නිමල් අමරසිරි නමැති දේශපාලන බිල්ල

950

රත්නපුරේ නිවිතිගල පදිංචිව සිටි 61 හැවිරිදි නිමල් අමරසිරි පසුගිය 26 දා කොළඹදී ජාතික ජනබලවේගය මගින් පවත්වන ලද විරෝධතාවයක් අතරතුර රබර් බුලට් එකක් වැදීමෙන් හෝ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු මිය ගියේය. ඔහු රත්නපුර නිවිතිගල ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජනබලවේගයෙන් නාමයෝජනා භාරදී සිටියේය. විරෝධතාව අතරතුර කඳුළු ගෑස් ප්‍රහාරයකට හෝ රබර් බුලට් ප්‍රහාරයකට ලක්ව හෝ ශාරීරික දුෂ්කරතාවකට පත් හෙතෙම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමු කරන ලදි. ඔහු මිය යන්නේ ඒ අවස්ථාවේදීය. එම මරණය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් ප්‍රකාශ කිරීමට නොහැකි බව සිද්ධියෙන් පසු ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසීය. කඳුළු ගෑස් වැදීමෙන් හෝ රබර් බුලට් වැදීමෙන් කෙනෙක් මිය යන්නේ නැත. එහෙත් එවැනි අවස්ථාවකදී හටගන්නා කම්පනය හේතුවෙන් හෘදයාබාධයක් වැළඳී එසේ වීමට පුළුවන. පොලිසිය නිමල් අමරසිරි ඉලක්කය ලෙස ගෙන ගිනි අවි පරිහරණය කළ බවක් වාර්තා නොවේ. විශේෂයෙන් මෙබඳු කැරලිකාරී අවස්ථාවලදී කැරලිකරුවන්ට ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමක් සිදු නොවේ. මෙහිදී අවම බලය ලෙස ගැනෙන බැටන් ප්‍රහාර, කඳුළු ගෑස්, රබර් බුලට්වලින් වෙඩි තැබීම යනාදිය යොදාගනු ලැබේ.

කඳුළු ගෑස් යනු දරා ගැනීමට ඉතා අපහසු වායුවකි. Lachrymator ලෙස හැඳින්වෙන කඳුළු ගෑස් සුළු පරිමාණ රසායනික අවි කාණ්ඩය යටතට ගැනෙන වායුවකි. මෙය වැදීමෙන් ඇස් ඉදිමී අත පය කසන්නට පටන් ගනී. ශ්‍රී ලංකාවේ තවමත් පාවිච්චි කරන්නේ ඇස්වලින් කඳුළු පමණක් එන පළමුවන ලෝක යුද සමයේදී පරිහරණය කෙරුණු පැරණි පන්තියේ කඳුළු ගෑස් ය. මේ ගෑස්වල තිබෙන නවීන Varity දියුණු රටවල පාවිච්චි කරන අතර ඒවා වැදුණු එකාට උන්නා මළා පෙනෙන්නේ නැත. ඒ අතර මෙහිදී තවත් වැදගත් කාරණයක් කිව යුතුව තිබේ. එනම් රබර් බුලට් එකක් වැදුණු විට චූ යන තරමට රිදෙන බවය. ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ උද්ඝෝෂණයක් මර්දනය කිරීමේදී කඳුළු ගෑස් සහ රබර් බුලට් පරිහරණය කෙරෙන්නේ ප්‍රචණ්ඩකරුවාට හෝ උද්ඝෝෂකයාට හැකි අවම ශාරීරික පීඩනයක් ලබාදී ඔහු මෙල්ල කිරීම ය. ප්‍රචණ්ඩකරුවන්ට විරුද්ධව ක්‍රියාත්මක කරන Laser Gun නමැති තුවක්කු විශේෂයක් ඇමරිකාවේ තිබේ. මෙයින් උණ්ඩයක් නිකුත් නොවන අතර ලේසර් ධාරාවක් පමණක් නිකුත් වේ. මේ ලේසර් ධාරාව වැදුණු විට ප්‍රචණ්ඩකරුට හෝ උද්ඝෝෂකයාට මළ මුත්‍ර පවා පහවන අතර ඔහු ‘හාර්ට්කාරයකු’ නම් එකෙනෙහිම සමාදානයේ සැතපෙයි. මේ රටේ කිසිම ආණ්ඩුවක් අද වන තුරුත් එවැනි දරුණු අවි ආයුධවලින් උද්ඝෝෂකයන්ට හෝ ප්‍රචණ්ඩකාරයන්ට පහර නොදීම වාසනාවකි. කෙසේ හෝ වේවා නිමල් අමරසිරි පිළිබඳ සිද්ධිය අපි තරයේ හෙළා දකිමු.

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණයට ඔහුගේ මරණය නිසා කිසියම් විභවයක් ලැබී ඇත. කට්ටියක් පැමිණ උද්ඝෝෂණයක් පවත්වා රබර් බුලට් පහර කා Water Cannon ප්‍රහාරවලට ද මුහුණ දී නිකන්ම නිකන් ගෙදර ගියාට එමගින් කිසිදු දේශපාලන ප්‍රයෝජනයක් හටගන්නේ නැත. කිසියම් උද්ඝෝෂණයකදී එක මිනිහෙක් මළොත් එම උද්ඝෝෂණයට කිසියම් දේශපාලන වටිනාකමක් ලැබේ. ජනතා විමුක්ති පෙරමුණ තම කට්ටිය ද එකතු කරගෙන බස් ද කුලියට ගෙන කොළඹ එන්නේ පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස ඉල්ලමිනි. එහෙත් ආණ්ඩුව කීයටවත් ජනතා විමුක්ති පෙරමුණට පළාත් පාලන ඡන්දයක් ලබා දෙන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණද ඒ බව දනී. එහෙත් මේ වෙලාවේදී මේ රටේ දේශපාලන පිට්ටනියේ වැඩිම නරඹන්නන් සංඛ්‍යාවක් සහ ඔල්වරසන් දෙන්නන් පිරිසක් ජේ.වී.පී. ය වෙනුවෙන් සිටින නිසා ආණ්ඩුව කොතරම් බෑ කිව්වත් කොළඹ පැමිණීමට ජේ.වී.පී.යට සිදුවේ. ඒ ස්වකීය දේශපාලන Warm Up එක තබා ගැනීමට ය. දේශපාලන Warm Up එක යනු චුට්ට දවසක් නිකන් සිටින විට ඉබේටම රැස් බාලවන ප්‍රපංචයකි. එක දිගටම උද්ඝෝෂණ පවත්වාගෙන යෑමට හැකි නම් මේ Warm Up එක දියවන්නේ නැත.

ප්‍රායෝගික තලයේ සිටින ජනතා විමුක්ති පෙරමුණ මේ බව ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇත. මේ ප්‍රශ්නයේ එක් පැත්තකි. අනෙක් පැත්ත මෙසේය. දේශපාලන උද්ඝෝෂණ රැලි එක දිගටම තිබෙන විට එය ජනතාවට එපා වෙයි. අරගලයට කෙළවුණේ මේ එපාවීම නිසාය. කෙසේ හෝ මළ මිනී විකුණගෙන කෑමේ පුරුද්දක් ජනතා විමුක්ති පෙරමුණට නැත. ඒ නිසා නිමල් අමරසිරිගේ මරණය ද ඒ තරම් දුරදිග ගෙනයෑමට අදහසක් ඔවුන් තුළ ඇති බවක් නොපෙනේ. ගිය ආණ්ඩුව මගින් සිදුකෙරුණු දූෂණ සහ වංචා පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ඔවුන් තුළ වැඩි වුවමනාවක් තිබේ. ජේ.වී.පී. යනු අවුරුදු 50 ක් පැරණි පක්ෂයක් වුවද මේ රටේ තිබෙන ඇතැම් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ මෙන් වැල් දිරාපත් වීමේ රෝගයකට තවමත් පත්ව නැති පක්ෂයකි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවාදයේ දේශපාලන ස්වරූපයයි. අප මෙය මීට පෙර ද කියා ඇත්තෙමු. ධනවාදය කොතරම් නරක වුවද උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ධනවාදයේ දේශපාලන මුහුණුවර වූ ප්‍රජාතන්ත්‍රවාදය මගින් සුරකිනු ලැබේ. සමාජවාදී රටවල උද්ඝෝෂණ පැවැත්වීමට නොහැක. උතුරු කොරියාව හෝ චීනය යන රටවල ජනතාව ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණයක් මෙහෙයවූවොත් ස්ථිරවම සිදුවන්නේ හිරේ විලංගුවේ වැටීමට හෝ මැරුම් කෑමටය. ලංකාව එවැනි ප්‍රාථමික සහ දුර්දාන්ත මට්ටමකට පත්නොවීම ගැන අපගේ සිත තුළ කිසියම් සැනසිල්ලක් හටගෙන තිබේ. එසේම මේ රටේ තිබෙන ජන උද්ඝෝෂණ සහ දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා පහව ගොස් වඩාත් සැනසිලිදායක රටක් ඇතිවනු දැක්ම ද අපගේ අපේක්ෂාව වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment