නිදි යහනේදී ගෙල කපලා මිතුරා මැරූ පුද්ගලයා එල්ලුම් ගස්

1009

තම මිතුරා නිදි යහනේ දී ගෙල කපා ඝාතනය කළ පුද්ගලයාට ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පෙරේදා (15 වැනිදා) මරණීය දණ්ඩනය නියම කළේය.

ආණමඩුව මහදිවුල්වැව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන රත්නායක මුදියන්සේලාගේ මහින්ද රත්නායක නමැති 42 හැවිරිදි විත්තිකරුට මෙසේ මරණ දඬුවම නියම විය.

වතුපිටිවල යටියන ප‍්‍රදේශයේ පිහිටි තාවකාලික නවාතැන් පොළක දී එවකට අවුරුදු 22 වැනි වියේ සිටි රාජකරුණා හේරත් මුදියන්සේලාගේ චමින්ද බණ්ඩාර හෙවත් ගාමිණී නමැත්තා 2005 වර්ෂයේ නොවැම්බර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී ඝාතනය කර තිබූ බවට මහාධිකරණයේදී සඳහන් විය.

විත්තිකරු සහ ඝාතනයට ලක්වූ අය වතුපිටිවල පිහිටි ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක සේවය කර තිබේ. විත්තිකරු විවාහ වී සිටින්නේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාති සොහොයුරියක සමගය. ඝාතනයට ලක්වූ අය විත්තිකරුගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වන බවට ඇති වූ සැකය මත එම ඝාතනය සිදුව ඇති බවට මහාධිකරණයේදී අනාවරණය විය. ඝාතනයට ලක්වූ අය තවත් මිතුරන් දෙදෙනකු සමග එකම කාමරයක නිදා ගෙන සිට ඇත. ‘ටක් ටක්. ගා ඇසුණු ශබ්දයට ඝාතනයට ලක්වූ අයගේ මිතුරන් දෙදෙනා අවදි වී බලන අවස්ථාවේ විත්තිකරුගේ ඔසවා තිබූ අතෙහි මන්නා පිහියක් තිබෙනවා දුටු බවට ලබාදුන් සාක්ෂියත්” විත්තිකරු කාමරයෙන් එළියට යන විට සාලේ දල්වා තිබූ විදුලි බල්බයෙන් විත්තිකරු හඳුනා ගැනීමත්” දුවගිය විත්තිකරු අල්ලා ගැනීම සඳහා ඔහු පසුපස හඹා යෑමත් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂිත් විශ්වාසනීය සාක්ෂි ලෙස පිළිගන්නා බව විත්තිකරු වරදකරු කිරීමට පෙර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විවෘත අධිකරණය හමුවේ පැවසීය. විත්තිකරු වරදකරු බවට තීන්දු කිරීමෙන් අනතුරුව කීමට යමක් ඇද්දැයි විත්තිකරුගෙන් මහාධිකරණය විමසා සිටියේය.

‘‘සාක්ෂිකරුවන් කියන කිසි දෙයක් මා කළේ නැහැ ස්වාමීනි.. යැයි විත්තිකරු විත්ති කූඩුවේ සිට පැවසීය. ඉන් අනතුරුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කෙරුණි. රජයේ අධිනීතීඥ ඔස්වල්ඞ් පෙරේරා මහතා මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙය වීය.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment