නිධානයක් උඩ හිඟාකන රටක්

1209

ශී‍්‍ර ලංකාවේ ඇති තරම් භූ සම්පත් ඇති බව ඇමැති මහින්ද අමරවීර පවසයි. මෙම භූ සම්පත්වලින් නිසි ප‍්‍රයෝජන ගැනීමට භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයත්, ඛනිජ වැලි සමාගමත් අසමත් බවද ඇමැතිවරයා කියා සිටී. ඇතැම් පුද්ගලයන් සහ සමාගම් ඉහත කී ආයතන දෙකෙන් බලපත් ලබාගෙන වසර දහයක් ගතව ඇතත් ගවේෂණ කටයුතු විධිමත්ව හා කාර්යක්‍ෂමව නොකිරීම නිසා වටිනා භූ සම්පත් තියාගෙන හිඟා කන රටක් බවට ශී‍්‍ර ලංකාව පත්ව ඇතැයි ඇමැතිවරයා පවසයි.

ඇමැතිවරයාගේ මේ කතාව මසුරං නොව ඩොලර් බිලියන ගණනක් වටිනා බව අදට ගැළපූ විට පසක්වන කාරණයකි. අද රටට අවශ්‍ය ඩොලර් නැත. එනිසාම අපට ඉන්දියාව ඇතුළු රටවලින් ඩොලර් හිඟාකෑමට සිදුව ඇත. එසේ හිඟාකෑවත් රටේ තියෙන තෙල්, ගෑස්, විදුලිය, ආහාර මිල ඉහළ යෑම් ආදී ප‍්‍රශ්න විසඳා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇත. රට මේ තත්ත්වයට පත්වීම ගැන වසර 74 ක් මේ රට පාලනය කළවුන් වගකිව යුතුය.

සර්ව පාක්ෂික සමුළුව කැඳවූ අවස්ථාවේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසූ කතාවට හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට තරමක් කේන්ති ගියේය. සර්ව පාක්ෂික සමුළුව කැඳවූයේ පවතින අර්බුදයට විසඳුම් සෙවීමට මිස පසුගිය රජයන්හි වැරදි සෙවීමට නොවන බව රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය. එසේ පසුගිය රජයන්හි වැරැදි සොයනවා නම් එහි මුලට ගියහොත් ඉන්දියාවේ සිට විජය රජ්ජුරුවන් මෙරටට පැමිණීමත් වරදක් බවද රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය. මහ බැංකු අධිපතිවරයාගේ කතාවෙන් සිත් රිදුනේ නම් ඊට සමා වන ලෙස ද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටින අයුරු අපට මාධ්‍ය හමුවේ දැකගත හැකි විය.

පසුගිය මහ මැතිවරණයෙන් එජාපය සෝදාපාළුවට ලක්විය. එම පක්‍ෂයට හිමිවූයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් පමණි. ඒ වෙනුවෙන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරන ‘තනි අලියා’ වනුයේ රනිල් වික‍්‍රමසිංහ මහතායි. ඔහු තනි අලියකු වුවද සර්ව පාක්ෂික සමුළුවේදී මතුකළ තර්කය අතිශය සාධාරණය. වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදයට අඩු වැඩි වශයෙන් මෙතෙක් රට පාලනය කළ සියලූම රජයන් වගකිව යුතුය. එනිසා අර්බුද හමුවේ කරවටක් නොව නාසයට උඩින් ද වතුර ගලාගොස් ඇති ආණ්ඩුවක් මේ ප‍්‍රශ්නය කවුරුන් හෝ පිටින් යවා ප‍්‍රශ්නයෙන් ගැලවිය නොහැකි බව තේරුම්ගත යුතු සත්‍යයකි.

දැන් අප නැවතත් ඇමැති මහින්ද අමරවීර මහතා කියපු හිඟාකන රට ගැන කතා කළ යුතුය. ඇමැති මහින්ද අමරවීර කියන ආකාරයට අප රට වටිනා භූ සම්පත්වලින් ප‍්‍රයෝජන නොගත් නිසා හිඟන රටක් බවට පත්ව ඇත. ඔහුගේ කතාව සත්‍යයකි. අප රට මේ වනවිට භූ සම්පත්වලින් පමණක් නොව අප රට සතු අනෙකුත් සම්පත්වලින් ද නිසි ප‍්‍රයෝජන ගෙන නැත. අප රට වටේම මුහුදය. එහෙත් මාළු, ටින් මාළු, උම්බලකඩ ඇතුළු දේ අප තවමත් පිටරටින් ආනයනය කරන්නේය. මේවාට ගෙවිය යුත්තේ ඩොලර්වලිනි. අප රටේ ඉතා යහපත් කාලගුණික, දේශගුණික තත්ත්වයක් පවතී. ඒ තුළ දියර කිරි නිෂ්පාදනයත්, කිරිපිටි නිෂ්පාදනයත් පුළුවන. එහෙත් ඒ පිළිබඳව සැලසුම් සහගත වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක නොකළ අප රට ඩොලර් නැතිව කිරිපිටි කන්ටේනර් මුදාගැනීමට නොහැකිව ළතවන්නේය. අප රටේ කෘෂිකර්මාන්තයට ඉතා හිතකර පරිසරයක් තිබේ. විසි කළ දණ්ඩක් වුවත් පැළවෙන තරමට අපේ රට ඒ සඳහා උචිතය. එහෙත් අපනයන ඉලක්ක කරගත් ලෝකයේ විශාල වෙළෙඳපොළක් අත්පත් කර ගැනීමට අපට හැකිවී නොමැත. ලෝක වෙළෙඳපොළ තත්ත්වය කෙසේ වුවද අප රටට අවශ්‍ය ආහාර ටික හෝ නිෂ්පාදනය කර ගැනීමට තරම් බෙලහීන වී ඇත. අප රට සතු වටිනා මානව සම්පත ද අමතක කළ නොහැකි නිධානයකි. එහෙත් ඒ සම්පතින් ද නිසි ඵලදායිතාවකින් යුතුව ප‍්‍රයෝජන ගන්නා බවක් නොපෙනේ. අපගේ තරුණ පරපුර තී‍්‍රවීලරයක් අතට ගන්නා යුගය නිමාකොට ඒ තාරුණ්‍යය කාර්මික විශේෂඥයන් ලෙස නිර්මාණය කළ හැකි නම් හෙට ඔවුන්ගේ අනාගතය පමණක් නොව රටේ අනාගතය ද වඩා සුරක්‍ෂිත වනු ඇත. පසුගිය කාලයේදී ඇඟලූම් ක්‍ෂේත‍්‍රයේ ලැබූ ජයග‍්‍රහණ නොවන්නට අපි තවදුරටත් අමාරුවේ වැටීමට ඉඩකඩ තිබිණි. ඒ වෙනුවෙන් තම ශ‍්‍රමය කැපකරන තරුණ තරුණියන්ට රටේ ප‍්‍රණාමය හිමි විය යුතුය.

දැන් රටේ පවතින අර්බුදය හමුවේ ඉන් ගැලවීම සඳහා කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් සෙවිය යුතුය. රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීම මේ සඳහා ඇති හොඳම මග බවට සැකයක් නැත. එම නිෂ්පාදන කි‍්‍රයාවලියේදී අත්හැර දැමූ හා අමතක කළ සම්පත්වලින් ද උපරිම ප‍්‍රයෝජන ගැනීම අතිශය වැදගත්ය. ඊට සමගාමීව ආණ්ඩු වෙනස් නොවුණාට වෙනස් නොවන ජාතික ආර්ථික වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට පක්‍ෂ විපක්‍ෂ සියලූ දෙනා මේ මොහොතේ හෝ කථිකා කළ යුතුය. ඒ සඳහා කි‍්‍රයාත්මක විය යුතුය. එසේ නොවුණහොත් නිධානයක් උඩ සිටගෙන හිඟාකන ලෝකයේ එකම රට බවට දැනටමත් පත්ව සිටින අප රටට එම වාර්තාව නැවත නැවත අලූත් කිරීමෙන් ද වාර්තාවක් තැබීමට හැකිවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment