නිපා නම් එපා

577

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් මේ වන විට නිපා නම් මාරාන්තික වෛරසයක් පැතිර යන අතර එය එරට පුද්ගලයන් පස් දෙනකුට වැළඳී තිබේ. ඉන් දෙදෙනකු මියගොස් ඇති බවට මාධ්‍ය විසින් වාර්තා කර ඇත. මෙම වෛරසය කේරළයේ පැතිරීම සිදුව ඇත්තේ සිව්වන වතාවටය. එහිදී වඩාත්ම බලපෑම සිදුව ඇත්තේ 2018 දීය. රසායනාගාර තහවුරු කළ රෝගීන්

18 ක් සහ සැක සහිත රෝගීන් 05 ක් වශයෙන් 23ක් වාර්තා වී ඉන් 17 දෙනෙක් මිය ගොස් තිබේ. මෙකී රෝගී තත්ත්වය 1998 දී මුල් වරට අනාවරණය වී ඇත්තේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කළ පිරිසක් අතර පැතිරගිය අවස්ථාවේ දීය. යම් හෙයකින් වෛරසය මිනිසෙකු හට ශරීරගත වුවහොත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වා සාමාන්‍ය ශ්වසන ආසාදනයක ලක්ෂණ පෙන්වීම මගින් මාරාන්තික එන්සපලයිටීස් තත්ත්වයක් දක්වා පුළුල් පරාසයක තත්ත්වයන් ඇතිවීමට ඉඩ කඩ තිබේ. වෛරසය මිනිස් සිරුරට ඇතුළු වුවහොත් දින හතරත් දාහතරත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇති වන බව කියයි. වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා නිශ්චිත ඖෂධ මෙතෙක් හඳුන්වා දී නොමැති වීම භයානක තත්ත්වයකි. කොවිඩ් ව්‍යාප්තිය සිදු වන විට ක්‍රියා කළ ආකාරයටම මෙහිදී ද රෝගියා සුවය ලබන තෙක් සුව පහසුව විවේකීව තබා ගැනීම කළ යුතු වේ. නිපා වෛරසය මීට පෙර කේරළ ප්‍රාන්තයේ වවුලන්ගෙන් හඳුනාගෙන තිබේ. ස්වභාවිකවම නිපා වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක මුත්‍රා සහ කෙළ තැවරුණ පලතුරු වර්ග, යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීම මගින් එහි ව්‍යාප්තිය සිදු වන බවට සටහන් වී ඇත. දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි.

එහෙත් නිපා හි බරපතළ තත්ත්වය නම් එහි මාරාන්තික තත්ත්වය සියයට 40ත් 75ත් අතර වීමය. පසුගිය කාලයේදී මෙරට ජනතාවට අපා දුක් විඳින්නට සැලැස්වූ කොවිඩ් වෛරසයේ මාරාන්තික තත්ත්වය සියයට 02ක් හෝ 03ක්ය. මෙම තත්ත්වයන් සංසන්දනය කිරීමෙන් අපට නිපා වෛරසයේ බරපතළ තත්ත්වය වටහා ගත හැක. කේරලය යනු දකුණු ඉන්දියාවට අයත් ප්‍රාන්තයක් බැවින් මෙම වෛරසය ශ්‍රී ලංකාවට ද ඉක්මනින් පැමිණීමට ඉඩ කඩ තිබේ. කොවිඩ් ද ලෝක වසංගතයක් වන්නට පෙර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදී නොයෙකුත් දෙනා අනතුරු හඟවද්දී ආණ්ඩුවේ ලොක්කන් එය තඹ සතේකට මායිම් කළේ නැත. ගුවන්තොටුපළේ සවි කර ඇති මැෂිමෙන් ඕක අපි හඳුනාගන්නවා යැයි එදා ඇමැතිවරයකු පාරම්බෑවේය. අපිට ඕනේ නම් කොවිඩ් එන්නත් ගෙන්වනවා නැත්නම් නිකම් ඉන්නවා යැයි තවත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු කී ආකාරය අපට මැවී පෙනේ. එහෙත් අන්තිමට මුළු රටක් ලොක් ඩවුන් කර වටිනා ජීවිත දහස් ගණනක් අහිමි කර ගත් ජාතියක් වශයෙන් අප මේ නිපා ගැන අඩු තක්සේරුවක් නොකළ යුතුය.

අවදානමට පෙර සූදානම වැදගත් බැවින් අප කල් තියාම නිපා ගෙන් වැළකීමට පියවර ගත යුත්තේය. ඊට පළමුවෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනුම ඇත්තන්ගෙන් විශේෂඥ උපදෙස් ලබා ගත යුතුය. අනතුරුව කොවිඩ් ව්‍යසනයෙන් ලද අත්දැකීම් උපයෝගි කර ගනිමින් නිපා අනතුරක් වන්නට පෙර වළකා ගත යුතුය. අසීරු වුවත් රට තුළට නිපා ගෙන්වා ගැනීම ප්‍රමාද කළ යුතුමය. ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍යය. විශේෂයෙන් මෙම රෝගී තත්ත්වය ඌරන්ගෙන් සහ වවුලන්ගෙන් පැතිර යන බවට සාධක හමුවී ඇති නිසා උන්ගෙන් පරිස්සම් වීම කළ යුතුවේ. කොහොම වෙතත් අප දැන්ම නිපා ගැන අනියත බියක් ඇති කර ගත යුතු නැති වුවද මස් මාංශ අනුභවයේදී ඉතා ඉහළ තාපාංකයක් දක්වා පිස ගැනීම කළ යුතු වේ. පලතුරු කන්නේ නම් හොඳට සෝදා පිරිසිදු කළ ඒවා කෑ යුතුය. වවුලන් හෝ කිසියම් සතකුගේ දත් පහරක් වැදී ඇත්නම් එම පලතුරු කෑමට සුදුසු නොවේ. වවුලන් රා යුෂ බීමට පොල් ගසෙහි එල්ලා ඇති මුට්ටිවල එල්ලෙන බැවින් ඒ ගැන ද දැනුවත්වීම වටී. ඇත්තටම අප අපගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම කළ යුතුය. කොවිඩ් වලින් වැළකීමට සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් නැවත සිහි කැඳවා ඒ මත ක්‍රියා කිරීම කළ යුතුය. එසේ නැතිව පැණි වර්ග ගැන හෝ මුට්ටි ගංගාවල පා කර ඵලක් නැත. සෞඛ්‍ය අංශ පැත්තකට දමා දේශපාලනඥයන් හෝ ආරක්ෂක අංශ ඉස්සරහට දමා මම තමයි හොඳටම කළේ යැයි උදම් අනන්නට ගියහොත් නැවත රට විශාල අනතුරකට ලක් වේ. එබැවින් මේ තිබෙන දුක්ක දෝමනස්ස අතරට නිපා නම් වද්දා ගත යුතුම නැත. ඇත්තටම නිපා නම් එපා ම ය.

advertistmentadvertistment
advertistmentadvertistment