නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිරුණිකාගෙන් අභියාචනාවක් හා ඇප අයැදුමක්

1

තමන්ට මහාධිකරණය විසින් පසුගිය 28 වැනිදා නියම කළ සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝගයන් අවලංගු කර, තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනා පෙත්සමක් හා ඇප අයැදුම්පතක් මහාධිකරණය හමුවේ ඊයේ (01දා) ගොනු කළාය.

එම අභියාචනා පෙත්සම, අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා මහාධිකරණ ලේඛකාධිකාරිවරිය වෙත ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු භාර දුන්හ. මේ අතර එම අභියාචනාවට යටත්ව තමන් ඇප මත මුදාහරින ලෙසට ද ඇය සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පතක් ගොනුකර තිබිණි.

එම ඇප අයැදුම්පතේ විත්තිකරු ලෙස නම්කොට තිබූ නීතිපතිවරයාට ලබන 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (01දා) නියෝග කළේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් නීතිඥ චරිත් තුඩුවගේ මහතාගේ උපදෙස් මත නීතිඥ චන්දන ඩයස්, විහඟි සුරේෂිකා පෙරේරා, කනිෂ්ක බණ්ඩාර, යුරේෂිකා ද සිල්වා, අසේල සේරසිංහ හා අචල බස්නායක යන නීතිඥ මඬුල්ල සමග ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment