නිදහසට 75 යි: නිදහස් සටන් මඟ උදන් වැකි

212

සැත්තෑ පස්වන වියෙහි පසුවෙන නිදහස් කුමරිය යෞවනයේ සුපුන් නිසයුරු තවම අතැර නොගියා සේය. ඇය පිළිබඳ මෙතෙක් වියතුන් දෙස්පාලකයන් මෙන්ම ජාතික විරුවන් විසින් පළකරන ලද නිර්වචන මඳක් පෙළගස්වා බලන්නට මට සිතෙයි. එය මෙතෙක් අප විසින් ගෙවන ලද හැත්තෑපස් වසරක යටගියාව යාම්තමින් හෝ සැමරුමට ප්‍රස්ථාව උදාකර ගැනීමක් සේ සලකමි. 1948 නිදහස උදාවීමත්, ප්‍රථම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා බවට පත් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා ජාතික නිදහස පිළිබඳ කෙරෙන විස්තරයකදී ‘අප දිනාගන්නා ලද්දේ හුදෙක් දේශපාලනමය නිදහසක් පමණි. එහෙත් එකී නිදහස් පරිසමාප්ත අර්ථය සිදුවීමට නම් අප ආර්ථික වශයෙන්ද කෘෂිකර්ම පදනම ඔස්සේ ශක්තිමත් විය යුතුය.” 1956 මහජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ කොට පංච මහා බලවේගයේ මහිමයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරයට පත් දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එයට සමාන්තර අදහස් ඉදිරිපත් කොට එය වචනයට පමණක් සීමා නොවී අර්ථවත් එහෙත් පැවැති පූර්ණ නිදහසට සම්බාධක වුණු අධිරාජ්‍යවාදී නටඹුන් කෙරෙන් ශ්‍රී ලංකාව මුදාගෙන “අප මෙතෙක් ආ ගමනේ ලද නිදහස අර්ථවත් වන්නේ දැනට පවත්නා වරාස බන්ද පූර්ණ වහල්භාවයෙන් මිදීමට ප්‍රමාණවත් ආර්ථික හා සංවර්ධන පසුබිමකට බාධක වන විසල් බැමි බිඳ සමාජවාදී ගමනකට පියවර තැබීමෙන් පමණි. එතෙක් විවිධ ප්‍රතිවිරුද්ධ බලවේග ඉස්මතුවීමෙන් එකී ප්‍රයත්නයද එතුමාට ජීවිත පරිත්‍යාගයෙන්ම අවසන් කිරීමට සිදුවීමේ ඛේදයද මෙහිදී පළ කිරීමට සිදුවෙයි.

නිදහස උදාවීමට පෙර ජාතික නිදහස පතා කෙරුණු සටන් ඉතිහාසයේ සුවිශේෂී කැපී පෙනෙන ටිබට් ජාතික එස් මහින්ද හිමියන් කවිය අවිය කොට නිද්‍රාශීලී ස්වදේශීය ජනතාව අවදි කිරීට ගත් කාව්‍යමය පියවරද ඒ හා සමගාමීව පියදාස සිරිසේන මහතා ප්‍රබන්ධ සාහිත්‍යයෙන්ද අනගාරික ධර්මපාලතුමා බෞද්ධ බලවේගය ඔස්සේ දෙන ලද පන්නරය ද කැපී පෙනෙයි. ‘නිදහස් මන්තරය’ මෙන්ම විවිධ කාව්‍ය ප්‍රබන්ධ මතින් ඉහත කී පරිදි එස් මහින්ද හිමියන්ගේ සේවාව කැටි කෙරෙන එක් කවියක් පමණක් උධ්‍යෘත කොට දක්වමි.

“කෙස්ගහ පවා පිටරටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
ඉස් මොල තිබෙද්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ වැදිලද සිහලුන්නේ”

සමකාලීන ඇතැම් වියතුන් මහින්ද හිමියන්ගේ මෙවන් ප්‍රබන්ධයන්හි භාෂාත්මක භාවිතාවන් පිළිබඳ විචාරණය කළද කවිය අවිය කොට කරන ලද නිහඬ ජාතික සටනක ප්‍රතිඵලය නම් එම විචාරයන් බිඳ දමන සුළුය.

ජාතික නිදහස් දිනය හා වීරදින සැමරුමට 1989 සංස්කෘතික අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දීප ව්‍යාප්තව පැවැත්වූ ළමා කාව්‍යකරණයකදී ප්‍රථම ස්ථානය දිනූ රාජිකා රම්‍යකුමාරි ජයතිලක ශිෂ්‍යාව සිය කවිපෙළට ඇතුළත් කළ එක් කවියක් තවම මා මතකයෙන් ගිලිහී නැත. ඒ ජාතික වස්තුවක් වන වීරමද්දුම බණ්ඩාර කුමරු පිළිබඳවය.

“සිංහලයෙකුට දාවී ඉපදුණු හන්දා
එඩිතර මවකගෙන් මව්කිරි බිව් හන්දා
මරණය මැරූ විරු දරුවකු වූ හන්දා
හෙළ ඉතිහසේ ඇත සදහට නම රන්දා”

මහාචාර්ය විනී විතාරණ සුරුවෝ ‘වීරාභිවාදා’ සංස්කෘතික කලාපයට සැපයූ ලිපියකින් “මළ විරුවන් හා නොමල විරුවන්” පිළිබඳ සැබෑ විවරණයක යෙදුණාහ. ඒ ජාතික වීර නාමාවලිය ඇසුරෙන් තෝරාබේරා ගන්නා ලද සියුම් විශ්ලේෂණයකිනි. ශ්‍රී ලංකාව යටත් විජිතයක් වීමට පෙර සිටම බටහිර අධිරාජ්‍යවාදයෙන් මිදීමට ගත් උත්සාහයන්, නොමළ විරුවන් පිළිබඳ අභිමානය අප තුළ දනවයි.

නිදහසට 75 යි: නිදහස් සටන් මඟ උදන් වැකි
නිදහස් ලංකාවේ ප්‍රථම ඇමැති මණ්ඩලය

1815-1915 සියවසක් පුරා ඇවුළුණු නිදහස් සටන් පෙරමග සුදිලෙන විරුවරුද සිය විරුවදන් මතින් අවදි කළේ අතීත ගම්භීර සිංහ නාදයන්ය. වීර කැප්පෙටිපොළ වීරවරයා රුපු කඩුවට ගෙල පෑවේ ඔහුගේ භන්දාවේ තිබුණු “ධම්මපදයේ’ එන එක කවියක් කියවමිනි”

“මා මරණයට බය නැත. පිටදේශක්කාරයන්ට යටත්ව නිවට ලෙස ජීවත්වනවාට වඩා රට ජාතිය ආගම වෙනුවෙන් යුදවැද නිවහල් මිනිසකු ලෙස කඩුවට ගෙල පා ජීවිතය පූජා කරන්නට ලැබීම ඉමහත් සතුටකි.” යන විරුවදනට අමතරව මුලදී තමා නිලවශයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියෙන් බැහැරව සිංහල කැරළිකරුවන් අතරට එක්වූයේ “නුඹලාගේ ආයුධ නුඹලාම තියාගනිල්ලා, එම නිවට නියාලු ආයුධවලින් මගේ රටවැසියන් ඝාතනය කිරීම මගේ පිළිවෙත නොවේ. මේ ආයුධ ආපසු භාරගෙන වහා පිටත්ව යව්” එය අධිරාජ්‍යවාදී බලයට එරෙහිව පෑ ප්‍රබල වාග් ප්‍රහාරයකි. කාහලනාදයකි. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත්වන 1818 සිංහ – ඉංග්‍රීසි උඩරට ගිවිසුම මැනවින් අධ්‍යයනය කරමින් සිංහල පිටපතේ ව්‍යාජ පරිවර්තනය කෙරෙහි අවධානය යොමුකොට ඉංග්‍රීසි ආණ්ඩුවට ඒ බව පැහැදිලි කිරීමට ඊ. ඩබ්. පෙරේරා මහතා (කෝට්ටේ සිංහයා පිටත්ව ගියේ එම ලිපි ලේඛන සිය පාවහන් යුගලයේ එකක සඟවාගෙන බව ඓතිහාසික වාර්තා සටහන් කරයි.) ආත්ම පරිත්‍යාගයෙන් ස්වකීය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ක්‍රියාකළ නොමල විරුවන් අතර ‘කෝට්ටේ සිංහයා’ සදානුස්මරණීයය. 1915 සිංහල මුස්ලිම් අරගලයට සම්බන්ධව සිපිරිභාරයට ගත් ජනනායකයන් ජීවිතක්‍ෂයට පත්වුවහොත් ඉදිරි වර්ෂ ගණනාවකට එයින් වන පාඩුව සහ අන්තරාය අකාමකා දැමිය නොහැකි වේ. එනිසාම අති බිහිසුණු සම්බාධක මැඩ, ශ්‍රී ලාංකිකයන් මුහුණ පා සිටින අභාග්‍ය සම්පන්න ඉරණමින් ඔවුන් ගලවා ගැනීමට මේ බව එංගලන්ත පාලකයන්ට අවබෝධ කරවීමට ආත්ම පරිත්‍යාගයෙන්ම ඉදිරිපත් වෙමි.”

ජාතික නිදහස් සටන් ව්‍යාපාරයේ පුරෝගාමියකු වන එෆ්. ආර්. සේනානායක වීරවරයාගේ පහත සඳහන් ප්‍රකාශය ද කාලෝචිතය, අර්ථවත්ය. “සිංහල, ද්‍රවිඩ මුස්ලිම් හා බර්ගර් වශයෙන් වර්ගවාදීව වෙන වෙනම ස්ව රාජ්‍ය ඉල්ලා සිටීමට වඩා එකම පොදු ජාතියක් හැටියට එකමුතුව හා සාමග්‍රීයව ශ්‍රී ලංකා ද්වීපයටම ස්ව රාජ්‍යයක් ඉල්ලා සිටීම සුද්දන්ට ඉවත දැමිය නොහැකි වනු ඇත.”

අනාගාරික ධර්මපාලතුමා ස්වකීය ස්වර්ණමය කට හඬ අවදි කළේ බෞද්ධාගමික පසුබිම යටතේ ජාතික නිදහස නම් භාග්‍යය උදාකර ගැනීමේ අප්‍රතිහත ව්‍යායාමයේ සාර්ථක පළ නෙළා ගැනීමට මිස ස්වර්ථකාමී පරමාර්ථයෙන් නොවේ.

නිදහසට 75 යි: නිදහස් සටන් මඟ උදන් වැකි
1948 පෙබරවාරි 04 නිදහස ලැබීම නැරැඹීමට කොළඹට පැමිණි ජනතාව

“දේශය, ජාතිය ආගම හා භාෂාව යයි චතුර්විධ ධනයක් මා සන්තකව පවතී. එම චතුර්විධ රත්න දිවි හිමියෙන් රැකගැනීම මගේ පරම යුතුකමය. සිංහල බෞද්ධයන් ලෙස වීරත්වයෙන් හා ආත්ම පරිත්‍යාගයෙන් සක්‍රීය වීම මුළුමහත් ජාතියේම සාභිමානය වර්ධනවීමට ඇති එකම සාධකයයි.”

මාතලේ සටනින් ජාතික සටනට ප්‍රබල පසුබිමක් හා පන්නරයක් වුණු වීරපුරන් අප්පුගේ උදාන වාක්‍යයද මෙහිලා අමරණීය සටහනකි.

“මගේ අම්මා මා වැනි පුතුන් දසදෙනකු ලැබුවා නම් සුද්දාගෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම එතරම් කාරියක් නොවේ”

ජාතික නිදහස් අරගලය ප්‍රාණවත් වූයෙත් විජයග්‍රහණයට හේතු සාධක වූයේත් වර්ණ ආගම් වශයෙන් නොබෙදී එකම ජාතියක් ලෙස භේදභින්න නොවී ප්‍රබල බළකායක් ලෙස නැගී සිටීමෙනි. එය ද්‍රවිඩ ජනනායකයකු වන ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්ගේ ප්‍රකාශයෙන් තහවුරු වෙයි.

“සිංහල කටකින් සිංහල කතා නොකරන්නේ නම් එය කතා කරන්නේ කවුද? මා නම් මගේ ගෙදරදීවත් මගේ දරුවන්ට ඉංග්‍රීසියෙන් කතා කිරීමට ඉඩ දෙන්නේ නෑ. සිංහලයෙන් කටයුතු කිරීම අපට නම් ගෞරවයකි.

දේශදේශාන්තරවල ගමන් කරන්නට ලැබුණු මට ඒ කිසිම තැනකදී සිංහල ජාතියට වඩා ප්‍රියජනක ජාතියක්වත්, උසස් ධර්මයක් ඇත්තාවුත් ජාතියක්වත් දක්නට නොලැබුණු බව කියන්නේ අතිශයෝක්තියකින් නොවේ.” එබඳු උදාර වීර වාක්‍ය යළි ප්‍රාණය ලබන්නේ සැත්තෑපස්වන ජාතික නිදහස් උළෙල අප ඉදිරියෙහි උත්කර්ෂවත්වීමත් සමඟය.

ජයම්පති අල්ගම
(හිටපු සහකාර සංස්කෘතික අධ්‍යක්‍ෂ)

advertistmentadvertistment
advertistmentadvertistment