නිදහස් වෙළෙඳ ගිවිසුම කොයිබටද?

390

දසකයක කාලයක් තිස්සේ සාකච්ඡාවට බදුන් වී අතරමග නැවතී තිබුණු චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබූ බවට මාධ්‍ය පසුගිය දින වල වාර්තා කර තිබුණි.

චීන එක්ස්පෝ ජාත්‍යන්තර ආනයන-අපනයන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර තිබුණි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ හරහා දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවය. මේ අතර චීන එක්ස්පෝ ජාත්‍යන්තර ආනයන-අපනයන ප්‍රදර්ශනය සංවර්ධනය වෙමින් පවත්නා රටවලට චීන වෙළෙඳපොළට ඇතුළුවීමට නවෝත්පාදන වේදිකාවක් බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ, දෙරට අතර වෙළෙඳාම පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීම සඳහා චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කිරීමේ පියවරක් ලෙස දෙරටේ විදේශ ඇමැතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

2015 වර්ෂයේ බලයට පත් යහපාලන ආණ්ඩුව බලයට පත් වීමත් සමග එවකට අගමැතිවරයා ලෙසට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව 2015 දෙසැම්බර් මාසයේදී ඉන්දියාව සමග යෝජිත සීපා ගිවිසුම අත්හිටුවා, 2016 දී නව ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමකට (ETCA) ඇතුළු වීමට උත්සාහ කළේය. එහෙත් වෘත්තීය සමිතිවල දැඩි විරෝධය හමුවේ ETCA ගිවිසුම ද අත්හිටුවීමට එවකට බලයේ සිටි ආණ්ඩුවට සිදු විය.

ඒ හා සමානව, පසුගිය යහපාලන ආණ්ඩුව යටතේ 2018 දී චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා තාවකාලිකව නතර කිරීමට ආණ්ඩුවට සිදු වූයේ ගනුදෙනුව සමාලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට චීනය එකඟ නොවීම නිසාය.

මෙහිදී අවධානය යොමු වූ තවත් කාරණයක් වූයේ ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍රය විදේශීය තරගකාරී ආනයනික නිෂ්පාදන සමග තරග කිරීමට අපොහොසත් වීමෙන් ඊට අත්විඳින්නට සිදු වන ඉරණම සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ ඇතැම් නිෂ්පාදන ක්ෂේත්‍ර තවමත් ඉතා පැරණි තාක්‍ෂණික ක්‍රම සමග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වන බැවින් එම කර්මාන්ත වල නිරතවන්නන්ට වන බලපෑම මෙහිදී දැඩි ලෙස සැලකිල්ලට ගත යුතු කරුණු ලෙසට හඳුනා ගැනිණි.

චීනයේ සිට ආසියාව හා යුරෝපය කරා වැටුණු පුරාණ වෙළෙඳ මාර්ග එනම් සේද මාවතේ ආර්ථික තීරය යන සංකල්පය ඔස්සේ චීනය ශ්‍රී ලංකාවේ මහාපරිමාණ ආයෝජන ව්‍යාපෘති රැසක් ආරම්භ කරන ලදී.

ඒ අනුව 2013 වසර වන විට හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග සහ තාප විදුලි බලාගාර ඉදි කරමින් ශ්‍රී ලංකාව තුළ ඩොලර් බිලියන ගණනක ආයෝජනය ව්‍යාපෘති රැසක් චීනය ආරම්භ කර තිබුණි.

ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් 10.5% ක් චීනයෙන් ලබා ගත් ණය වේ. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය ඇතුළු ආයෝජන ව්‍යාපෘති තවමත් මුදල් උත්පාදනය කිරීමක් සිදු නොකරයි. උදාහරණයක් ලෙස කොළඹ වරාය නගර සංවර්ධනය සිරස් අතට ගොඩනැංවීමක් නොමැතිව ගොඩකරන ලද සමතලා බිම් ප්‍රදේශයක් ලෙසට පවතින්නේ බලාපොරොත්තු වූ විදේශීය ආයෝජන ඒ සඳහා තවමත් නොලැබීම නිසයි.

මෙම යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කළ විගස චීනයෙන් මෙරටට ආනයනය කරන භාණ්ඩ 90%ක් වෙනුවෙන් ශුන්‍ය තීරුබදු ක්‍රමයක් ඇති කිරීම සඳහා චීනයට අවශ්‍යතාවක් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වූයේ අදාළ භාණ්ඩ වලින් අඩකට පමණක් ශුන්‍ය තීරුබදු ක්‍රමයක් ඇති කිරීමත් එය වසර 20ක් පුරා කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමටයි. මේ කාරණා නිසාම දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ සාකච්ඡා අතරමග බිඳවැටිණ.

නිදහස් වෙළෙඳාම තුළින් සාමාන්‍ය ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට ප්‍රතිලාභ ගෙන දීම නොරහසකි. ඒ තුළින් අපනයන නිෂ්පාදන ආර්ථිකයක් මුල්කරගත් දේශීය ව්‍යවසායකයන්ට ද නව ආයෝජන අවස්ථා බිහිකරයි.

කෙසේ වෙතත්, ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ සමාගම්වල ආදායම් දැනටමත් සැලකිය යුතු කඩාවැටීමකට ලක්ව ඇත.

2020 වර්ෂයේ දී චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4.01ක් වටිනාකමකින් යුත් භාණ්ඩ ආනයනය කර ඇත. එම භාණ්ඩ අතර ප්‍රධාන භාණ්ඩ නිෂ්පාදන වූයේ රබර් සහ රෙදි නිෂ්පාදන (ඇමරිකානු ඩොලර් මිලියන 241) විදුලි උපකරණ (ඇමරිකානු ඩොලර් මිලියන 225) සහ පිරිපහදු කළ පෙට්‍රෝලියම් (ඇමරිකානු ඩොලර් මිලියන 127) ය.

එම වසරේම ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 266ක් වටිනා භාණ්ඩ චීනයට අපනයනය කළේය. චීනයට අපනයනය කළ නිෂ්පාදන අතර ප්‍රධාන වූයේ තේ (ඇමරිකානු ඩොලර් මිලියන 60.4) පොල් සහ අනෙකුත් එළවළු (ඇමරිකානු ඩොලර් මිලියන 24.2) සහ නිමි ඇදුම් (ඇ.ඩො. මිලියන 18.5) ය.

නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ගත් කල, චීනය භාණ්ඩ වෙළෙඳාමට ප්‍රමුඛත්වය ලබා දෙන අතර පසුව ඒ හරහා සේවා සහ ආයෝජන ක්ෂේත්‍රයන් වෙත යොමු වන ප්‍රවනතාවක් දක්නට ලැබෙයි. 2015 දී ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) විසින් නිකුත් කළ වාර්තාවක් පෙන්වා දී ඇත්තෙ ශ්‍රී ලංකාවට භාණ්ඩ වර්ග 566 ක් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් වෙළෙඳ වාසි අත්කර දිය හැකි බවයි. එම භාණ්ඩ අතරින් භාණ්ඩ වර්ග 243 ක් චීනයට අපනයනය කළ හැකි බවත් එම වාර්තාව පෙන්වා දෙයි. චීනය සමග වෙළෙඳාම් කිරීමේ හැකියාව ඇති අතිරේක නිෂ්පාදන 299 ක් එම වාර්තාව මගින් හඳුනා ගෙන ඇති අතර එළවළු නිෂ්පාදන, රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන ඒ අතර ප්‍රධාන වෙයි.

කෙසේ වෙතත් නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සහ මෙරට ව්‍යවසායකයින්ට ආසියාවේ අනෙකුත් රටවල් ඒ සම්බන්ධයෙන් ලැබූ පූර්වාදර්ශයන් අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වනු ඇත.

කාම්බෝජය සහ ලාඕසය වැනි කුඩා රටවලට මෙන්ම ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය සහ වියට්නාමය වැනි විශාල ආර්ථිකයන් කෙරෙහි බලපෑ චීන-ආසියාන් නිදහස් වෙළඳ ගිවිසුම 2009 දී බලාත්මක විය. මෙහිදී ඇති වූ ප්‍රතිඵලයක් වූයේ එම රටවල් වල පැවැති දේශීය වෙළඳපලට උසස් චීන නිෂ්පාදන සමග තරග කිරීමට සිදු වීමයි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ දේශීය ව්‍යාපාරයන් සඳහා චීන හවුල්කරුවන් සමග නැවත ආයෝජනය කිරීමට සිදු වීමයි.

චීනය ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි වෙළෙඳාම සහ අනෙකුත් සම්බන්ධතා වැඩි කර ගැනීමේ පියවරක් ලෙසට ඉන්දියාවට දකුණු දෙසින් පිහිටි ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයන් වල වරායන්, ගුවන්තොටුපළවල්, මාර්ග සහ විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර ඇත. එම නිසා චීනයේ සේද මාවතේ ආර්ථික තීරය යන සංකල්පය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් වෙන්කළ නොහැකි සම්බන්ධතාවක් පවතී.

2017 වර්ෂයේ මාර්තු මාසයේ සිට චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළව අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡා පවත්වා නොමැත.

චීනයේ දැඩි බලපෑම් හේතුවෙන් 2017 දී මාලදිවයින සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගත් බවත් එය පැයකට අඩු විවාදයකින් පසු පාර්ලිමේන්තුව හරහා ඉක්මන් කර ගැනීමට කටයුතු කළ බවට එරට විපක්ෂ කණ්ඩායම් චෝදනා කර තිබුණි. එම නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලපැවැත්වෙන වෙළෙඳ ගිවිසුම් පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කර ඉන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට කටයුතු කළ යුතුය. ආර්ථික අර්බුදයක වෙලී සිටින ශ්‍රී ලංකාව තම උපරිම වාසිය තකා කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවකි.

කෙසේවෙතත් චීනයේ ශ්‍රී ලංකා තානාපති කියූ ෂෙන්හොං මහතා මෑතකදී අවධාරණය කර සිටියේ චීනය යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා හෝ වෙළෙඳාම හරහා ශ්‍රී ලංකාවෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවයි. චීන තානාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගත හැකි නම්, ශ්‍රී ලංකාවට එහි නිෂ්පාදන බිලියන 1.4 ක ජනගහනයක් සිටින චීන වෙළෙඳපොළට අපනයනය කිරීමේ අවස්ථාව උදාකර ගත හැකි බවයි.

චීනය ලෝකයේ විශාලතම අපනයනකරු වන අතර එය ලෝක අපනයනවලින් 13% ක් වටිනාකමින් යුක්ත වේ. එහි වටිනාකම 2016 වර්ෂයේ දී ඩොලර් බිලියන 2,098 කි. පසුගිය දශකය තුළ චීනයේ අපනයන දෙගුණ වී ඇත. මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාව වැනි ණය බරින් පීඩිතව ගෙවුම් ශේෂයේ තුලනය හිඟයක් පවතින රටක් විදේශීය රටක භාණ්ඩ සඳහා තීරුබදු සහන ලබා දීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුය. මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය ලෙසට හැඳින්විය හැකි දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් විය යුතුය.

ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජයට අයත් රටවල් දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයන්ට අනුකූලතාව දක්වමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ණය ප්‍රතිව්‍යුගතකරණය කරදීමට කැමැත්ත පළකර ඇති අවස්ථාවකදී ණය උගුල් වලින් පාඩම් ඉගෙන ගෙන ඉදියට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී චීනයේ මන්දගාමී ප්‍රතිචාර මද්දේ නිදහස් වෙළෙඳ ගිවිසුම් හරහා අවාසිදායක තත්ත්වයක් ඇති නොකර ගැනීමට මෙරට බලධාරීන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන්නේ වෙළෙඳ ශේෂයේ හිඟය තුලනය කිරීමට කැපවීම මේ මොහොතේදී අත්‍යවශ්‍යය කාරණයක් බැවිනි.

ආචාර්ය ප්‍රදීප් ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment