියේ ශූරතාව දිනාගනු ලබන කණ්ඩායම සඳහා ශූරතා කුසලාන සමඟ රුපියල් ලක්ෂ 50 ක (රු. 5,000,000/=) මුදලක් පිරිනැමීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අනුශූරතාවට පත් කණ්ඩායමට රුපියල් ලක්ෂ 25 ක් (රු. 2,500,000/=) පිදෙන මෙම තරගාවලියේ තරගාවලියේ වීරයා සම්මානය සඳහා රුපියල් ලක්ෂ 5 ක් (රු. 500,000/=), හොඳම පිතිකරුට රුපියල් දෙලක්ෂ පනස්දහසක් (රු. 250,000/=) සහ හොඳම පන්දු යවන්නාට රුපියල් දෙලක්ෂ පනස්දහසක (රු. 250,000/=) මුදලක් පිරිනැමීමට තරග සංවිධායකයෝ පියවර ගෙන තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment