නිදහසේ අර්ථයට ත‍්‍රිත්ව එන්නතක්

134

මේ නිදහස ගැන අභිමානයෙන් කතාකරන සතියකි. නිදහස අත්පත් කරගන්නට යුග ගණනාවක් තිස්සේ කරන ලද අරගල ඇතුළු යටගියාව ගැන අප සිහිපත් කරන සතියකි. එම අරගලයේ අවසන් අදියර ප‍්‍රචණ්ඩත්වයකින් කළ අරගලයකට වඩා, බුද්ධියෙන් සිදුකළ අරගලයක් ලෙස මම දකින්නෙමි.

අධිරාජ්‍යවාදී පාලනයක් තුළ තම අභිමානය අහිමිව, තම අනන්‍යතාවන් අභියෝගයට ලක්වෙමින්, වහල් සමාජයක් ලෙස අපේ මුතුන් මිත්තනට එදා ජීවත්වන්නට සිදුවූ ආකාරය ගැන අපි අසා ඇත්තෙමු.

නිදහස් රටක් වෙනුවෙන් සියලූ ජාතීන් එක්ව ගෙන ගිය අවසන් අරගලය, අදට ද අපට ලබාදෙන්නේ මහත්වූ ආදර්ශයකි.

”උඹලා බෙදිලා ඉන්න ජාතියක්. උඹලට නිදහස දෙන්නට බැහැ. නිදහස දුන්නොත් උඹලා මිනීමරා ගනීවි. ඇනකොටා ගනීවි. නිදහස දෙන්නට නම් පළමුව එකතු වෙයල්ලා.”

මේ, අප යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදීන් නිදහස ඉල්ලා අරගල කරන එදා සිටි අපේ නායකයන් වෙත යොමුකළ අභියෝගයයි. සැබැවින්ම ඔවුන් අපේ එකමුතුව ප‍්‍රාර්ථනා කළ බව නම් සිතිය නොහැක. අපේ සමාජයේ බෙදීම්වල මුවාවෙන් තවදුරටත් නිදහස ප‍්‍රමාද කිරීම ඔවුන්ගේ උපාය මාර්ගය විය. මතුපිටින් ”එකතුවෙයල්ලා” යන අභියෝගය ඉදිරියට දමමින්, පවතින බේද උග‍්‍ර කිරීමට ඔවුන් කටයුතු කළ අන්දම දැකිය හැකි විය.

සැබැවින්ම එදා ශ‍්‍රී ලාංකික සමාජය බෙදී සිටි සමාජයක් විය. ජාති, ආගම්, කුල, උඩරට, පහතරට මේ ආදී වශයෙන් විවිධ සංවිධානවලට අපේ සමාජය බෙදී සිටියහ. නිදහස දිනා ගැන්ම උදෙසා පූර්ව අවශ්‍යතාව වන එකමුතුව ඇතිකර ගැන්ම අභියෝගයක්ම විය. අධිරාජ්‍යවාදීන්ගේ උපාය මාර්ගයන්හි ගොදුරු බවට පත්වූ ඇතැම් දේශීය නායකයන් නිදහසට පක්ෂවන්නට

”පනහට පනහේ” කොන්දේසිද ඉදිරිපත් කරන තරමට අපේ සමාජයේ බෙදීම් වැඩිකර තිබිණ.

මේ වාතාවරණය තුළ දුරදැක්මකින් යුතුව ශ‍්‍රී ලාංකික සමාජය තුළ එකමුතුව ඇතිකර ගැන්ම සඳහා එදා සිටින නායකයන් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කර ඇති අයුරු ගැන අපේ ඉතිහාසය සාක්ෂි දරයි.

”සිංහල වෙච්චාවේ, දෙමළ වෙච්චාවේ, මුස්ලිම් වෙච්චාවේ, බර්ගර් වෙච්චාවේ අපි එකම ජාතියක්.

ශ‍්‍රී ලාංකික ජාතියට ආශිර්වාද වේවා.”

ඞී. ඇස්. සේනානායකයන් එදා නැගූ මේ හඬ පොත්පත්වලින් කියවන විට, ඒ හඬ අපේ දෙසවන්වල දෝංකාර දෙන බවක් මට දැනේ. එදා නිදහස වෙනුවෙන් ශ‍්‍රී ලාංකික සමාජය තුළ ගොඩනගා ගත් ඒ ශක්තිමත් එකමුතුව හේතුවෙන් ”නිදහසේ සිහිනය” සැබෑ කරගන්නට අපට හැකිවිණ.

ඩොමීනියන් තත්ත්වය ලබාදීම පිළිබඳ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ජනකොටසක නායකයකු ලෙසින් ආචාර්ය ටී.බී. ජයා මහතා කළ කතාව මම හැන්සාර්ඞ් වාර්තාවලින් කියවා ඇත්තෙමි.

”සුළු ජන කොටසක් ලෙසින් අපට දුක් ගැනවිලි තිබෙනවා. අඩුපාඩුකම් තිබෙනවා. ඒවා ගැන කතාකරන්නට, මේ අවස්ථාව නොවෙයි. දේශපාලන නිදහස දිනාගැන්ම ජාතියක් වශයෙන් අපට අන් සියල්ලට වඩා ප‍්‍රධානයි. මම රට පුරා ගොස් මගේ ජනකොටසේ සියලූම සංවිධාන සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ සියලූ දෙනාගේ එකඟතාවය ඇතිව මම අද ප‍්‍රකාශ කරනවා, නිදහසට පක්ෂවීම උදෙසා අප කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කරන්නේ නැහැ. අපි කොන්දේසි විරහිතව නිදහස වෙනුවෙන් වන මේ යෝජනාවට පක්ෂ වෙනවා. නිදහසින් පසු අපේ වැඩිමල් සොහොයුරන් බඳු සිංහල සොහොයුරන් සමග අපේ දුක්ගැනවිලි සහ අඩුපාඩුකම් අපට සහෝදරත්වයෙන් නිරාකරණය කරගත හැකියි.”

එදා අපේ අතීත නායකයන් පළකළ මේ අදහස්, ශ‍්‍රී ලංකාව යා යුතු මග පිළිබඳව අපට බීකන් පහනක් මෙන් එළිය ලබාදෙන බව මට හැඟේ.

”විවිධත්වය තුළ එකමුතුව ශක්තිමත්ව පවතින ශ‍්‍රී ලාංකික ජාතියක්” පිළිබඳව එදා අපේ නායකයන් මැවූ සිහින යථාර්ථයක් ලෙසින් පවත්වා ගන්නට, ජාතියක් ලෙසින් අපි සමත් වී ඇද්ද යන්න ගැන අප බැ?රුම්ව සිතිය යුතුව ඇත්තෙමු. නිදහසින් පසු වසර හැත්තෑ ගණනක් පසුවී ඇත. මෙයින් දශක පහක්ම ප‍්‍රචණ්ඩත්වය සමග ජීවත්වන්නට ශ‍්‍රී ලාංකික ජාතියට සිදුවිණ.

එදා නායකයන් අපට තිළිණ කළ නිදහස් අධ්‍යාපනය මෙන්ම පසුකාලීනව ඒවා වඩාත් අර්ථාන්විත කළ මහපොළ, දිවා ආහාරය, නොම්ලේ පාසල් පොත්පත්, නිල ඇඳුම් ආදිය හේතුවෙන් නැතිබැරි පවුල් තුළින් උගතුන් මතුවී ඒම අපි දකින්නෙමු. අකුරු සාක්ෂරතාව අතින් කලාපයේ අනෙක් රටවලට වඩා අප ඉදිරියෙන් සිටි ජාතියක් විය. නිදහස් සෞඛ්‍ය සේවය නිසා 40 ගණන්වල වයස 47 ක් පමණවූ පරමායුෂ, අද යුගයේ දෙගුණයක් වී, අද එය වයස අවුරුදු 77 ක් පමණ වී ඇත. මේ අයුරින් සාධනීය ලක්ෂණ තිබුණද අද අපේ මාතෘ භූමිය පවතින්නේ කෙබඳු තත්ත්වයකද?

නිදහස ලබන අවධියේ ජපානය හා සමාන තත්ත්වයක සිටි, ලොවට ණය නැති ජාතියක්වූ අපට, අද තත්ත්වය ගැන සැබැවින්ම සතුටුවිය හැකිද? අපට පිටුපසින් සිටි කලාපයේ සියලූම රටවල් පාහේ අප අභිබවා ගොස් ඇත. දූෂිත රටවල් පිළිබඳ ජාත්‍යන්තර දර්ශකයන්හි අපි කනගාටුදායක තත්ත්වයකට පත්ව ඇත. මානව අයිතීන් උල්ලංඝනය කරන රටවල් අතර අපි පහත් තත්ත්වයකට පත්ව ඇත. මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන් ප‍්‍රශ්නවලට මුහුණ දෙන රටවල් අතර අපට රතු එළිය දැල්වී ඇත.

නිදහස දිනාගෙන දසක හතක කාලය පසුකරන යුගයක රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන දුර්වලවී, අධිපතිවාදී පාලනයකට උපකාරීවන 20 වන සංශෝධනය වැනි පියවරයනට යෑම තුළින් ව්‍යාවස්ථාදායකය දුර්වලවීම්, අධිකරණ ස්වාධීනත්වය, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, පොලිස් සේවයේ ස්වාධීනත්වය, මැතිවරණ පැවැත්වීමේ බලධාරීන් වන එම කොමිසමේ ස්වාධීනත්වය ආදිය ප‍්‍රශ්නකාරීවී තිබීම අද අප දකින යථාර්ථයයි.

ශක්තිමත් එකමුතුවක් තුළින් අපේ මුතුන්මිත්තන් දිනා දුන් නිදහස ආරක්ෂා කරමින්, එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය ඉදිරි පරම්පරාවනට උරුමකර දීමේ අභියෝගය අද යුගයේ අප ඉදිරියේ ඇති ප‍්‍රමුඛ අභියෝගය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment