නිදහසේ අඹ ගස රෝපණය කළ පොල්වත්ත පුදබිම

187

පෙබරවාරි 04 දින ශ්‍රී ලංකාවට ලැබුණු නිදහස පිළිබඳ ඓතිහාසික තොරතුරු විමසීමේදී පැහැදිලි වන්නේ එය ප්‍රදානයක් නොව අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව දේශහිතෛෂී ගිහිපැවිදි විරුවකන් මහත් පරිශ්‍රමයෙන් යුතුව ලබාගත් නිදහසක් බවත් 1805 දී අප රටට අහිමිවූ නිදහස ලබාගැනීමට අපේ රටේ නිදහස වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කළ ජාතික වීරවරයන් අතර පූජ්‍යපාද හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, පූජ්‍යපාද රත්මලානේ ධම්මාරාම හිමි, පූජ්‍යපාද වාරියපොළ සුමංගල හිමි, කඩහපොළ හිමි වැනි සංඝ පීතෘන් වහන්සේලා මෙන්ම මායාදුන්නේ, වීර කැප්පෙටිපොළ, ගොන්ගාලේගොඩ බංඩා, මද්දුම බණ්ඩාර වැනි ජාතික වීරයෝද ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් පුරෝගාමීව කටයුතු කළහ. එමෙන්ම ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්, එෆ්. ආර්. සේනානායක, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, වලිසිංහ හරිශ්චන්ද්‍ර, සර් පොන්නම්බලන්, සිද්ධිලෙබ්බේ, අරුණාචලම් වැනි දේශ හිතෛෂීන් ඇතුළුව මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්ද නිදහස වෙනුවෙන් කළ කැපකිරීම මත තවදුරටත් යටත්විජිතයක් ලෙසින් පවත්වාගෙන යෑමට නොහැකි වූ බැවින් 1948 පෙබරවාරි 04 වැනි දින බ්‍රිතාන්‍යයන් විසින් ආණ්ඩුකාරවරයා පත් කිරීමේ බලය ඔවුන් වෙත තබාගෙන නිදහස ප්‍රදානය කිරීම ඓතිහාසික වශයෙන් ලංකා ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි.

එවන් ඓතිහාසික නිදහස ලැබූ 1948 පෙබරවාරි 04 වන දින අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමන් තම අග්‍රාමාත්‍ය නිල මැඳුර නොහොත් අරලියගහ මන්දිරය අසල පිහිටි පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේ වැඩ සිටි ශ්‍රී ලංකා රාමක්‍ද්ක්‍ද මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක හංචාපොළ ශ්‍රී විමලවංශ අනුනායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පොල්වත්ත විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් නිදහස ලැබීමෙන් අනතුරුව මූලික ආගමික කටයුතු සිදු කළහ. ආගමික වතාවත් සිදුකොට අග්‍රාමාත්‍යතුමන් ප්‍රධාන ලක්වැසි සැමට ආශිර්වාද කළ අතර නිදහස් සටනේදී දිවි පිදූ සැමට පින් අනුමෝදන් කරවීමට අමතක නොකළහ. එමෙන්ම නිදහස් සමරු සටහනක් වශයෙන් අඹ පැළයක් රෝපණය කිරීමද මෙදිනම සිදු කරන ලදී. අදටත් එම අඹ පැළය මහා වෘක්ෂයක් බවට පත්වී නිරුපද්‍රිතව පවතින අතර වාර්ෂිකව පෙබරවාරි 04 වන දින එම අඹ රුක අභියස මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමන් වෙත පුෂ්පපූජෝපහාර දක්වා ආගමික වතාවත් සිදු කිරීම පෞරාණික චාරිත්‍ර ධර්මයක් වශයෙන් අඛණ්ඩව සිදු කෙරේ.

75 වැනි නිදහස සමරන අවස්ථාවේදී අප අවධානය යොමු කළ යුතු වන්නේ ගෙවී ගිය 75 වසර තුළ අප ලද නිදහස සුරැකීම වෙනුවෙන් අපේ කැප කිරීම කෙසේ සිදුවීද යන්නයි. නිදහස උතුම් දෙයකි. එම නිදහස, ජාතික, ආගමික, අධ්‍යාපනික, ආර්ථික හා පෞද්ගලික වශයෙන් විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කළ හැකිය. සෑම කෙනෙක්ම නිදහස බලාපොරොත්තු වනවා මෙන්ම නිදහසට ප්‍රිය කරති. එබැවින් 1805 දී අපට අහිමි වී ගිය නිදහස ලබා ගැනීමට දේශාභිමානි විරුවන් දිවි පුදමින් සටන් කළහ. 1946, 1947 කාලය වන විට නිදහස් සටනේ උච්චතම අවස්ථාව විය. මෙකල ජාතියේ පියාණන් ලෙස විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා අප රටෙහි පුරවැසියන් වූ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජාතිකයන් ඒකරාශි කරගෙන විදේශ ආක්‍රමණිකයන්ගෙන් රට නිදහස් කර ගැනීමට සමත් විය.

විශාල පරිශ්‍රමයක් යොදා ලබා ගත් නිදහස නිරවුල්ව භුක්ති විඳීමට තරම් අප භාග්‍යවන්ත වීදැයි පුනරාවලෝකනය සඳහා කදිම අවස්ථාවකි 75 වන නිදහස සැමරු දිනය. පාලක – පාලිත දෙපාර්ශවයම මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. පාලක – පාලිත දෙපාර්ශවයම ආත්මාර්ථකාමීත්වයෙන් තොරවී වංචාවෙන් දූෂණයෙන් තොරවී ජාතික හැඟීමෙන් ක්‍රියා කිරීමෙන් නිදහස් නිවහල් ජාතියක් වශයෙන් නැගී සිටිය හැකිය.

කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමයේ වාර්ෂිකව සිදු කෙරෙන නිදහස් සමරු ආගමික උත්සවය ජාති ආගම් පක්‍ෂ භේදයෙන් තොරව සිදු කිරීමට කටයුතු කිරීම අප කාගේත් වගකීම හා යුතුකම වේ. මෙවර 75 වැනි නිදහස් සමරු උත්සවය සංවිධානය සඳහා කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂ සංවිධායක ටයිටස් පෙරේරා මැතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් අභිමානවත් ලෙස නිදහස සමරන්නට අවස්ථාව උදාවී ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප්‍රධාන රජයේ සුවිශේෂ දායකත්වය ද සිහිපත් කරන අතර රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතු කරන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජනයද කෘතවේදීව අගය කළ යුතුය.

ශ්‍රී ලංකා රාමක්‍ද්ක්‍ද මහා නිකායේ අතිපූජ මහා නායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය ඇතිව අතිපූජ්‍ය අනුනායක ආචාර්ය වලේබොඩ ගුණසිරි නායක ස්වාමීන් වහන්සේගේ මූලාසනයෙන් හා ජනාධිපති රනිල් වික්‍රමසිහ මැතිතුමන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් ප්‍රධාන මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් 75 වැනි නිදහස් සමරු ආගමික වතාවත් පොල්වත්ත විහාරස්ථානයේදී සිදු කිරීමට පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය හා දහම් පාසල සංවිධාන කටයුතු සිදු කෙරේ.

නිදහසේ අඹ ගස රෝපණය කළ පොල්වත්ත පුදබිම

ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරාධිපති,
ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment