නිදහස් දිනයට විරෝධය පා උතුරේ තැන තැන කළු කොඩි

77

ජාතික නිදහස් දිනයට විරෝධය පළකරමින් යාපනය කිළිනොච්චිය හා මුලතිව් යන ප්‍රදේශවල විරෝධතා රැලි පැවත්වුණු අතර යාපනය විශ්වවිද්‍යාලයේ කලු කොඩි දමා තිබුණි.

බොහෝ ප්‍රදේශවල වෙළඳසල් සියල්ල වසා දමා තිබුණේ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත් කොට තිබූ පූර්ණ හර්තාලයට සහයෝගය දැක්වීම පිණිසය.

පොලිසියේ හා ආරක්ෂ අංශවල වැළැක්වීම් මධ්‍යයේ යාපනයේ විශ්වවිද්‍යාලය අසලින් මඩකලපුව දක්වා විරෝධතා රැලිය ගමන් ආරම්භ කළේය.

විරෝධතාවයේ නිරත පිරිස කලු කොඩි රැගෙන සටන් පාඨ කියමින් පෙළපාලියේ ගමන් කළ අතර පෙළපාලියට සහභාගි නොවූ පිරිස මග දෙපස සිට ඔවුන්ව දිරිමත් කළහ. විරෝධතා රැලියේ ගමන් කරන පිරිස අත කලුකොඩි හා විරෝධතා පුවරු විශාල ප්‍රමාණයක් තිබුණි.

මෙම විරෝධතා රැලිය දින හතරක් තිස්සේ උතුරු නැගෙනහිර පළාත් හරහා ගමන් කොට මඩකලපුවට ගමන් කිරීමට නියමිතව ඇති අතර යාපනයෙන් ආරම්භ වූ පෙළපාලිය පරන්තන් විශ්වමඩු හරහා මුලතිව් දක්වා ගමන් කොට එතැනින් ත්‍රිකුණාමලයට ළඟා වී හතර වන දිනයේදී අම්පාර නගරයේ ජන හමුවක් පවත්වා මඩකලපුවට ළඟා වීමට නියමිතය.

කළු විරෝධතා රැලිය ලෙස නම් කොට ඇති මෙම විරෝධතා රැලියේ මූලික අරමුණ වී ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් වල ජනයාට කිසිදු නිදහසක් නොමැති බව කියමින් ජාතික නිදහස් දිනය ශෝකී දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීමය.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment