නිදහසට කරුණු කියන්න සනත් නිශාන්තට නොතීසි

92

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නිදහසට කරුණු ඇත්නම් ලබන 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට නොතීසි යැවීමට අභියාචනාධිකරණය ඊයේ (08 දා) නියෝග කළේය.

වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා පසුගිය 28 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකට එරෙහිව නීතිඥ ප්‍රියලාල් සිරිසේන හා නීතිඥ විජිත කුමාර යන මහත්වරුන් ගොනු කර තිබූ පැමිණිලි කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය එම නියෝගය කළේය.

වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයා එකී ප්‍රකාශ රටේ නීතියට, අධිකරණයට හා අධිකරණ විනිසුරුවරුන්ට කළ දැඩි අපහාසයක් වන බැවින් එම මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ දර්ශන හඬපට අධිකරණයට කැඳවා වහාම විභාගයක් සිදුකර වගඋත්තරකරුට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා එම පැමිණිල්ල ගොනු කර තිබිණි.

අධිකරණයට, විනිසුරුවරුන්ට හා නීති ආධිපත්‍යයට අපහාස වන අකාරයේ එවැනි ප්‍රකාශ සිදු කරන කුමන තරාතිරමක පුද්ගලයෙකුට වුවත් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ප්‍රමුඛ නීතිඥවරු, නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment