නිදැල්ලේ තිබූ රදැල්ලේ පුහුණු වෙති සැනසිල්ලේ

289

“පිට ඉන්නට මඳක් ඉවතින් ඇදී ගිය පන්දුවට පිත්ත ඔසවා නිදැල්ලේ යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු රොෂාන් මහානාම ඉඩ සලසා දුන්නා.” ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරක පාලිත පෙරේරා මහතා ගේ ඒ වදන් තවමත් හුරුපුරුදු අය බොහෝ වෙති. පන්දුව එසේ නිදැල්ලේ හැරියාට ක්‍රීඩාංගණ එසේ නිදැල්ලේ තබන්නට හොඳ නැත. ඊටත් වඩා රදැල්ල වැනි ක්‍රීඩාංගණයක් නිදැල්ලේ තැබීම කොහෙත්ම හොඳ නැත. ඉන් වැඩක් ගත යුතුමය.

රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු අපූරු පිහිටීමකින් යුතු ක්‍රීඩාංගණයකි. කොළඹ එස් එස් සී හෝ ආර් ප්‍රේමදාස හෝ හම්බන්තොට මහින්ද රාජපක්ෂ හෝ දඹුල්ල මතු නොව නුවර අස්ගිරියටත් වඩා රදැල්ලේ පිහිටීම අගනේය. මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමණ එනම් මීටර් 1200 ක ට පමණ ඉහළින් රදැල්ල පිහිටා ඇත. ඒ අනුව මුහුදු මට්ටමේ සිට වැඩි ඉහළක පිහිටා ඇති ක්‍රීඩාංගණ අතරින් රදැල්ල ලොව පෙරමුණේ ඇත. එමතුද නොවේ, ලොව වඩාත් අලංකාරම ක්‍රීඩාංගණයක් ලෙස රදැල්ල සැලකේ.

මෙසේ නොයෙක් අතින් වැදගත් වූ රදැල්ල ක්‍රීඩාංගණය වසර ගණනාවක් පුරා නිසි ප්‍රයෝජනයකට නොගෙන අත් හැර දමා තිබුණි. එහෙත් රදැල්ලේ අගය මෙරට ක්‍රීඩා බලධාරීන්ට වඩාත්ම දැනුනේ පසුගිය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ය. එවර තරගාවලිය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේය. එකල ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය ඉතා පහළ අගයක පැවතුණි. අපේ ක්‍රීඩකයන්ට ඒ සීතල හුරු පුරුදු නැත. ඒ නුහුරු බවේ පාඩුව වඩාත් දරුණු ලෙස පෙන්නුම් කරමින් ක්‍රීඩකයෝ පස් හය දෙනෙක් ආබාධයන්ට ලක්වූහ. ඒ අතරින් වේග පන්දු යවන්නනෝ පෙරමුණ ගත් හ. ජයග්‍රහණයේ අරමුණ පසෙක දමා ක්‍රීඩකයන් යථා තත්ත්වයට ගන්නේ කෙසේදැයි ක්‍රිකට් බලධාරීන්ට සිතන්නනට සිදු විණි.

අඩි 4000ක් උඩින් තිබුණ ද වසර ගණනාවක් පුරා ඉස්මතු නොවූ රදැල්ල ක්‍රීඩාංගණය ගැන කතාබහ ඇති වන්නේ එතැන් පසුවය.

උෂ්ණත්වය දේශගුණය මතු නොව රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනෙක් සාධක පවා ශීත රටවල ක්‍රීඩාංගණවලට බොහෝ සෙයින් සමානය. ඒ බව මුලින්ම කීවේ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි ය. නවසීලන්ත ක්‍රිකට් වේගපන්දු බලපරාක්‍රමයේ අද්විතීය නමකට හිමිකම් කියූ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි රදැල්ල ක්‍රීඩාංගණය පිළිබඳව දැරුවේ මෙවැනි අදහසකි.

“පන්දුව දෝලනය කරමින් පන්දු යවන ක්‍රීඩකයන්ට මේ ක්‍රීඩාංගනය ඉතා හිතකරයි. ඉහළ උන්නතාංශයක පිහිටා තිබෙනවා. ඒ වගේම වලාකුළු වලින් අහස බර ගතියක් නිතර දැනෙනවා. වේග පන්දු යවන්නෝ බලාපොරොත්තු වන ලක්ෂණවලින් මේ ක්‍රීඩාංගණය පොහොසත්”

ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි මහතා එදා රදැල්ල ට ගොස් තිබුණේ ක්‍රිකට් තරගයකටය. ඒ 1984 වසරේදීය. එදා රදැල්ල ක්‍රීඩාංගණයේ පැවැත් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර දෙදින පුහුණු ක්‍රිකට් තරගයයි. වලාකුළුවලින් බරව තිබූ රදැල්ල අවට අහස එදා බිම හෙළු වැසිවලින් අවාසනාවට මෙන් එම තරගය පවත්වන්නට හැකි වූයේ පැය තුනක හතරක කාලයකි. එදා රිචඩ් හැඩ්ලි තම වේග පන්දුවෙන් කඩුලු කිහිපයක් ද දවාගත්තේය. තරගය වැස්සට හේදුනද හැඩ්ලි මහතා එදා රදැල්ල ගැන සෑහීමට පත් වූයේය. අනතුරුව 2000 වසරේ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් ද රදැල්ල ක්‍රීඩාංගනයේ පැවැත්විණි. එහිදී කෙන්යාව, නෙදර්ලන්තය, පකිස්තානය, අයර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය ආදී කණ්ඩායම් රදැල්ලේ දී තරග වැදුණි. ඊටත් මාස කිහිපයකට පසුව නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම සහ මාලිබෝන් ක්‍රිකට් සමාජය අතර තරගයක් රදැල්ලේ දී පවත්වා තිබුණි. අනතුරුව රදැල්ලේ මතක සිටින තරගයක් නැත. ඒ 2001 වසරේදී මාර්තු මාසයේදී ය. ඒ අතරතුර නිව් සවුත් වේල්ස්, මැඩ්‍රාස්, හයිද්‍රාබාද් බ්ලූස් ආදී ක්‍රිකට් කණ්ඩායම් කීපයක් දිඹුල ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර තරග වැදී තිබුණි.

මේ සියල්ල අවසානයේ රද්දැල්ල නිදැල්ලේය. ඒ අතරතුර කාලයට දශක දෙකක් පමණ ඉක්මවා ගොස් ඇත. එම දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව නවසීලන්තය ඔස්ට්‍රේලියාව එංගලන්තය ආදී රටවල බොහෝ ක්‍රිකට් තරග සංචාරවලට එක් වූයේය. එහෙත් රදැල්ලෙන් ගත හැකි ප්‍රයෝජනය ගත්තේ නැත. වරින් වර මෙරට ක්‍රිකට් පරිපාලනයට පත්වූ විධායක නිලධාරීහු රදැල්ල නොසලකා හැරියහ. එහෙත් කුමක් හෝ වාසනාවකට රදැල්ල ක්‍රීඩාංගණය යළි ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගත යුතු බවට වත්මන් ක්‍රිකට් බලධාරීන්ට තේරුම් යෑම අගය කළ යුතු කරුණකි. එළැඹෙන නවසීලන්ත සංචාරය ඉලක්ක කර ඒ අනුව රදැල්ල ක්‍රීඩාංගණය යළි ජාතික කණ්ඩායමට විවෘත විය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය 15 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රදැල්ල යළි ක්‍රිකට් පුහුණුවට සූදානම් බවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සමාජයක් වන දිඹුල ක්‍රීඩා සමාජය රදැල්ල ක්‍රීඩාංගණයේ හිමිකාරිත්වය දරයි. එම ආයතන දෙකේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය සිදු ව පුහුණුවට සූදානම් කරන ලද රදැල්ල ක්‍රීඩාංගණයේදී නවසීලන්ත සංචාරය ඉලක්ක කර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පුහුණු කටයුතු ආරම්භ කළහ. තවත් දින 4ක් පමණ ඔවුන් රදැල්ලේ රැඳී සිටිමින් පුහුණුවීම් කරනු ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment