නිදහස් අධ්‍යාපනය වැළලී යයිද?

199

විෂය පොත් බොරුවෙන් මුළා වන බාල පරපුර

නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙරටට හඳුන්වා දුන් මුල් අවධියේදී මෙරට සිටි ගිහි, පැවිදි උගතුන් ප්‍රකාශ කර සිටියේ අධ්‍යාපනය ව්‍යාප්ත වී පාසල් වැඩි වන විට සිදුවන්නේ, රටේ අපරාධ අඩුවී සිරගෙවල් වැසී යන බවකි.

නිදහස් අධ්‍යාපන ක්‍රමය මේ රට තුළ නීතිගත වූයේ 1947 වසරේ සිටය. කාලය වශයෙන් ගත් කළ දශක හතහමාරක් පමණ දැන් ගෙවී ඇත. අද අපට අසන්න ඇති ප්‍රශ්නය වී ඇත්තේ එදා ගිහි, පැවිදි වියතුන් කී ආකාරයේ අපරාධ අඩුවී ගිය රටක් අපට අද මෙහි දැකිය හැකි ද යන්නයි. සැබවින්ම එයට අපට දිය හැකි පිළිතුර වන්නේ එවැනි රටක් මෙහි දක්නට නැති බවයි. රටේ හැම අස්සක් මුල්ලකින්ම අපට අසන්නට ලැබෙන්නේ අදමිටු ක්‍රියාකාරකම් ගැන කියැවෙන තොරතුරුය. ඇඟ කිලිපොළන මිනීමැරුම්, පැහැරගැනීම්, මංකොල්ලකෑම්, දේපළ සොරකම්, මත්කුඩු ජාවාරම්, ලිංගික අපචාර ගැන නොකියැවෙන එක ද දවසක්වත් අපට අසන්නට නැත. ළමා හා තරුණ පිරිස් ද ගුණධර්ම අතින් පිරිහුණු විෂමාචාරයන්ට නැඹුරු විනාශකාරී පිරිසක්ව සිටිති. ආගම දහමට නොතැකීම, වැඩිහිටියන් නොසැලකීම, අසැබි පොතපත කියවීම, ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය වැනි මෙකී නොකී දුර්ගුණ බාල තරුණ පිරිස් අතර අපට දක්නට ඇති ලක්ෂණයි. පාසල් අධ්‍යාපනයක් ලබා එන මේ පිරිස් අවසානයේ එක්වන්නේ සමාජ ප්‍රචාහයටයි.

බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා රජය මගින් නොමිලේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය දුප්පත් පොහොසත් භේදයකින් තොරව මේ රටේ දූ දරුවන්ට හිමිවූයේ 1947දී, එවකට අධ්‍යාපන ඇමැතිවරයාව සිටි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් නිදහස් අධ්‍යාපන පනත නීතිගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

නිදහස් අධ්‍යාපන පනත වැනි පනතක් සභාගත කිරීමට තමන්ට සිත්වූයේ ඇයි ද? යන්න එතුමා පැහැදිලි කළේ ග්‍රේ (Gray) නමැති ඉංග්‍රීසි කවියා විසින් “අප්‍රකට ප්‍රාඥයා” යන හිසින් යුතුව පළකරන ලද පහත සඳහන් පද්‍ය සභාවට ඇසෙන සේ කියමිනි. භාෂා විශාරදයකු වූ වී. ඩී. ද ලැනරෝල් මහතා එම ඉංග්‍රීසි කවිය සිංහල බසට පරිවර්තනය කර තිබුණේ මෙසේය.

මේ වන රැසිනි සුදිලෙන මිණි ගණ පැහැ තී
නිම් නැති ගැඹුරු සයුරේ පිපෙමින් තිබෙ තී
පෙම් වන කුසුම් මනරම් සුවඳින් නියු තී
කම් නැති විසල් කතරේ පිපෙමින් නැසෙ තී

HIDDEN GENIUS
Full many a Gem of purest ray serene
The dark unfathome’d vaves of ocean bear
Full many a flower is born to blush unseen
And its sweetness in the desert air
Gray

නිදහස් අධ්‍යාපනය ලෙස කන්නන්ගර මහතා රටට ඉදිරිපත් කර සිටියේ අධ්‍යාපන වැඩපිළිවෙළක් මිස දේශපාලන වැඩපිළිවෙළක් නොවේ. මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය, පහේ ශිෂ්‍යත්ව ප්‍රදානය, පාසල් දිවා ආහාරය වැනි දේ අපේ අධ්‍යාපන ක්‍රමයට එක්වූයේ එතුමා ඉදිරිපත් කළ නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙළ තුළිනි. එතුමා නිතරම කියා සිටියේ අධ්‍යාපනය නිදහස් එකක් පමණක් නොව නිවහල් එකක් ද විය යුතු බවයි. පක්ෂ දේශපාලන මතවාද අධ්‍යාපනයක වෙසින් පාසලින් ඉගැන්වීම එතුමා විසින් හඳුන්වනු ලැබුවේ අධ්‍යාපනය (education) දීමක් නොව, අධිශික්ෂණයක් (indoctrination) ලෙසයි. එතුමා නිතරම කියන්නට පුරුදුව සිටියේ අතට පයට විලංගු දමා බිහිකරන නූගත් වහලාට වඩා මනසට විලංගු දමා උගතකු ලෙසින් බිහිකරන වහලා සමාජයට හානිකර බවය. අධ්‍යාපනයේ අන්තර්ගතය (content of education) සහ අධ්‍යාපනයේ මෙවලම් (instruments of education) යනු සංකල්ප එකක් නොව දෙකක් බව එතුමා හොඳින් දැන සිටියේය. අධ්‍යාපනයේ මෙවලම් ලෙස සැලකුණේ ඩෙස්, බංකු, පුටු, මේස සහ කළුලෑලි ආදියයි. එතුමාගේ දැඩි අවධානයට යොමුවී තිබුණේ අධ්‍යාපනයේ අන්තර්ගතය දෙසටයි.

අධ්‍යාපනයේ අන්තර්ගතය ලෙස එතුමා සැලකුවේ පාසල් විෂයේ අන්තර්ගතයයි. විෂය අන්තර්ගතය කප්පාදු කිරීමෙන් නිදහස් අධ්‍යාපනය විනාශකර දැමිය හැකි බව එතුමාගේ විශ්වාසය විය. පක්ෂ දේශපාලන මතවාද අධ්‍යාපනයේ අන්තර්ගතයට රිංගවනු දැකීම ඔහුට කිසිසේත් රිස්සුම් දෙන ක්‍රියා පිළිවෙතක් නොවීය. පාසල් අධ්‍යාපනය තුළින් ඉතිහාසය සහ ප්‍රජාචාරය වැනි විෂයයන් පුළුල්ව හැදෑරීමට පාසලින් පහසුකම් සැලසීම, ප්‍රභූ පන්තියේ ඇතැම් දේශපාලන බල කණ්ඩායම් දුටුවේ තම දේශපාලන වුවමනාවන්ට අභියෝගාත්මක අධ්‍යාපන සැලැස්මක් ලෙසය. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ මුල් දිනයේ සිටම, එම බලවේගවලට වුවමනා වූයේ නිදහස් අධ්‍යාපන පනත් කෙසේ හෝ පරාජය කිරිමයි. එහෙත් ඔවුන්ගේ එම උත්සාහය පරාජය කිරීමට කන්නන්ගර මහතාට හැකිවිය. එය එසේ වුවත් 1947 පැවැති මහමැතිවරණයේදී එතුමා පරාජය කර ගෙදර යැවීමට එම බලවේග සමත් විය.

නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වූ මුල් අවධියේදී පාසල් විෂයමාලාව සකස් වී තිබුණේ අපේ ජාතික, ආගමික සහ සංස්කෘතික උරුමයන්ට මදිපුංචිකමක් ඇති නොවන ආකාරයටය. ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ගුත්තිල කාව්‍යය, උම්මග්ග ජාතකය, සද්ධර්ම රත්නාවලිය සහ සන්දේශ කාව්‍ය පොත් අපේ දරුවන්ට කියන්ට ලැබුණේ පාසලේදීය. එසේම ලංකා ඉතිහාසය සහ ප්‍රජාචාරය වැනි විෂයයන් ඉගැන්වීම ද පාසලේදී හොඳින් කෙරිණ. ඒ අන්දමට පාසල් විෂයමාලාවේ අන්තර්ගතය සකස් කිරීමෙන් එදා රට අපේක්ෂා කළේ ගුණ-නැණ බෙලෙන් පිරි හොඳ-නරක හඳුනන දැහැමි, විනීත පුරවැසි පිරසක් රට තුළ බිහි කිරීමය. මනසට විලංගු දැමූ වහලුන් බිහිකිරීමක් එම විෂය අන්තර්ගතය යටතේ සිදු නොවිණ. නිදහස් අධ්‍යාපනය නොරිස්සූ ඇතැම් පිරිස්වලට වුමමනා වූයේ කෙසේ හෝ මේ තත්ත්වය වෙනස් කිරීමයි. ඊට ඇති කදිම මග ලෙස ඔවුන් තෝරා ගත්තේ ‘නිදහස් අධ්‍යාපනය’ යන වචන දෙක පමණක් ඉතිරිවන සේ තබා අධ්‍යාපනයේ අන්තර්ගතය කප්පාදු කිරීමයි. නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වූ පනහේ දශකයේදී විෂයමාලා අන්තර්ගතය විකෘති කළ අවස්ථා අපට දැකගත හැකි වූයේ මඳ වශයෙනි. එවැනි එක් අවස්ථාවක් අපට දැකගත හැකි වූයේ එවක පැවැති ජ්‍යෙෂ්ඨ විභාගය (SSC) සඳහා නියමිතව තිබූ බුද්ධාගම පොතිනි. එම පොතේ සඳහන්ව තිබුණේ මෙයයි. “අචේතනික වස්තුවක් වූ වඳුරාගෙන් මිනිසා බිහි වූයේ කෙසේදැයි යන්න පරිණාමවාදීහු පැහැදිලිව නොපවසති.” මේ විකෘතිය කර ඇත්තේ නළපාන ජාතකයේ ඇති කරුණු ගැන කිසිදු යමක් දත්තකු විසින් නොවන බව එය කියවන විට අපට පැහැදිලිව වැටහෙන කරුණයි. නළපාන ජාතකයෙන් කියැවෙන්නේ බෝසත් තුමා එක් අවස්ථාවක වඳුරකු වශයෙන් ඉපිද, වඳුරු රැළකට නායකත්වය දුන් වගයි. එතැනදී වඳුරා සැලකුණේ සචේතනික වස්තුවක් ලෙසයි. එය අප දකින්නේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට පෙර සිදුකළ පූර්ව අත්හදාබැලීමක් ලෙසයි.

ඉන් පැහැදිලි වූයේ, නිදහස් අධ්‍යාපනය යන වචන දෙක නොවෙනස්ව එපරිද්දෙන් තිබියදී විෂය අන්තර්ගතය කප්පාදු කිරීමෙන් පමණක්ම නිදහස් අධ්‍යාපනය ක්‍රමිකව දියකර දැමිය හැකි බවයි.

අධ්‍යාපන විෂයමාලා කප්පාදුව මහ පරිමාණයෙන් සිදුවන්ට පටන් ගත්තේ 1972 වර්ෂයේ සිදුකළ සංශෝධන සමඟයි. එහිදී සිදුවූයේ සාහිත්‍යය, ඉතිහාසය සහ ප්‍රජාචාරය වැනි විෂයයන් කප්පාදු කර දැමීමකි. ඒ අනුව සිදුවූයේ එතෙක් පාසල් භාවිතයේ තිබුණු පැරණි පොතපත පාසලින් ඉවතට වැටීමයි. එදා සිටි අධ්‍යාපන බලධාරීන් කියා සිටියේ ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ගුත්තිල කාව්‍යය, උම්මග්ග ජාතකය, සද්ධර්ම රත්නාවලිය සහ සන්දේශ කවි ඉගැනීමෙන් නවින ලෝකයට අවශ්‍ය දැනුම ශිෂ්‍යයාට නොලැබිය හැකි බවයි. ප්‍රජාචාරය සහ ඉතිහාසය වැනි විෂයයන් හැදැරීමෙන් ද ශිෂ්‍යයන්ට වැඩදායී යමක් නොලැබෙන බව ද ඔවුන්ගෙන් පැවසිණ. ඉහත කී ආකාරයට පාසල් විෂයමාලාව සංශෝධනය කිරීමෙන් පසු අලුත් විෂයයන් කීපයක් පාසලට හඳුන්වා දුන් බව මෙහිදී කිව යුත්තකි. ඒ 1972 වසරේ සිටය.

එවැනි එක් විෂයයක් වූයේ ප්‍රාග් වෘත්තිය (pre-vocational subject) යි. ඒ යටතේ පාසල් විෂය අන්තර්ගතයට අලුතින් එක්වූ විෂයයන් වූයේ ඉස්සන් වැවීම, පටපනුවන් කැපීම, මල්බෙරි වගාව සහ කුකුළන් වැවීමයි. කුඩා කළ සිට ලෝවැඩ සඟරාව සහ සුභාෂිතය වැනි පොතපත කියවා ආගමට දහමට නැඹුරුව හැදුණු අපේ දරුවන් ප්‍රාණඝාතයට හුරු කෙරුණේ ඒ අයුරිනි. ප්‍රජාචාරය සහ ඉතිහාසය වැනි විෂයයන් කප්පාදු කොට ඒ වෙනුවට හඳුන්වා දුන් සමාජ අධ්‍යයන විෂයයෙන් කෙරුණේ, බලයට එන ආණ්ඩුවල දේශපාලන මතවාද අධ්‍යාපනයේ අන්තර්ගතයට එක් කිරීමයි. එමගින් කෙරුණේ රටේ පවතින සමාජ ආර්ථික කරුණු, බලයේ සිටින ආණ්ඩුවල දේශපාලන වුවමනාවන්ට ගැළපෙන ආකාරයට එකිනෙකට පටලවා සිසු මනසට දැමීමයි. ඒ සියල්ලෙන් සිදුවූයේ හොඳ, නරක නොහඳුනන, දේශපාලන අවිද්‍යාවෙන් හිස් අවුල් කරගත් අමන පුරවැසි පිරිසක් රට තුළ බිහිවීමයි. පාසල් විෂය අන්තර්ගතය තම ආණ්ඩුවල දේශපාලන වුවමනාවන්ට ගැළපෙන ආකාරයට සකස් විය යුතුය යන පිළිගැනීම අපේ අධ්‍යාපන ක්‍රමයට ඇතුළු වූයේ ඒ අයුරිනි. ඒ ගැන කතා කරන කිසිදු ගුරු-දෙගුරු සමිතියක් හෝ ගුරු වෘත්තීය සමිතියක් මේ රට තුළ කිසිදු යමක් පවසනු අප කිසිදා දැක නැත.

1977 දී බලයට ආ ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ නොමිලේ පාසල් පොත් සැපයීමත්, සම්පූර්ණ පාසල් දිවා ආහාරය සැපයීමත්, වඩා සුදුසු පංතිකාමර පරිසරයක් ඇති කිරීමත් මගින් අධ්‍යාපනයට නව මුහුණුවරක් දීම තම අරමුණ වී ඇති බවය. එය සාර්ථක කර ගැනීමට අධ්‍යාපන සේවා අමාත්‍යාංශයක් ද පිහිටුවීමට තමා කටයුතු කරන බවය. එසේ අදහස් දැක්වීමේදී අධ්‍යාපනයේ මෙවලම් ගැන කරුණු කීවා මිස, අධ්‍යාපනයේ විෂය අන්තර්ගතය ගැන කිසිදු යමක් කීමට එතුමා උනන්දුවක් දැක්වූයේ නැත. ඉන් පෙනෙන්ට තිබුණේ පාසල් විෂය අන්තර්ගතය. සිය දේශපාලන වුවමනාවන්ට ගැළපෙන අයුරින් කප්පාදු කිරීමේ වුවමනාව එතුමා තුළ ද තිබුණු බවය. ඒ තත්ත්වය නිසා කිසිදු ජනතා විරෝධයකින් තොරව විෂය අන්තර්ගතය අවුල් කර, නිදහස් අධ්‍යාපනය දිය කර හැරීමට බලධාරීන්ට හැකි විය.

එකොළොස් (11) වැනි ශ්‍රේණිය සඳහා රජය මගින් 1987 ලියා පළ කළ සමාජ අධ්‍යයන පොතේ “ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය” යන්න අර්ථ කථනය කොට තිබුණේ මෙසේය. “අද ලෝකය දෙස බලන කළ විශේෂයෙන්ම ලෝකයේ බලවත් රටවල් ඇතුළත් පිල් දෙකක් පවතින තත්ත්වයක් ඇත. වෝසෝ ගිවිසුමට ඇතුළත්ව ඇති සමාජවාදී යැයි සම්මත රටවල් ද නේටෝ ගිවිසුමෙන් බැඳී ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ද පිල් දෙකකට බෙදී ඇත.” යනුවෙනි. එය එසේ වුවත් වෝසෝවේ සහ නේටෝවේ සාමාජිකත්වයක් නැති ශ්‍රී ලංකාව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙස හැඳින්වෙන්නේ කුමන පදනමකින්ද යන්න එම පොතේ කොතැනකවත් සඳහන්ව නැත.

එම පොතෙහි තවත් තැනක සඳහන්ව තිබුණේ 19 වන සියවසේ අවසාන කාලයෙහි සිට 20 වන සියවසේ අවසානය දක්වා රුසියාවේ දුම්රිය මාර්ග තැනීම, බැංකු කටයුතු කිරීම, වානේ හා පතල් කර්මාන්තය වැනි දේ දියුණු කරන ලද්දේ වැඩි වශයෙන් බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ජර්මන් ආයෝජන මගින් බවයි. මෙය සත්‍යයෙන් තොර ප්‍රකාශයකි. 1914 ඔක්තෝබර් විප්ලවයෙන් පසු රුසියාවේ පාලනය ගෙනගියේ සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය විසිනි. ඉතිහාසය දන්නෝ එය හොඳින් දනිති.

එසේම 8 වැනි ශ්‍රේණිය සඳහා 1985 දී හඳුන්වා දුන් ඉස්ලාම් ධර්මය පොතෙහි සඳහන්ව ඇත්තේ මෙරට මුල් පදිංචිකරුවන් යේමන් ජාතික අරාබීන් බවය. එහි මෙසේ සඳහන්ව ඇත. “විජය සහ ඔහුගේ සහායකයන් 700 දෙනා මෙරටට පැමිණීමට පෙරම යේමන් ජාතිකයෝ මෙරටට පැමිණ සිටියහ. මෙම අරාබීන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සෑහෙන කරුණු ඉතිහාසයේ සටහන්ව ඇත. ඒ කරුණු තහවුරු කර පෙන්වීම සඳහා හිටපු අගමැතිවරයකු වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් කළේ යැයි කියනු ලබන ප්‍රකාශයක් ද එම පාඩම් පොතට ඇතුළත් කොට තිබුණි. එම ප්‍රකාශය මෙසේයි. “ශ්‍රී ලංකාව කොපමණ පැරණි ද මෙරට මුස්ලිම්වරු ද එපමණටම පැරණිය”

මෙය බණ්ඩාරනායක මහතා කවදා කොතැනකදී කව්රුන් අමතා කළ ප්‍රකාශයක් ද යන්න පොතෙහි දක්වා නැත. තවද මේ කරුණු ඇතුළත් මෙම ඉස්ලාම් ධර්මය පොත ලියා පළකර ඇත්තේ බණ්ඩාරනායක මහතාගේ මරණයෙන් දශක තුනකට පසුවය. ඉස්ලාම් ධර්මය ඉගැන්වීම සඳහා සැකසුණු ආගමික ග්‍රන්ථයකින් ලංකාවේ ඉතිහාසය උගන්වන්ට යෑම රටටම ප්‍රශ්නයකි.

රජය මගින් නොමිලේ පාසල් පොත් බෙදාදීමෙන් පමණක් අපට සෑහීමකට පත්විය නොහැක. නොමිලේ බෙදාදෙනු ලබන පොත්වල ඇති අන්තර්ගතය ගැන ද අපට අලුතින් සිතන්නට වී ඇත. මේ වසර සඳහා රජය මගින් පාසල් සිසුන්ට බෙදා දී ඇති ඉතිහාසය සහ ප්‍රජාචාරය පොත් ද ග්‍රන්ථ විචාරයකට ලක්කොට ඇති බවක් අපට පෙනෙන්නට නැත. බි්‍රතාන්‍ය ලේඛනවල දැක්වෙන හැටියට ලංකාව සැලකෙන්නේ පවරා දුන් විජිතයක් (Ceded Colony) ලෙස වුවත්, දැනට දිගු කලක සිටම රජය මගින් පළකර ඇති පොත්වල සඳහන්ව ඇත්තේ ලංකාව බ්‍රිතාන්‍යයන් විසින් යුද්ධ කොට අත්පත් කරගත් (Conquered) යටත්විජිතයක් ලෙසය. රෝම ඕලන්ද නීතිය, උඩරට නීතිය, තේසවලමේ නීතිය සහ මුස්ලිම් නීතිය වැනි නීති ක්‍රම කීපයක් මේ රට තුළ පවතින්නේ, මේ රට පවරා දුන් විජිතයක් ලෙස බ්‍රිතාන්‍යයන් විසින් පිළිගත් හෙයිනි. මේ වසර සඳහා බෙදා දී ඇති පොත්වල ද මේ වැරදි එලෙසින්ම දක්නට ඇත.

යහපත් රටවැසි පිරිසක් සමාජයට බිහිකර දීමේ වගකීම පැවරී ඇත්තේ රටේ අධ්‍යාපන ක්‍රමයටයි. වර්තමානයේ රටේ පවතින බොහෝ ප්‍රශ්නවලට හේතුව අපේ අධ්‍යාපන ක්‍රමයේ වරදයි. බලයට එන ආණ්ඩුවල දේශපාලන වුවමනාවන්ට ගැළපෙන සේ අධ්‍යාපනය සැලසුම් කළ විට නිදහස්, නිවහල් සිතුවිලි සහිත දැහැමි මිනිසුන් බිහිකිරීමක් ඉන් නොකෙරේ. එබැවින් අප දැන්වත් මේ යථාර්ථය තේරුම්ගෙන කටයුතු කිරීම වැදගත්ය.

ගතවූ කාලපරාසය පුරාම බලයට ආ ආණ්ඩුවල ඇතැම් නායකයන් හැමදාමත් රටට කියා සිටියේ ලංකාව අධ්‍යාපනය අතින් දෙවැනි වන්නේ ආසියාවේ ඇති ජපානයට පමණක් බවය. එසේ කියමින් ඔවුන් කර ඇත්තේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ඉතා සියුම් අයුරින් දියකර හැරීමට පාර කැපීමය. පාසල් විෂය අන්තර්ගතය විකෘති කර දැමීම, ඒ සඳහා ඔවුන් විසින් තෝරාගත් මග යැයි කිවහොත් එය නිවැරදිය. ඔවුන් අධ්‍යාපනය ලෙස ජනතාවට පෙන්වා සිටින්නේ (Literacy) සාක්‍ෂරතාවයයි. එනම් අකුරු කියවීම සහ ලිවීමයි. ඒ අනුව නම අත්සන් කර ලියා ගත හැකි නම් එය ද සැලකෙන්නේ උගත්කමක් ලෙසයි. එහෙත් අධ්‍යාපනඥයන් පවසන්නේ, අධ්‍යාපනයේ උසස් බව තීරණය කිරීමේදී වඩා වැදගත් වන්නේ කාර්ය බද්ධ සාක්‍ෂරතාවය (Functional literacy) බවයි. එනම් ගැඹුරු පොතපත හා විෂය කරුණු කියවා තේරුම් ගැනීමට ඇති ශක්තියයි.

රටේ අධ්‍යාපනය සඳහා වැය කෙරෙන්නේ ජනතාවගේ බදු මුදල්ය. දේශපාලන පක්‍ෂවල ප්‍රචාරක කටයුතු සඳහා එම මුදල් යොදා ගැනීම ජනතා ද්‍රෝහී ක්‍රියාවකි. අධ්‍යාපනඥයන් විසින් කළ යුතු දේ දේශපාලනඥයන් විසින් කරන්නට ගිය විට අධ්‍යාපනයට සිදුවන්නේ විශාල වින්නැහියකි.

● සිසිල් අතුකෝරාළ

advertistmentadvertistment
advertistmentadvertistment