නිදහස් සිලෝන් පාපන්දු කුසලාන උතුර උස්සයි

121

ඉකුත් සෙනසුරාදා (05දා) යාපනයේ දොරේඅප්පා ක‍්‍රීඩාංගණයේදී නිමාව දුටු අන්තර් පළාත් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද රුපියල් මිලියන 1.9 ක මුදල සමගින් ‘නිදහස් සිලෝන් අභියෝග කුසලාන’ ට හිමිකම් කියන්නට උතුර නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක කරන ලද මූලික වටයේ පටන්ම නිවැරදි රිද්මයට අනුවර්තනය වෙමින් දේශීය කෙළිබිමට අභිනවයෙන් හඳුන්වා දෙන ලද ‘නිදහස් සිලෝන් අභියෝග කුසලාන’ අපරාජිතව තහවුරු කර ගැනීමට උතුරට හැකියාව ලැබීම කැපී පෙනුණි.

තීරණාත්මක අවසාන තරගයේදී පරාජය ලැබූ දකුණ කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන්ට සහ පුහුණු උපදේශක ම`ඩුල්ලට රුපියල් 25,000 බැගින් ප‍්‍රදානය කෙරිණි.

මෙවර තරගාවලිය පුරා කැපී පෙනුණු උතුරු පළාත් කණ්ඩායමේ මරියදාස් නිදර්ශන් ‘රන් බෝලය’ සහ ‘රන් සපත්තුව’ යන සම්මාන ද්විත්වයම දිනා ගත්තේය.

තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයාට ‘රන් බෝලය’ සම්මානයද වැඩිම ගෝල් ලාභියාට ‘රන් සපත්තුව’ සම්මානයද පිරිනැමීම සම්ප‍්‍රදායකි.

නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරන්නට සමත් වූ මරියදාස් නිදර්ශන් උතුරු පළාත් ආක‍්‍රමණයේ ප‍්‍රබලතම තරගකරුවා ද වූයේය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස තම මෙවර තරගාවලියේ වැඩිම ගෝල් ලාභියා බවට පත්වන්නට ද මරියදාස් නිදර්ශන්ට හැකියාව ලැබිණ. ඒ ප‍්‍රතිවාදීන්ට එරෙහිව ගෝල් 07 ක් රැුස් කරමිනි.

මෙවර තරගාවලියේ දක්ෂතම දැල රකින්නාට හිමි ‘රන් අත් ආවරණය’ දිනා ගැනීමට නැගෙනහිර පළාත නියෝජනය කළ මොහොමඞ් මුර්ෂිත් සමත් විය.

නැගෙනහිර කණ්ඩායම නියෝජනය කළ මොහොමඞ් මන්සීෆ් අනාගත බලාපොරොත්තු තැබිය හැකි වටිනාම ක‍්‍රීඩකයා ලෙස මෙවර සම්මාන ලැබීය.

මෙවර තරගාවලියේ විනීතම කණ්ඩායමට හිමි සම්මානය නැගෙනහිර පළාත දිනා ගත්තේය.

එම්. නිදර්ශන්ගේ නායකත්වයෙන් සමන්විත වූ උතුර සහ රාසික් රිෂාඞ් ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ දකුණ අතර ක‍්‍රියාත්මක කරන ලද අවසාන මහා තරගය පහසුවෙන් ජයග‍්‍රහණය කිරීමට උතුරට හැකි විය. ඒ ගෝල් 03 – 01 ක් ලෙසිනි.

තරගය ඇරඹී 23 වැනි මිනිත්තුවේ දී වී. විග්නේෂ් පළමු ගෝලය ද 45 මිනිත්තුවේදී කේ. තෙනුෂාන් දෙවන ගෝලය ද 59 මිනිත්තුවේ දී එම්. නිදර්ශන් තෙවන ගෝලය ද රැුස් කරමින් උතුරේ ජයග‍්‍රහණය සනාථ කළහ. පරාජිත පිල වෙනුවෙන් සටහන් වූ එකම ගෝලය ඞී. කේෂාන් දුමිදු 85 වැනි මිනිත්තුවේ දී වාර්තා කළේය.

සහාය විනිශ්චකරුවන් වන ඉරාන් උදය කාන්ත සහ සම්පත් ලියනගුණවර්ධන යන මහත්වරුන් ගේ සහයෝගය ඇතිව ජාත්‍යන්තර විනිසුරු නිවෝන් රුබේෂ් මහතා විසින් මෙම තරගය විනිශ්චය කරන ලදී. එම්. ආර්. එම්. සිනන් මහතා තරග කොමසාරිස් ලෙස කටයුතු කළේය.

‘නිදහස් සිලෝන් අභියෝග කුසලාන’ ප‍්‍රදානය ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අනුරුද්ධ – හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment