නිදහස් නිවහල් සහ දිළිඳුකමින් තොර දේශයක් බිහිකෙරුමට කැපවුණු පෙම්දස් ජනපතිඳුන්

395

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ විසිනව (29) ගුණසමරුව වෙනුවෙනි.

ලක්මවට අසීමිතව ආදරය කළ ඒ අසහාය ජන නායකයා කුරිරු මිනිස් බෝම්බයකින් සදහටම නිහඬ කර හෙට (01) දිනට 29 වසරක් සපිරෙයි. ලොව පිළිගත් විශ්ව විද්‍යාලවලින් ලබාගත් ඉහළ උපාධි හෝ අධ්‍යාපන සහතික නොමැති වුවද අප රටේ සංවර්ධනය අත් කරගැනීමට වඩාත් උචිත කුමන ආකාරයේ සැලසුම් ද යන්න පිළිබදව ප්‍රේමදාස මැතිඳුන්ට මනා අවබෝධයක් තිබුණි. ගම හදා රට හැදීම ශ්‍රී ලංකාව වැනි කෘෂි ආර්ථිකයක් මත පදනම් වූ රටකට වඩාත් සුදුසු වන බව පසක් කරගත් එතුමා ප්‍රාදේශීය සහ ග්‍රාම සංවර්ධන වැඩ සටහන්වලට මුල් තැන ලබා දුන්නේය. ශ්‍රම බහුල රටක් වූ ශ්‍රී ලංකාව වැනි රටකට වාසිය පවතිනුයේ මිනිස් ශ්‍රමය බහුලව යොදාගත හැකි නිෂ්පාදන කටයුතු තුළින් බව එතුමා අවබෝධ කරගෙන සිටියේය. එතුමා විසින් හඳුන්වාදෙන ලද ඇඟලුම් කර්මාන්ත වැඩ පිළිවෙළ, ජන සවිය, කර්මාන්ත පහළොස්දහසේ ව්‍යාපෘතිය, ගම් උදාව වැඩ පිළිවෙළ ආදී සියලුම වැඩසටහන් ඒ අවබෝධය මත පදනම් ව ක්‍රියාත්මක වූවකි. එකල එතුමාගේ ප්‍රතිවාදීන් විසින් සුද්දියන්ට ජංගි මහන කර්මාන්ත ලෙස අවඥාවට සහ සමච්චලයට භාජනයට කළ ඇඟලුම් කර්මාන්ත අදටත් රටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන අපනයන මාර්ගයක් ලෙස සැලකේ.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකටම සහ සෑම ආගමකටම සමසේ සලකමින් ආගමික සහ ජාතීන් අතර සහජීවනය ප්‍රවර්ධනය සඳහා කටයුතු කළ සහ කැපවූ ජන නායකයෙකි. විවිධ ජන කොටස්වලින් සැදුම්ලත්

ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික සහ ආගමික සහජීවනයේ ඇති වැදගත්කම ඔහු තරම් මැනවින් වටහාගෙන සිටි වෙනත් ජන නායකයකු තවත් නොසිටි තරම්ය. රටක ඉදිරි ගමන සහ සංවර්ධනය උදෙසා එහි ඇති වැදගත්කම හොදින් අවබෝධ කරගෙන සිටි ප්‍රේමදාස මහතා, සෑම ජන වර්ගයක්ම සෑම ආගමික කොටසක්ම තම දේශපාලන සහ ආර්ථික වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනීමට නිරතුරුවම උත්සුක වූයේය. එතුමාගේ සෑම ව්‍යාපෘතියක් ම ආරම්භ කිරීමේදී සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දුන්නේය. සෑම ශ්‍රී ලාංකිකයකුම රට ගොඩනංවන ව්‍යාපෘති තුළ කොටස්කාරයකු කරගැනීමට ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

සියලු ආගම්වලට සමසේ සැලකුවත් බුද්ධාගම වෙත විශේෂ සැලකිල්ලක් සහ ගෞරවයක් ඔහු තුළ පැවතිණි. බෞද්ධ සංකල්ප මත පදනම් වූ දර්ශනයක පිහිටා කටයුතු කළ ප්‍රේමදාස මහතා කුඩා කල සිටම පැලෑණේ ශ්‍රී වජිරඥාන නාහිමිපාණන්, නාරද මහ හිමිපාණන්,

බලන්ගොඩ ආනන්ද මෛත්‍රය නාහිමිපාණන් සහ මඩිහේ පඤ්ඤාසීහ මහ නායක හිමිපාණන් වැනි සුපේශල ශික්ෂාකාමි සංඝ පිතෘවරයන් වහන්සේලාගේ ඇසුර ලබමින් තම ජීවිතය සකස් කරගත්තේය. එතුමා තම පෞද්ගලික ජිවිතයේදී මෙන්ම දේශපාලන ජිවිතයේ වැදගත් අවස්ථාවලදී ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් ම ලබා ගත් ජන නායකයෙකි.

ඇති හැකි අයගේ බල පුළුවන්කාරකම්වලට යටවී සිටි නැති බැරි අයගේ දහඩිය මහන්සියට වටිනාකමක් ලබාදීමට එතුමා නිරතුරුවම කටයුතු කළේය. දිළිඳු බව මුලිනුපුටා දැමිය හැක්කේ දුප්පතුන් සවිබල ගැන්වීමෙන් පමණක් බව එතුමා පසක් කරගෙන සිටියේය. මිනිසුන් අතර මුදල් හදල් බෙදාදීමෙන් හෝ අවශ්‍ය දේ නොමිලේ ලබාදීමෙන් ජනප්‍රසාදය පහසුවෙන් දිනා ගත හැකිමුත් එමගින් දිළිඳු බව චිරස්ථායි ලෙස මුලිනුපුටා දැමිය නොහැකි බව එතුමා අවබෝධ කරගෙන සිටියේය.

ජනසවිය සහ ගම් උදාව වැනි වැඩ සටහන් තුළින් දුගී දුප්පත් ජනතාවගේ ශ්‍රම දායකත්වය එම ව්‍යාපෘති සඳහා ලබා ගැනීමට එතුමා ක්‍රියා කළේය. තම ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතිනුයේ තමා මත බවත් ඒ සඳහා අවශ්‍ය වනුයේ නිසි මග පෙන්වීමක් යටතේ නිවැරදි කැපවීම සහ උත්සාහය පමණක් බව එතුමා නිරතුරුවම පෙන්වා දුන්නේය. තවකෙකු මත රැඳී සිටිනවාට වඩා ‘තම හිසට තම අතමය සෙවනැල්ල’ යන්නෙහි පිහිටා කටයුතු කිරීමේ වැදගත්කම එතුමා සැමවිටම අවධාරණය කරන ලදී.

උත්සාහය උක් දණ්ඩක් වැනි බවත්, උත්සාහයේ ප්‍රතිපල අත් කර ගත හැක්කේ උක් දණ්ඩේ රස විඳීමට නම් එය නිසි ලෙස සපමින් අනුභව කළ යුතුවාක් මෙන් මහන්සි වී කැපවීමෙන් වැඩ කිරීමෙන් පමණක් යැයි එතුමා විසින් පබැදුණු ගීත රචනාවක දැක්වේ. නිකමුන් වී රටට බරක් වී සිටිනවාට වඩා මහන්සි වී වැඩකිරීමෙන් තම ජීවිතයේ සෞභාග්‍යය මෙන්ම රටේ සමෘද්ධිය ද ළඟා කරගත හැකි බව එතුමා තරයේ විශ්වාස කළේය. ප්‍රේමදාස මහතා අන් අයට ද ආදර්ශයක් ලබා දෙමින් හිමිදිරියේ ම අවදි වී මධ්‍යම රාත්‍රිය පසුවෙන තුරුම වෙහෙස නොබලා කටයුතු කළේ පොදු ජනයාගේ සැපත තම සැපත ලෙස සැලකු හෙයිනි.

සෑම විටෙකම ශ්වේත වර්ණයෙන් සැරසුණු එතුමා පාසල් දිවියෙන් පසු තම ජීවිත කාලය තුළදී යුරෝපීය ඇඳුමකින් සැරසී තිබුණේ එක් වතාවක් පමණි. ඒ එතුමා විසින් ආරම්භ කරන ලද ශ්‍රී සුචරිත ළමා සමාජය මගින් රඟ දැක්වූ වේදිකා නාට්‍යයක චරිතයක් නිරූපනය කිරීම සඳහා ය.

එකල සුරා සුදුවෙන් සහ දුසිරිතෙන් පෝෂණය වී තිබූ කොළොම්පුරවරය ඉන් මුදවා ගැනීමට කුඩා ප්‍රේමදාසයන් දැඩි වෙහෙසක් මහන්සියක් දැරීය. එහිදී ඔහුට අනේකවිධ දුෂ්කරතා සහ කරදර රැසකට මුහුණ දීමට සිදුවිය. හන්දියක් හන්දියක් ගාණේ විවෘතව පැවති සුරාසැල් ජන සමාජයට කර ඇති විනාශය දැක මහත් කම්පාවට සහ කනස්සල්ලට පත්වූ තරුණ ප්‍රේමදාසයන් තමාගේ සහෝදර සහෝදරියන් සහ ප්‍රදේශයේ තරුණ තරුණියන් එක් රැස් කරගෙන සුරා සැල් වසා දැමීම සඳහා වන ව්‍යාපාරයක් දියත් කරන ලදී. එය ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ ආරම්භය විය. සමාජ අසාධාරණයට සහ දුසිරිතට එරෙහිව කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් සහ පන්නරය පසුකලෙක එතුමාට තම දේශපාලන ජීවිතය හරහා හමාගිය චණ්ඩ මාරුතයන් පහසුවෙන් ජයගැනීම උදෙසා උපකාරී වූ බව නිසැකය.

ප්‍රේමදාස මහතා ජීවිතයේ කිසි දිනෙක මධුවිත තොළ ගා නොමැති දුම්වැටියක් දෙතොලඟ නොරැඳූ පුද්ගලයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මතට තිත සංකල්පය ප්‍රායෝගිකව අනුගමනය කළ එකම නායකයා එතුමා බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. මා දන්නා පරිදි පසුකාලීනව එතුමා නිර්මාංශික ආහාර පමණක් අනුභව කළේය. ප්‍රතිවාදීන් එතුමාට කුමන ආකාරයේ චෝදනා එල්ල කළ ද පොදු ජනතාව කෙරෙහි එතුමා දැක්වූයේ අසීමිත ආදරයක් සහ ඇල්මකි. එල්ටීටීඊ ත්‍රස්තවාදීන්f ම්ලේච්ඡ මිනිස් ඝාතනවලින් මෙන්ම දකුණේ පැවති භීෂණ නිසා අහිමි වී ගිය මිනිස් ජීවිත පිළිබඳව එතුමා දැඩි සේ කම්පනයකට පත් ව සිටියේය. ජන ජිවිතයට ඇතිවී තිබූ දුෂ්කරතා දුරලීමට සහ මිනිස් ඝාතන වැළැක්වීමට එතුමා ගත හැකි සැම පියවරක් ම ගත්තේය.

1988 වසරේ දී ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස දෙකොණ පත්තුවී තිබූ විලක්කුවක් හා සමාන වූ රටක වගකීම භාර ගත් ප්‍රේමදාස මහතා ඉන්දු ලංකා ගිවිසුම යටතේ ලංකාවට පැමිණ උතුර නැගෙනහිර ආරක්ෂක කටයුතුවල නිරත ව සිටි ඉන්දියානු සාම සාධක හමුදා පවා යළි පිටත් කර හැරීමට කටයුතු කළේ එවකට දකුණු ප්‍රදේශයේ මතුව තිබූ ඉන්දීය විරෝධයට කන් දීමක් ලෙසට මෙන් ම දකුණේ පැවති භීෂණය අවසන් වනු දැකීම සඳහා ඔහු තුළ තිබූ අවංක අභිලාෂය නිසාය.

සාමාන්‍ය පවුලක ඉපදී ස්වකීය උත්සාහයෙන් ශ්‍රී ලංකාවේ ඉහළම තනතුර දක්වා ගමන් කළ ප්‍රේමදාස මැතිඳුන් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිව සිටීම ඇසේ කටු ඇනෙන්නාක් මෙන් සැලකූ රටේ ප්‍රභූ පැලැන්තියට අයත්වූ පිරිස් ප්‍රේමදාසයන් ජනාධිපති තනතුරින් පහකර දැමීමට විවිධාකාර කුමන්ත්‍රණ සිදු කළේය. ඔවුන් එතුමාගේ පාලනය නිර්දය ලෙස විවේචනයට ලක් කළහ. එතුමාගේ ජනතාවාදී වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට නිරතුරුවම සැලසුම් කළහ. එතුමා මානසික වශයෙන් පෙළීමට ඔවුන් නිරන්තර ව උත්සහයක යෙදුණි. ප්‍රේමදාස මහතා සිටිනා තෙක් රටේ බලය ලබාගැනීමට නොහැකි බව ඊනියා ප්‍රභූ දේශපාලකයින් දැන සිටියේය. ලලිත් ඇතුලත්මුදලි ඇමැතිතුමාගේ ඝාතනය පිළිබඳව එතුමාට ඇඟිල්ල දිගු කරමින්, එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගැනීමට ඔහුගේ ප්‍රතිවාදීන් එම අවස්ථාවේදී සමත් විය.

බහුතරයකට එතුමාගේ අගය එදා අවබෝධ කරගැනීමට නොහැකිවීම ජාතියේ අවාසනාවකි. අද දවසේ රට පුරා අධිවේගී මාර්ග ඉදිකළද, අහස සිඹින කුලුනු වෙළෙඳ සංකීර්ණ සහ ගොඩනැගිලි ඉදිවුණද, ගමේ කැඩුණු පාර පිළිසකර කරගන්නට, ගමට යන්න පාරක් හදා ගන්න හෝ ගඟින් එගොඩ මෙගොඩ යන්න කැඩුණු පාලම හදා දෙන්නැයි හෝ අලුතින් පාලමක් හදා දෙන්නැයි කියමින් මාර්ග හරස් කරමින් කරන උද්ඝෝෂණ දිනපතා රූපවාහිනී පුවත් විකාශනවල සහ පුවත්පත් සිරස්තලවල නිරතුරුවම දක්නට ලැබේ. මෙයින් පැහැදිලි වනුයේ අද පුරසාරම් දොඩන සංවර්ධනයේ ප්‍රතිලාභ ඈත ගම්දනව් කරා පැතිර ගොස් නැති බවය.

එදාවේල සරි කරගන්නට නොහැකිව ළතවන දුගී දුප්පත් ජනතාවගේ ජීවිත සුඛිත මුදිත නොකර ධනවතුන්ගේ, තම දේශපාලන හිතවතුන්ගේ සහ නෑ හිතමිතුරන්ගේ මඩිය පමණක් තරකර වන වැඩසටහන් ප්‍රේමදාස මහතාගේ න්‍යාය පත්‍රය තුළ නොතිබිණි. ඥාති සංග්‍රහය එකහෙළා ප්‍රතික්ෂේප කළ එතුමා කිසිවිටෙක තම පරපුර දේශපාලන ක්‍ෂේත්‍රය තුළ ඔටුනු පැළඳවීමමට යත්න නොදැරීය. එතුමා දේශපාලනය ජනතා සේවයක් ලෙස සැලකු නායකයෙකි.

ජනාධිපති ජංගම සේවාව තුළින් අග නගරයට සීමා වී තිබූ රාජ්‍ය සේවය ගමට ගෙන ගිය ඔහු ගමේ ප්‍රශ්න සඳහා විසඳුම් කොළඹ පිහිටි රජයේ ආයතනවල වායු සමීකරණය කරන ලද ශීත කාමරවල සිට තීරණය කරන යුගය අවසන් කළේය. එලෙස ගැමියාගේ දෙපතුල ළඟට රාජ්‍ය සේවය ගෙනගිය එතුමා පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳීම කිසිම හේතුවක් නිසා කල් නොතැබීය. ‘නිමා කරනු මිස වැඩ ඇති තමා අත, පමාවට කරුණු මට වුවමනා නැතැයි’ යන ශ්‍රී ජවහල් ලාල් නේරු මැතිතුමාගේ රුවන් වැකියට අනුව කටයුතු කළ ප්‍රේමදාස මහතා රාජකාරි අතපසු කරන සහ වෙලාවට වැඩ නොකරන නිලධාරීන් නොරිස්සුවේය.

සති අන්තවල පවා ගම් දනව් සිසාරා ඇවිදිමින් ජන ජීවිතය නඟා සිටුවීමට කාලය මිඩංගු කළ එතුමා එයින් නොනැවතී නටබුන් ව තිබූ බෞද්ධ සිද්ධස්ථාන, වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට නිබඳව කටයුතු කළේය. මාලිගාවිල බුදු පිළිමය ප්‍රතිෂ්ඨාපනය, මිරිසවැටිය දාගැබ ප්‍රතිසංස්කරණය, කතරගම නව නගරය, අනුරාධපුර නව නගරය මුල් කරගත් සංවර්ධන වැඩ සටහන්, ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ඉදිකිරීම සහ සෝමාවතී සෑය ප්‍රතිසංස්කරණය ව්‍යාපෘතිය යනාදිය එතුමා විසින් ඉටු කරන ලද බෞද්ධ ආගමික සිද්ධස්ථාන සංවර්ධන වැඩසටහන්වලින් කිහිපයකි. වැවයි දාගැබයි ගමයි යන සංකල්පය එතුමාගේ පදනම විය. වැව් දියෙන් ගොවිතැන් සරුවී අටුකොටු පිරුණු අතර දාගැබෙන් සංකේතවත් වූ ගමේ පන්සලෙන් ගැමියාගේ අධ්‍යාත්මය සංවර්ධනය වුණි. අධ්‍යාත්මයෙන් තොරවූ භෞතික සංවර්ධනය නිසරු බව එතුමා මැනවින් දැන සිටියේය.

හේවාවිතාරණ දහම් පාසලෙන් සහ බම්බලපිටිය වජිරාරාම දහම් පාසලෙන් උගත් බෞද්ධ දර්ශනයෙන් ද ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්, පියදාස පලන්සූරිය ශුරින් වැනි වියතුන් ගේ ඇසුරින් පෝෂණය වූ දැනුම් සම්භාරයකින් ද අනූන වූ ප්‍රේමදාස ජනාධිපති තුමා තම ජීවිතය බෞද්ධ වත් පිළිවෙත් අනුව හැඩ ගස්වා ගත් පරමාදර්ශී නායකයෙකි. සෑම පුර පොහොය දිනකම පෙහෙවස් සමාදන් වූ එතුමා වෙසක් පොහෝ දිනය තම නිල නිවස වූ කොටුවේ ජනාධිපති මැඳුර සාමාන්‍ය ජනතාවට විවෘත කළේය. එතුමා අගමැති පදවිය දරන කල අරලියගහ මන්දිරය ද වෙසක් පොහෝ දිනයන් හිදී එලෙස ම මහජනතාවට විවෘත කර තිබුණි.

කුඩා පවුලක ඉපදී රටේ ඉහළ තනතුර දක්වා පියනැගූ ප්‍රේමදාස ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව තුළ විශාල සමාජ පෙරළියක් කළ යුග පුරුෂයෙකි. සාමාන්‍ය ජනතාව අතර ඉපදී හැදී වැඩී අද වැනි ලෝක කම්කරු දිනයකදී සාමාන්‍ය ජනතාව අතර සිටියදීම අප අතරින් වියෝවූ ප්‍රේමදාස මහතාගේ නාමය කලගුණ දන්නා ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුළ සදානුස්මරණීය වන බවට නිසැකය. එදාටත් වඩා ඔහු වැනි ජනනායකයින් අවශ්‍ය අදටය. ඒ ගිනිගෙන දැවෙන මේ දේශය සුවපත් කරන්නටය. එතුමා විසින් පබැඳි ගීතයක කොටසක් සිහිපත් කරමින් මෙම ලිපිය අවසන් කරමි.

‘මිනිසා මිනිසාට එරෙහිව එන්නේ
සිතුවිලි නපුරට හැරෙන නිසයි
නපුරට නොහැරෙන සිතුවිලි සරණා
ධර්ම විජය වේ ලොව රකිනා’

ප්‍රේමදාස හිටපු ජනපතිතුමනි, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!

ආචාර්ය එස්. ඩබ්ලිව්. හිරන්ත
ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලය,එක්සත් රාජධානිය.

advertistmentadvertistment
advertistmentadvertistment