නිදහසේ නොකියැවෙන පැත්ත

261

1948 පෙබරවාරි මස 04 දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ ශ්‍රී ලංකාව මෙවර සමරනු ලබන්නේ එහි 74 වැනි සංවත්සරයයි.

ඩොමීනියන් නිදහස ලෙසින් හඳුන්වන ලද එම නිදහස ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණේ 1947 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ස්වාධීන ආණ්ඩුක්‍රම පනත ප්‍රකාරවයි. එබැවින් එම නිදහස් ආණ්ඩුක්‍රම පනතේ ඇති කරුණු කාරණා අමතක කොට නිදහස් දිනය සැමරීමට යෑම ඉතිහාසය විකෘති කිරීමක් බව අපගේ මතයයි. ජාතික නිදහස් දිනය අපට වැදගත් වන්නේ එය මෙරට ජනතාව විදේශ ආධිපත්‍යයට එරෙහිව ගෙනගිය සටනක ජයග්‍රාහී සන්ධිස්ථානය වූ නිසයි.

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් මෙන්ම කන්ද උඩරට පළාත් ද බ්‍රිතාන්‍ය පාලනයට පැවරුණේ පවරාගත් (Ceded Colony) විජිතයක් ලෙසයි. බ්‍රිතාන්‍ය පාලකයන් ලංකාව සලකනු ලැබුවේ පවරාගත් විජිතයක් ලෙසයි. නිදහස සමරන සෑම අවස්ථාවකදීම අපේ බොහෝදෙනෙකුට ඒ කරුණ අමතක වීම අද අප කාටත් ප්‍රශ්නයක් වී ඇත. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කර දෙන නඩු තීන්දු කිහිපයක් ඇතත් ඒවා ඇසුරින් කරුණු පැහැදිලි කිරීමක් අද අප රටේ දක්නට නැත. ලංකාවට ඩොමීනියන් නිදහස අවශ්‍ය බව කියැවෙන යෝජනාවක් රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ගෙන එනු ලැබ ඇත්තේ 1942 මාර්තු මස 26 වැනිදාය. එම යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කර තිබුණේ එවකට සිංහල මහා සභාවේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ හොරණ මන්ත්‍රීවරයාව සිටි ඒ. පී. ජයසූරිය මහතා විසිනි. යෝජනාව ස්ථිර කරන ලද්දේ සිංහල මහා සභාවේ තවත් ප්‍රබල සාමාජිකයකු වූ ගාල්ල මන්ත්‍රීවරයාව සිටි එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතා විසිනි. එම යෝජනාවෙන් කියැවුණේ මෙයයි.

දෙවන මහා ලෝක යුද්ධය අවසන් වූ විගස ශ්‍රී ලංකාවට ඩොමීනියන් නිදහස ප්‍රදානය කළ යුතු යැයි අදහස් කර සිටින මෙම සභාව

අ) අනෙකුත් බ්‍රිතාන්‍ය යටත් විජිත සම්බන්ධව කටයුතු කිරීමේදී ක්‍රියාකළ ආකාරයට මෙහිදීත් මේ බවට ප්‍රතිඥාවක් දෙන ලෙසත්,

ආ) ජනතා නියෝජිතයන් මුණගැසී සාකච්ඡා කළ හැකි වන පරිදි ශ්‍රීමත් ස්ටැපර්ඩ් ක්‍රිප්ස්ගේ ඉන්දීය සංචාරය ලංකාව තෙක් දීර්ඝ කරන ලෙසත් ඉල්ලා සිටී.

ඒ. පී. ජයසූරිය මහතාගේ ඉහත කී යෝජනාව සම්මත වීමෙන් පසු ඩොමීනියන් තත්ත්වය ඉල්ලා කෙරුණු තවත් යෝජනා කීපයක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරනු ලැබුවත් 1943 මැයි 20 දරන ප්‍රකාශනය බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කරනු ලැබුවේ ඒ. පී. ජයසූරිය මහතාගේ යෝජනාවට ප්‍රතිචාර වශයෙනි. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන සොයාබැලීමට 1948 දී මෙහි පැමිණි සෝල්බරි කොමිසමේ විෂය කරුණු සීමාව 1943 ප්‍රකාශනයේ කරුණුවලට සීමාකර තිබීම මෙහිලා විශේෂයෙන් කිව යුතු කරුණකි. ඒ තත්ත්වය පිළිගැනීමට මෙරට දේශපාලනඥයන් තුළ වැඩි කැමැත්තක් නොතිබුණි. ජාතික සංගමයේ ප්‍රබල සාමාජිකයෙකු වූ ඩී. එස්. සේනානායක මහතා දැඩිව කියා සිටියේ මෙරටට ඒ. පී. ජයසූරිය මහතා ඉල්ලා සිටි පරිදි ඩොමීනියන් නිදහස ප්‍රදානය කළ යුතු බවයි.

ඩොමීනියන් නිදහස ඉල්ලා මෙරට ජනතාව ගෙනගිය සටන යථාර්ථයක් බවට පත්කර ගත හැකි වූයේ 1945 පැවති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන් එරට කම්කරු පක්‍ෂය බලයට පත්වීමත් සමඟය. බලයට පත් කම්කරු ආණ්ඩුවේ නව අගමැතිවරයා වූ ක්ලෙමන්ට් ඇම්ල මහතා කළේ ඒ වන විට සාදා තිබූ සෝල්බරි වාර්තාව පදනම් කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. එම සංශෝධන අනුව 1947 නිදහස් ආණ්ඩුක්‍රම පනත මගින් ශ්‍රී ලංකාවට ඩොමීනියන් නිදහස ප්‍රදානය කරනු ලැබීය.

1948 පෙබරවාරි 04 දින ශ්‍රී ලංකාව පූර්ණ ඩොමීනියන් නිදහස් රාජ්‍යයක් බවට පත් වූයේ ඒ අනුවය. කවුරුන් විසින් කුමන විවේචන එල්ල කළ ද එම ව්‍යවස්ථාව යටතේ විශාල ප්‍රගතියක් අත්කර ගනිමින් නිදහස් රාජ්‍යයක් ලෙස ඉදිරියට යෑමට ශ්‍රී ලංකාවට හැකි වූ බව අප කවුරුන් විසිනුත් පිළිගත යුතු යථාර්ථයක් බව කිව යුතුය. එය එසේ වුවත් එම නිදහස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව එල්ල වූ විවේචන මුළුමනින් අමතක කර දමා නිදහස් දිනය සැමරීම ජනතා බද්ධියට නිගාවක් බව අපගේ හැඟීමයි. පසු කලෙක එම ඩොමීනියන් නිදහස් ආණ්ඩුක්‍රම පනත අහෝසි කොට ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමටද බෙහෙවින් බලපෑමේ එම විවේචනයයි.

එම නිදහස් ආණ්ඩුක්‍රම පනතේ 01 වගන්තියේ 01 වන උප වගන්තියෙන් කියැවුණේ ලංකාවට නිදහස ප්‍රදානය කිරීමෙන් පසු වුවද ලංකාවට බලපාන සේ නීති පැනවීමේ අයිතියක් බ්‍රිතාන්‍යයට ඇති බවයි.

එහි සිංහල අදහස මෙයයි. “අදාළ දිනයේ හෝ ඉන් පසු එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක නීතියක් පනවන්නැයි කියා ලංකාව ඊට අනුමැතිය දී ඇති බව එකී පනතෙහි පැහැදිලිව ප්‍රකාශිතව දක්වා ඇත්නම් මිස එවැනි නීතියක් වලංගු වන හෝ වලංගු සේ සැලකෙන කොටසක් නොවන්නේ ය යනුයි. (මෙහි අදාළ දිනය යනු 1948 පෙබරවාරි 04 යි)

එවැනි වගන්තියක් නිදහස් ආණ්ඩුක්‍රම පනතට එක්කර තිබීම නිසා ලොව ඇතැම් රාජ්‍යයන් කලක් යනතුරුම ලංකාවට පූර්ණ නිදහස් රාජ්‍යයක තත්ත්වය ලැබී නැති බව කියමින් ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය නොදිය යුතුය යන ස්ථාවරයේ පිහිටා කටයුතු කළ බව ද අප විසින් මෙහිදී අමතක නොකළ යුතු කරුණකි. ඒ හේතුව නිසා ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගත හැකි වූයේ 1955 වසරේදී ය.

ඒ අතරම ලංකාවේ ඇතැම් දේශපාලන පක්‍ෂ ද එම වගන්තිය ගැන පළකර තිබුණේ දැඩි විරෝධයකි. ඔවුන් අසා සිටියේ ලංකාවට ලැබුණේ සැබෑ නිදහසක් නම් ලංකාව වෙනුවෙන් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ලවා නීති සම්මත කරවා ගතහැකි බව කියැවෙන වගන්තියක් එලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබුණේ කව්රුන් විසින් ද? කා උදෙසාද? කුමන අරමුණක් අරභයා ද යන ප්‍රශ්න ඔවුන් විසින් නිරතුරුව අසන්නට විය.

තවත් ඇතැම් විවේචනවලින් කියැවුණේ පවරා දුන් විජිතයක් (Ceded Colony) ලෙස සැලකුනු ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කිරීමේදී ඒ කරුණ මුළුමනින් ම අමතක කර දමා බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ සිතැඟියාවන්ට අනුව සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වකින් නිදහස ප්‍රදානය කිරීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවය. එය ආක්‍රමණයෙන් යටත් කොටගත් ඉන්දියාව, පාකිස්ථානය සහ බුරුමය වැනි රාජ්‍යයන් සම්බන්ධව සාධාරණ වුවත් පවරා ගත් රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාව සම්බන්ධව අනුමත කළ නොහැක්කක් බව ඔවුන්ගේ මතය විය.

ඒ කරුණු පැහැදිලි කිරීමට ඔවුන් ගෙනහැර දක්වා තිබුණේ මැන්ස්පීල්ඩ් සාමිවරයා විසින් 1774 දී දෙන ලද කැම්බල් ඒ හෝල් නඩු තීන්දුවයි. එම නඩු තීන්දුවෙන් කියැවුණේ රටක් යටත්කර ගැනීමේදී ඇතිකර ගන්නා වූ නියමිතයන් (Articles of Capitulation) සහ රටක සාමය ස්ථාපිත කරනු පිණිස ඇතිකර ගන්නා වූ (Articles of peace) නියමිතයන් තුළින් දැක්වෙන සැබෑ අභිලාෂය සහ අරුත උත්තුංග සහ අනුලංඝනීය බවයි. ඔහු එසේ පවසා තිබණේ බ්‍රිතාන්‍ය විසින් ප්‍රංශයට එරෙහිව යුද්ධ කොට අත්පත් කරගෙන සිටි ගෙනිඩා රාජ්‍ය ගැන සඳහන් කරමිනි.

පවරා දුන් විජිතයක වැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ඇති නෛතික තත්ත්වය ගම්පොල වලහකඩ පැවති පෙරහැර නඩුවේදී එවකට මහනුවර වැඩබලන දිසා විනිසුරුව සිටි පෝල් ඊ. පීරිස් මහතා විසින් පැහැදිලි කොට දී තිබුණේ මේ ආකාරයට ය. “උඩරට ගිවිසුමෙන් කර තිබුණේ ලංකාව බ්‍රිතාන්‍යයට පවරාදීමක් මිස උරුමකර දීමක් නොවේ. පරාවා දුන් විජිතයක වැසියන්ගේ අයිතිවාසිකම් සහ සියලු අනිත් නීති ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථාවක් බඳු ඊට යටත්වයි.

1947 නිදහස් ආණ්ඩුක්‍රම පනත සකස් කොට තිබුණේ 1815 උඩරට ගිවිසුම මුළුමනින් ම යටපත් වන පරිදිය.

මේ තත්ත්වය නිසා පසු කලෙක සිංහල භාෂා පනත, බුදුදහමට ප්‍රමුඛත්වය දීම, ජාතික කොඩිය වැනි කරුණු සම්බන්ධව රටේ ආණ්ඩුවලට නොයෙකුත් අර්බුදවලට මුහුණපාන්ට සිදු වූ බව අප විසින් අමතක නොකළ යුතුව ඇත.

සිසිල් අතුකෝරාළ

advertistmentadvertistment
advertistmentadvertistment