නිපෝන් පේන්ට් කුසලාන ලීග් ශූරතා රග්බි තරගාවලිය -2022

117

කුසලාන වටය අද ආරම්භ වෙයි

තරග 06 කින් සමන්විත වන මෙවර ‘නිපෝන් පේන්ට් අභියෝග කුසලාන’ රග්බි පාපන්දු තරගාවලියේ අවසාන වටය ආරම්භ කරමින් හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය සහ සී.එච්.ඇන්ඞ් එෆ්.සී. සමාජය අතර තරගය අද (26 වැනිදා) පස්වරු 04.30 ට කොළඹ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරග තරග පිටියේදී පැවැත්වේ.

සෙනාල් දීලක සිල්වා ගේ නායකත්වයෙන් සමන්විත හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය සහ සුදර්ශන මුතුතන්ත‍්‍රීගේ නායකත්වයෙන් සැදුම්ලත් සී.එච්.ඇන්ඞ් එෆ්.සී. සමාජය අතර අද ක‍්‍රියාත්මක කෙරෙන තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරකට අනුවර්තනය වනු ඇතැයි විශ්වාස කළ හැකිය.

ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය තහවුරු කර ගනිමින් හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය ද තෙවන ස්ථානය හිමි කර ගනිමින් සී.එච්.ඇන්ඞ් එෆ්.සී.පිල ද ‘කුසලාන’ වටයට වරම් ලැබීය. මෙම දෙපිළ මුහුණට මුහුණ හමුවූ පළමු වටයේදී ලකුණු 20 – 17 ක සියුම් ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ සමත් වූහ.

මෙම අදියරයේ දෙවන තරගය තිඹිරිගස්යාය පොලිස් ක්‍ෂේත‍්‍ර බලකා මූලස්ථාන ක‍්‍රීඩාංගණයේ දී හෙට (27) ප:ව: 04.30 ට පැවැත්වෙන අතර එහිදී මහනුවර ක‍්‍රීඩා සමාජය ට එරෙහිව ඉරොෂාන් පෙරේරා ගේ නායකත්වයෙන් සමන්විත පොලිස් ක‍්‍රීඩා සමාජය සටන් වදී.

තරග 28 කින් සැදුම්ලත් වූ මූලික වටයේදී තම අපරාජිත බව ආරක්ෂා කර ගනිමින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම නම සඳහන් කර ගන්නට සමත් වූ නයිජල් රත්වත්තේගේ නායකත්වයෙන් සැදුම්ලත් මහනුවර ක‍්‍රීඩා සමාජයට එරෙහිව තරගයේ දී තම උපරිමය ප‍්‍රදර්ශනය කිරීමට පොලිස් පිල උත්සාහයක නිරත වනු නොඅනුමානය. මූලික වටයේදී සිව්වන ස්ථානයට පත්වෙමින් ‘කුසලාන’ වටයට වරම් ලබා ගැනීමට පොලිස් පිලට හැකි විය. යුද හමුදාවට එරෙහිව ප‍්‍රසාද ලකුණක් ද සමගින් ජයග‍්‍රහණය අත්කර ගැනීමෙන් ඒ සඳහා සුදුසුකම් ලැබු මෙම කණ්ඩායම නිත්තවෙල ක‍්‍රීඩාංගණයේ පැවති පළමු තරගයේදී ලකුණු 36 – 23 ක් ලෙස මහනුවර හමුවේ පරාජය වීමට සිදු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment