නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නව නීති සම්මත කර දිය යුතුයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

62

මේ පනත රටට අත්‍යවශ්‍යයි – අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ
පනත ගේන්නේ ඡන්දය කල්දාන්න – අනුර කුමාර දිසානායක (ජාජබ)

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නම් දැනට පවතින නීතිවලට වඩා වැඩි නීති සම්මත කර දිය යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) පැවසීය. හෙතෙම මේ බව සඳහන් කළේ, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ගැන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ඇරැඹිණි.

නිවේදන, ලිපිලේඛන, කාරක සභා වාර්තා, වාර්ෂික වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව,මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. පසුව27/2 යටතේ පක්ෂ නායකයන් විසින් විශේෂ ප්‍රකාශ සිදු කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව දිනට නියමිත වූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සම්බන්ධයෙන් විවාදය ආරම්භ කෙරිණි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා:

අද දින අපි විවාද කරන, මැතිවරණ වියදම් පිළිබඳ නියාමනය කිරීමේ පනත ගැන කාලයක සිට මහජන ඉල්ලීමක් තිබුණා. විශේෂයෙන් මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ අයගේ ඉල්ලීමක් තිබුණා. විවිධ සංවිධාන, ඒ වගේම දේශපාලන පක්ෂ. පාර්ලිමේන්තුව තේරීම්කාරක සභාවක් පත් කළා මැතිවරණ නීති සංශෝධනය කිරීමට. මා හිත මිත්‍ර ජී.එල්. පීරිස් මැතිතුමත් ඒ කාරක සභාවේ හිටියා. එහිදීද මැතිවරණ කොමිසම පැමිණ ඉල්ලා සිටියා මැතිවරණ වියදම් පාලනය කිරීමට නීති රීති පැහැදිලිව ඇති කරන්න කියලා. මේ ඇති කරලා තියෙන්නේ ඒ ආපු දීර්ඝ ගමන් මාර්ගයක්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක (ජාජබ) –

ඡන්දෙ තියන්න සල්ලි නැහැ කියනවා. ඡන්දයක් තියන්න සල්ලි නැති තරමටම රට හින්දවලා නම් ආණ්ඩුව අයින් වියයුතුයි. ඒ නිසාම තමයි ඡන්දයක් තියන්න ඕනෑ. ජනතාවට කන්න දෙන්න බැරි නිසාම තමයි ඡන්දය තියන්න ඕනෑ. අලිසබ්රි අධිකරණ ඇමැති හොඳ දවටනයක් ඉදිරිපත් කළා. ඡන්ද සාධාරණ වෙන්න ඕනෑ. වියදම් විනිවිදභාවයකින් වෙන්න ඕනෑ, දවටනය එහෙමයි. නමුත් ඒ දවටනයේ ඔතලා තියෙන්නෙ වසගුලියක්. මැතිවරණයක් ක්‍රියාත්මකව තිබියදී නව නීති ගේන්නෙ මොන අරමුණකින්ද.

පාර්ලිමේන්තුත්ව නීති සම්පාදනය කරනවා මැතිවරණයට අදාළව. මේක ඡන්දය කල් දාන්න කරන දෙයක්. ඇයි ඒ ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ. ඒක තහවුරු වන සාධකය තමයි මැතිවරණය. ඒ නිසයි මේක වළක්වන්න උත්සාහ කරන්නේ. කිසිම දවටනයක් අවශ්‍ය නැහැ. මහ කතා අවශ්‍ය නැහැ. කෙලින්ම කියන්න මේ පනත ගේන්නේ ඡන්දය කල් දැමීමටය කියලා.

ඡන්ද කල් දැමීමේ ප්‍රතිවිපාක නිසා මේ රට ලේ ගංගාවකින් වැසුණු අතීතියක් තිබෙනවා. ඒ අයිතිය එදා දුන්නානනම් 88/89 භීෂණයක් එන්නේ නැහැ. ජනතාව විඳින පීඩනය මැතිවරණයකින් ප්‍රකාශයට පත් කරන්න දෙන්නෙ නැද්ද. පාරට බහින්න දෙන්නෙත් නැහැ. කතිරෙ ගහන්න ඉඩ දෙන්නෙත් නැහැ. මේ ලොටෝ එකෙන් ඇදුණු ජනාධිපතිවරයාටත් අවශ්‍ය තනතුර රැක ගැනීමයි. ඒ වගේම හැමදාම කුටු කුටු ගගා සිටි සභානායකටත් අගමැති කමක් ලැබුණෙ මේ අර්බුදකාරී තත්ත්වය මතයි. නැත්නම් කවදාවත් ලැබෙන්නෙ නැහැ.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්‍ෂ

මේ මැතිවරණ ක්‍රමය තුළ විශාල අක්‍රමිකතා සිදුවෙනවා. විශාල වියදමක් අපේක්‍ෂකයන්ට සිදුවෙනවා. ඒ මුදල් සොයාගන්න විවිධ ක්‍රම භාවිතා කරනවා. ජාවාරම්කාරයන් අපේක්‍ෂකයන්ට මුදල් දෙනවා. එවැනි අයගේ සහාය මත පත්වන පිරිසගෙන් බලාපොරොත්තු වන සේවය ලැබෙන්නේ නෑ. සමහර විට ජීවිතයත් විනාශයට පත්වෙනවා.

එදා බණ්ඩාරනායක මහත්තයට සිදුවුණේ එයයි. ඔහු ව්‍යාපාරිකයන්ගේ මුදල් වලින් බලයට ආවේ. ඔවුන්ගේ වුවමනාව ඉටුකර ගන්න බැරිවුණා. මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් බුරුමයෙන් සහල් ගෙන්වීමට අගමැතිගෙන් ඉල්ලුවා. ඊට එකඟ නොවීම නිසා අගමැතිට ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණා.

අවංකව දේශපාලනය කරන අයව බේරාගත යුතුයි. මේ පනත දිගු කාලයක් සාකච්ඡා වූ පනතක්. රටට අත්‍යවශ්‍ය පනතක්. මහජන නියෝජිතයන් ගැන විශ්වාසය ඇතිකරන්න, දූෂිතයන් එලවන්න, දූෂිතයන් හොයාගන්න, මුදල් නැවත ලබාගන්න නීති ගෙන ආ යුතුයි. වංචා දූෂණ වෙනකම් බලා ඉදලා නැවත ගැනීම නොව වංචා කිරීමට තියෙන ඉඩ වැසිය යුතුයි. සිදුවූ වංචා සෙවීමට අවධානය යොමුවුණා. ඒ පනත අපි ළඟදීම ඉදිරිපත් කරනවා. වංචා දූෂණ කොමිෂන් සභාව බලගතු කරනවා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ අලුත් පනත පදනම් කරගෙන මැතිවරණය කල්දැමීමේ කූට ප්‍රයත්නයක් තියෙනවා. එහි පළමු පියවර තමයි ඊයේ ජනපතිගේ පාර්ලිමේන්තු පැමිණීම. ඔබ නිවැරදි නම් වගන්තියක් ඇතුළත් කරන්න මේ පළාත් පාලන මැතිවරණයට පමණක් අදාළ නොවේ කියලා. එසේ නම් විවාදයක් වත් මේ පනතට අවශ්‍ය නෑ. අපි ඔක්කොටම අත් උත්සන්න පුළුවන්.

මේ මැතිවරණය පැවත්වනවාට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට මරණ තර්ජන ඇවිල්ලා. මේ පනත පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමේ අවසාන පියවර බවට අපිට පෙනී යනවා.

මැතිවරණය කල්දාන්න මුලින්ම සීමා නිර්නය කමිටුව දැම්මා. මේක කලින් කරන්න තිබූ දේවල්. මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වන්න ගත්ත තීන්දුව වැරදියි කිව්වා. කොමිසම බෙදිලා කියලා කිව්වා. මැතිවරණ කොමිසම ජනාධිපති කැඳවා නීති විරෝධීව කටයුතු කළා. ඡන්දය තියන්න සල්ලි නෑ කිව්වා. ඇප තැන්පත් භාරගන්න එපා කියලා රාජ්‍ය පරිපාලන ලේකම් චක්‍රලේඛයක් ගැහුවා.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස්

මේ පනත කාලීන අවශ්‍යතාවක්. අපි ඊට සියයට සියයක් එකඟයි. ඒත් ප්‍රශ්නය වෙනස් දෙයක්. ජනතාවට ලොකු සැකයක් තියෙනවා. මේ පනත මේ වෙලාවේ ගේන්නේ මැතිවරණය කල් දැමීමේ යටි අරමුණින් කියලා. ගිය සතියේ සිදුවූ දේවල් අනුව ඒ සැකය සාධාරණයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට මේ මැතිවරණය කල් දාන්න කටයුතු කළොත් අපි ජාත්‍යන්තරය දැනුවත් කරනවා. ප්‍රජාතාන්ත්‍රවාදය විනාශ කරන්න එපා.

විදේශ ඇමැති අලි සබ්රි

සර්ව සම්පූර්ණ නීති කවදාවත් එන්නේ නැහැ. මේ පනත හදිසියේ හදපු එකක් නොවෙයි. මිනිස්සු පාර්ලිමේන්තුවට යා යුත්තේ මුදල්, බලය හෝ වෙනත් බලපෑම් මත නොවෙයි. රට වෙනුවෙන් තීන්දුගත යුතු මිනිස්සු අවශ්‍යයි. මෙය පටන් ගැනීමක් පමණයි. තවත් ඉදිරියට යා යුතුයි.

විපක්‍ෂයේ සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

20 වැනි සංශෝධනය ගේන විට සංශෝධන 25 ක් මම ගේනාවා. ඒවා පිළිගත්තෙ නෑ. කොමිෂන්සභා සියල්ල ජනාධිපති යටතට පත්කළා. රාජ්‍ය පරිපාලනය ජනාධිපතිට යටකළා. රටම විනාශ කරලා කූඩැල්ලෝ වගේ ආණ්ඩුවේ එල්ලිලා ඉන්නෙ නැතිව ඉවත් වෙන්න. මැතිවරණය කල් දැම්මොත් අපි ඊට එරෙහිව නීතිය හමුවට යනවා. මැතිවරණය කල් දැම්මොත් මේ රටේ විශාල පිපිරීමක් ඇතිවෙනවා.

පාර්ලිමේන්තුව අද (20දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment