නිමාවක් නොව ආරම්භයක්…

581

අබුඩාබි හි ශෙයික් ශයිඞ් ක‍්‍රීඩාංගණයන් ඇරඹි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ මෙවර ලෝක කුසලාන සටන අබුඩාබි හි ශෙයික් ශයිඞ් ක‍්‍රීඩාංගණයේදීම නිමා විය. ඒ අතරතුර සිදු වූ දේ බොහෝය. කවදාවත් නැතිව මූලික වටයකද තරග වදින්නට වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම එහි අංක 1 ට ආවේය. සුපිරි වටය යටතේද බංග්ලාදේශයත්, බටහිර ඉන්දීය කොදෙව්වන්වත් පැරදූ ශ‍්‍රී ලංකාව ඔස්ටේ‍්‍රලියාවට , එංගලන්තයට සහ දකුණු අප‍්‍රිකාවට පරාජය විය.

තරග ප‍්‍රතිඵල එසේ වුවත් ඒ යට ඇති දේ බොහෝ විය. ශ‍්‍රී ලංකාවට මේ හොද නරක ප‍්‍රතිඵල දෙක උදා වූයේ ඒ හරහාය.

පළමුව ශ‍්‍රී ලංකාව මේ තරගාවලියට එන විට බොහෝ දෙනා සිතුවේ ඔවුන් මූලික වටයෙන්ම ඉවතට යනු ඇති බවයි. අයර්ලන්තය මෙන්ම නැමීබියාව සහ නෙදර්ලන්තයද ශ‍්‍රී ලංකාවට වඩා ලොකු වනු ඇතැයි එවැන්නන්ගේ අදහස විය. එහෙත් ශ‍්‍රී ලංකාව යනු අහම්බයෙන් හෝ කොතැනක හෝ අතීතයේ සිදු වූ වරදක් මත මූලික වටයට වැටුණා මිස කෙළින්ම සුපිරි වටයට යා යුතුව තිබූ කණ්ඩායමක් බව එහිදි පෙන්වීය.

සුපිරි වටය යටතේ පළමු සටන අපට වඩා කෙරුමෙක් නැතැයි සිතා සිටි බංග්ලාදේශය සමග විය. ව්‍යාඝ‍්‍රයින් ලෙස නොව පුරු පුරු ගානා පූස් පැටවුන් මෙන් ඔවුන් ශ‍්‍රී ලංකාව ඉදිරියේ දමනය විය. දෙවරක් ලෝක ශූරයන් වූද, වත්මන් ලෝක ශූරයන්ද වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සතුව සිටියේ නම ඇසූවන් බය සිතෙන, දුටුවන් යෝධයින් සිහිපත් වන ආකාරයේ ක‍්‍රීඩක සංයුතියකි. ඔවුන් ශ‍්‍රී ලංකාව සමග තරගයට පැමිණියේ හොඳ ලකුණු ලබා ගැනීමේ වේගයකින් ශ‍්‍රී ලංකාව පරාද කර අවසන් පූර්ව වටයට අවස්ථාවක් සෙවීමටය.

සියල්ල වෙනස් විය. නම් දැරූ, ශරීරයෙන් අධික බරක් දැරූ, අත්දැකීම්වලින් පෙරමුණේ සිටි කොදෙව්වන් තරුණ ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ දණින් වැටිණ.

ඔවුන්ගේ ලෝක කුසලාන සිහින බිඳ වැටී, ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණයකින් තරගාවලිය නිමා කළේය. මේ දක්ෂතාවලට පාදක වූයේ චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර වැනි නවකයින්ගේ විශිෂ්ට දක්ෂතාය. ඉන් චරිත් අසලංක එදින තරගාවලිය නිමා කළේ මෙවර තරගාවලියේ සුපිරි වටයේ වැඩිම ලකුණු ලාභියා ලෙසිනි. වනිඳු තරගාවලිය නිමා කළේ නිමා කළේ ලෝක කුසලාන පන්දු වාර 20 20 තරගාවලියක වැඩිම කඩුලූ‍ ලාභියා ලෙසිනි.වනිඳු දවා ගත් කඩුලූ‍ ගණන 16කි. පැතුම් නිශ්ශංක ලකුණු 221ක්ද, චරිත් අසලංක ලකුණු 231ක්ද ලබා ගෙන ඇත. චරිත් මුලික වටයේ තරග දෙකකට ක‍්‍රීඩා නොකළහ. ඔහු කණ්ඩායමට ආවේ චන්දිමාල් දුර්වල වූ නිසාය. පැතුම් නිශ්ශංක මේ තරගාවලියට නම් කළ පළමු ක‍්‍රීඩකයින් 19 දෙනා අතරද නොසිටියහ.

ශ‍්‍රී ලංකාව පරාද වූ තරග අතරින් දකුණු අප‍්‍රිකාව සමග තරගය ශ‍්‍රී ලංකාවට ජය ගත හැකිව තිබූ තරගයකි. එය පරාද වූයේ ලහිරු කුමාර නිසි සංකලනයක් නොමැතිව යොමු කරන ලද අවසන් පන්දු වාරය නිසාය. එතෙක් සහභාගී වූ තරග සියල්ල කජු කන්නා මෙන් පහසුවෙන් ජය ගෙන සිටි එංගලන්ත කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ගේ නළලත රැළි ගැන්වූ ශ‍්‍රී ලංකාව ඔවුන්ට ලබා දුන්නේ එසේ මෙසේ තරගයක් නොවේය. ඔස්ටේ‍්‍රලියාව සමග තරගයේදීද ඬේවිඞ් වෝනර් ලබා දුන් පහසු උඩ පන්දුව කඩුලූ‍ රැකි කුසල් සුරැකිව රැක ගත්තේ නම් ඔස්ටේ‍්‍රලියාවටද ශ‍්‍රී ලංකාව හිසරදයක් වන්නට තිබුණි. කුසල් එක දිගට තරග තුනකදි පහසු උඩ පන්දු 3ක් බිම හෙළන්නට පටන් ගත්තේ වෝනර්ගෙනි. ඒ උඩ පන්දු අතිශය තීරණාත්මක ඒවාය.

ගිය දේ ගැන දැන් කතා කර තේරුමක් නැත. තරුණ කණ්ඩායමක් ලෙස මෙතරම් හරියක් හෝ කළ එක ගැන සෑහීමකට පත් විය හැක. ශ‍්‍රී ලංකා සංයුතියේ ක‍්‍රීඩකයින් 7 දෙනෙකු වයස අවුරුදු 25ට අඩුය. 6 දෙනෙක් අවුරුදු 30ට අඩුය. අවුරුදු 30 ඉක්මවූ කුසල් සහ චන්දිමාල් පමණක් වෙති. ඒ අනුව මේ පියවර තබා තිබෙන්නේ අද ට නොව හෙට දිනයටය. එහි ඇරඹුම අරාබි රාජ්‍යයේදී සාර්ථක විය.

කුෂාන් සුබසිංහ
සාජා සිට…

advertistmentadvertistment
advertistmentadvertistment