නිදහස් සිහිනයට වැට බඳින්නෝ

41

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සමස්ත රාජ්‍ය තන්ත්‍රයම කොන්දේසි විරහිතව විධායක ජනාධිපතිවරයාගේ ග්‍රහණයට ගැනීමේ නිල බලපත්‍රයට එරෙහිව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රීය ඉඩ ප්‍රස්ථාවන් රැසකටම දොරටු විවෘත වුණා.

ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමත් ඒ හරහා මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසම, මූල්‍ය කොමිසම, සීමා නිර්ණය කොමිසම, ගිණුම් සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම වැනි කොමිෂන් සභා නමයක් නිර්මාණය වුණා.

ස්වාධීන කොමිෂන් සභා යනු, මහජනතාව සහ දේශපාලන පන්තිය අතර තිබෙන සම්බන්ධතාව, යම් කිසි ආකාරයකට කළමනාකරණය කිරීමක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සෑම ස්වාධීන කොමිෂන් සභාවක් සඳහාම සාමාජිකයන් පත් කර ගත යුතුව ඇත්තේ එක් එක් දේශපාලන පක්ෂවල හෝ බලවතුන්ගේ අපේක්ෂා සහ සිතැඟියාවන් අනුව නොව රටේ ඉදිරි යහපැවැත්ම උදෙසා සිය උපරිම කාර්යභාරය මනා ලෙස හැසිර විය හැකි පුද්ගලයන් කෙරෙහි සැලකිලිමත් වෙමින්. එසේ නොවූ විට ස්වාධීන කොමිෂන් සභා වලින් අපේක්ෂිත ශුද්ධ වූ අරමුණු ඉටු වෙතැයි සිතන්නට බැහැ.

සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී නූතන ලෝකය තුළ සිදුවෙන්නේ ශිෂ්ට සම්පන්න අපේක්ෂාවන් සහ අරමුණුවලට ඉඩ විවර වීම.

බලය ජනතාව අතට පත් වීම පිළිබඳව සහ ජනතා පරමාධිපත්‍යය පිළිබඳව ඇතැම් බලලෝභී කණ්ඩායම් භීතියට පත් වීම පුදුමයට කරුණක් නොවේ. එවැනි කණ්ඩායම් බොහෝවිට ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ක්‍රියා කරනවා මෙන්ම ඒකාධිපතිවාදයට කිට්ටුව කටයුතු කරනවා.

“හීලෑ වෙයල්ලා නැත්නම් බලාගෙනයි.” යන අනතුරු ඇඟවීම දෙමින් ස්වාධීන ආයතනවලට රතු එළිය දල්වන ලෙසින් පාර්ලිමේන්තුව ඉදිරියට පාලකයන් ගෙන එන යෝජනා අද අපි දකිනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම, ජනතා වුවමනාවන් තේරුම් නොගෙන විකෘති තීන්දු වලට පාර්ලිමේන්තුව ගෙන යන්න උත්සාහ කරන උදවිය, අද පාකිස්තානයේ පිල් මාරුකළ මන්ත්‍රීන්ට ජනතාව ඉදිරියට යා නොහැකි තත්වයකට පත්ව සිටීම වැනි සිදුවීම් වලින් හෝ පාඩම් උගත යුතුව තිබෙනවා.

නමුත් නව ලෝකය ඉතා වේගයෙන් ඒකාධිපතිවාදීත්වය පිළිකුල් කරනවා. එමෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

බොහෝ ඒකාධිපති රටවල් වල පාලකයන්ට අද වනවිට ලෝකය තුළ උරුම වෙමින් පවතින තත්ත්වය දෙස බැලූ විට නව ලෝකයේ ප්‍රවණතාවන් පිළිබඳව අවබෝධයක් ගන්නට පුළුවන්කම තිබෙනවා.

අන් අයගේ නිදහස නැති කරන අය එම නිදහස භුක්ති විඳීමට සුදුසු නැත” කියා වරක් එබ්‍රහම් ලින්කන් පවසා තිබෙනවා.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජන කණ්ඩායම් අතර සමානාත්මතාවක් ඇති කර ගැනීමට, එම ජන කණ්ඩායම්වලටත් තමන්ගේ ආත්ම ගෞරවය ඇතිව ජීවත්වීමට හැකි මට්ටමක් ඇතිකර ගැනීමට ඇති ඉඩ අහුරා දැමුවේ ඇතැම් බලලෝභී සහ ඒකාධිපතිත්වයට කිට්ටු කණ්ඩායම් විසින්.

එහි භයානක පීඩනය දශක ගණනාවක් තිස්සේ අපි භුක්ති විඳිමින් සිටිනවා.

ඇමරිකාවේ වසන සියලු ජනයා ඇමරිකානුවන් වෙද්දී, ඉන්දියාවේ වසන සියලු ජනයා ඉන්දියානුවන් වෙද්දී, ඔස්ටේ්‍රලියාවේ වසන සියලු මිනිසුන් ඔස්ටේ්‍රලියානුවන් වෙද්දී, අප්‍රිකාවේ වසන සියලු මිනිසුන් අප්‍රිකානුවන් වෙද්දී ශ්‍රී ලංකාවේ වසන මිනිසුන් සිංහල දෙමළ මුස්ලිම් යනාදී ලෙස වර්ගවාදීව කොටස් වීම බරපතළ බරපතළ ඛේදවාචකයක්.

ලීක්වාන් යූ සිංගප්පූරුව ගොඩනැගීමට විවිධත්වය අපූරුවට යොදා ගත්තා. විවිධ ජාතිකත්වයන්ගෙන් සමන්විත මිනිසුන් තම රට ගොඩනැගීමේ ගාමක බලවේගය බවට පත් කරගන්නට ඔහුට පුළුවන්කම තිබුණා. ඔහු චීන සම්භවය පාවිච්චි කරමින් මහා චීනයේ වෙළෙඳ පොළ ජයගත්තා. ඔහු ඉන්දීය සම්භවය පාවිච්චි කරමින් ඉන්දියානු වෙළෙඳපොළ ජයගත්තා. ඔහු ඉස්ලාමීය සම්භවය පාවිච්චි කරමින් ඉස්ලාමීය ලෝකය දිනා ගත්තා.

මාටින් ලුතර් කින් මෙසේ කියා තිබුණා.

මේ වනවිට රුදුරු ජාතිවාදීන් සහිත, ‘මැදිහත්වීම‘, ‘අහෝසි කිරීම‘ වැනි වචන නිතර සිය තොලෙන් ගිලිහෙන ආණ්ඩුකාරවරයකු සහිත, ඇලබාමා ප්‍රාන්තයේ කුඩා කලු දරු දැරියන්, සුදු දරු දැරියන් සමග සහෝදර සහෝදරියන් ලෙස අත්වැල් අල්ලා සිටින දිනක් උදාවනු ඇති බවට සිහිනයක් මට තිබෙනවා. මට අද සිහිනයක් තිබේ.”

අද අපට ඇති සිහිනයක් එවැන්නක් ම නොවේද?.

1949 නොවැම්බර් 25 දා ඉන්දීය ව්‍යවස්ථාවේ අවසන් කියවීම අවසානයේ දී, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නායකයන්ගෙන් අයෙකු ද, එරට දාලිත් ජනයාගේ අවිවාදිත නායකයා ද වූ ආචාර්ය භීම්රාවෝ අම්බේඩ්කර් සාමාන්‍ය පරිදිම අනාගත ඥානයෙන් පිරි කතාවක් පැවැත්වූවා.

“1950 ජනවාරි 26 වැනිදා, අපි පරස්පර ජීවිතයකට ඇතුළුවෙන්න යනවා. දේශපාලනයේදී අපට සමානාත්මතාව තියේවි, නමුත් සමාජ සහ ආර්ථික ජීවිතයේ දී අපට අසමානාත්මාතාවක් තියේවි,” අම්බේඩ්කර් එහෙම කීවා.

‘සිංහල වෙච්චාවේ, දෙමළ වෙච්චාවේ, මුස්ලිම් වෙච්චාවේ අපි එකම ජාතියක්. ශ්‍රී ලාංකීය ජාතියට ආශිර්වාද වේවා!..

ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වූ දා ඩී එස් ඩඩ්ලි සේනානායකයන් එහෙම කීවා.

නමුත් අදත් අපි අපි සොයමින් සිටින්නේ ඒ මානව හිතවාදී ගුණය කොහෙද කියන එකයි. අදත් අපි සොයමින් සිටින්නේ ශ්‍රී ලාංකිකයන් අතර සංහිඳියාව කොහෙද කියන එකයි.

අභිමානවත් රටක් ලෙසින් අපේ මාතෘ භූමිය අනාගත පරපුරට භාර දෙන්නට නම්, අප අතර ගැටුම් ඇති කරන, අපව භේද කරන මේ දුෂ්ඨ න්‍යාය පත්‍ර පරාජය කළ යුතුමයි.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment