‘නිමි’ තුළින් තිරයට ආ කවුද මේ මලිති

257

අභියෝගවලට කැමතියි…. මම රොෂාන් රණවනගෙ නංගි

මලිති නානායක්කාර කියන්නෙ රංගන ක්‍ෂේත්‍රයට අලුත් කෙනෙක්. ප්‍රේක්‍ෂකයන් ඇයව මුලින්ම දකින්නෙ ‘නිමි’ සිනමා නිර්මාණය තුළින්. මේ නිසා බොහෝ දෙනෙක් ඇයගෙ වතගොත හොයනව ඇති. මීවිත මේ ඉඩකඩ මලිති වෙනුවෙන්…

මලිති, ඔබව හඳුන්වා දෙමු?

මගේ ගම නුවර. පාසල් ගියේ මහනුවර උසස් බාලිකා විදුහලට. මගේ පවුලේ ඉන්නෙ මමයි, අයියයි, අක්කයි, අම්මයි, තාත්තයි. මම දැනට උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නව.

‘නිමි’ සිනමා නිර්මාණයේ ඈන් චරිතය ලැබෙන්නෙ කොහොමද?

කාලෙකට කලින් මගේ යහළුවෙක් මගින් ඉසුරු වීරසිංහ මුදලි මහත්මයා හඳුනාගන්න ලැබෙනව. ඉන් පස්සෙ මම එතුමාගේ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වෙනව. ඒ අතරතුර තමයි එතුමා මට මේ පිටපත දීල චරිතය කරමු කියල කියන්නෙ.

'නිමි' තුළින් තිරයට ආ කවුද මේ මලිති
'නිමි' තුළින් තිරයට ආ කවුද මේ මලිති

මේ ඔබ බලාපොරොත්තු වුණ අවස්ථාවක්ද?

ඉසුරු මහත්මයාව මුණගැහුන මුල් කාලයේ නම් රඟපෑම ගැන අදහසක් තිබුණෙ නැහැ. නමුත් නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩකරනකොට ඒ ගැන ලොකු ආසාවක් ඇති වුණා. ඈන් චරිතයට පෞද්ගලිකවත් මම ගොඩක් කැමතියි. මොකද මගේ ජීවිතයටත් ලොකු සමානකමක් දැනෙනව. ඒ නිසා හරිම ආසාවෙන් චරිතය භාරගත්ත.

ඒ සමානකම මොනවගේද?

ඇත්තටම සිනමා නිර්මාණයේ තිබුණා හා සමාන ප්‍රශ්නයක් විසඳන්න සැබෑ ජීවිතයේදීත් මට අවස්ථාවක් ලැබුණ.

'නිමි' තුළින් තිරයට ආ කවුද මේ මලිති

කොහොමද ප්‍රතිචාර?

චිත්‍රපටයේ මගේ චරිතය තියෙන්නෙ සීමිත වෙලාවයි. නමුත් බලපු හැමදෙනාම වගේ කිව්වෙ රොෂාන් රණවනගේ නංගි කියන චරිතය මතකයේ හිටින විදිහට මම සාර්ථකව රඟපෑව කියල.

රොෂාන් එක්ක රඟපෑම ඔබට දැණුනෙ කොහොමද?

මම පුංචි කාලෙ ඉඳන්ම රොෂාන් අයියව දන්නව. එයාගෙ ෆිල්ම්ස් බලල තියෙනව. නමුත් රොෂාන් අයිය එක්කයි මේ චරිතය කරන්න තියෙන්නෙ කියල දැනගත්ත වෙලාවෙ මට නුහුරු ගතියක් දැනේවි කියන බය තිබුණ. නමුත් සෙට් එකේදි එයාල මට ලොකු සහයෝගයක් ලබා දුන්න. මම ආධුනික බව දැනෙන්න දුන්නෙ නැහැ. එක පවුලක් වගේ වැඩ කළේ. ඇත්තටම මම සතුටු වෙනව මගේ මුල්ම අත්දැකීම ඒ වගේ පිරිසක් එක්ක ලබාගන්න හැකිවීම ගැන.

ඔබට තිබුණ අභියෝග මොනවද?

මම ඉසුරු වීරසිංහ මහත්මයා ළඟ පුහුණුව ලබපු කෙනෙක්. මේ නිසා රංගනය මට අභියෝගයක් වුණේ නැහැ. හරිම නිදහස්ව රංගනයේ යෙදුන. එතුමා මට උපදෙස් දුන්නෙ වැඩිය හිතන්න එපා මලිති” මේක පොළොවෙ පය ගහල ජීවත් වෙන චරිතයක් කියල.

'නිමි' තුළින් තිරයට ආ කවුද මේ මලිති

මලිති නානායක්කාර කියන්නෙ මොන වගේ චරිතයක්ද?

ඇත්තටම මම දඟයි. නමුත් ප්‍රසිද්ධ තැන්වලදි හරිම නිහඬයි. මිනිස්සු හඳුනාගන්න තුරු වැඩිය කතාබහ කරන්න යන්නෙත් නැහැ. සරලව පොළොවෙ පයගහල ජීවත් වෙන චරිතයක්. ලොකුවට හීන නැති වුණත් මට ඉලක්ක තියෙනව. ඒවාට යන්න කැපවීමෙන් මහන්සි වෙලා වැඩකරනව.

අලුත් ආරාධනා ලැබුණද?

මම ඉසුරු වීරසිංහ මහත්මයා එක්කම තව ටෙලි නාට්‍යයක් පටන්ගෙන තියෙනව. ඒකෙ පළමුවැනි අදියර රූපගත කරල ඉවරයි. දැන් ඊළඟ අදියරට සූදානම් වෙනව. වෙනත් නිර්මාණවලට තවම නම් ආරාධනා ලැබිල නැහැ.

පූර්ණ කාලීන නිළියක් වෙන්න කැමැත්තක් තියෙනව?

මුලදි නම් මට එහෙම අදහසක් තිබුණෙ නැහැ. ඇත්තටම කිව්වොත් මේක මගේ අම්මගෙයි අක්කගෙයි ආසාවක ප්‍රථිපලයක්. එයාලට ලොකු ආසාවක් තිබුණ මාව ටීවී එකේ දකින්න” පුළුල් තිරයක දකින්න. දැන් දැන් ක්‍ෂේත්‍රය දකිනකොට ඇත්තටම නිළියක් වෙන්න ආසාවක් ඇතිවෙනව සහ ඉදිරියටත් රඟපෑමට සම්බන්ධ වෙන්න අදහස් කරනව.

රංගනයට යොමු වෙන්න කලින් මොකද කළේ?

මට මේ අවස්ථාව ලැබෙන්නෙ උසස් පෙළ අවසන් වෙනවාත් එක්කම වගේ. ඒ වෙනකොට මගේ හීනය වෙලා තිබුණෙ කැම්පස් යන්න” ලෝයර් කෙනෙක් වෙන්න වගේම මගේම කියල බිස්නස් එකක් පටන්ගන්න. ඒ හීන තවමත් තියෙනව.

ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නෙ?

පිටින් බලල කියන දේවල්වලට වඩා” මිනිස්සු දකිනවාට වඩා ඇත්තටම සුන්දර තැනක්. ඒ වගේම අනෙක් වෘත්තීන් වගේම ගෞරවණීය වෘත්තියක්. ගෞරවයෙන් යුතුව වැඩ කරනවනම් පිටිනුත් ඒ ගෞරවය අපිට ලැබෙනව. බොහොම සුන්දර විදිහට වැඩකරගෙන යන්න පුළුවන් ක්‍ෂේත්‍රයක්.

ඉදිරිය ගැන මොනවගේ අදහසක්ද තියෙන්නෙ?

තවදුරටත් ඉගෙන ගන්න මගේ අදහසක් තියෙනව. ඒ වගේම විශේෂයෙන් චරිත තෝරාබේරාගන්න අදහසක් නැහැ. හැම චරිතයකටම මම කැමතියි වගේම මට ඒක කරන්න පුළුවන් කියල හිතනව.

රංගනයට සීමාවන් තියෙනවද?

ඔව්” මට සීමාවන් තියෙනව. ඉදිරියටත් මම ක්‍ෂේත්‍රයේ රැඳිල හිටියොත් ඒ සීමාවන් එක්ක වැඩ කරයි.

මලිති අභියෝගවලට බයද?

මම අභියෝගවලට මුහුණ දෙන්න කැමතියි. දෙයක් කරන්න ඕන කියල වගේම මම ඒක කරන එක සුදුසුයි කියල හිතුණොත් මම ඒක කොහොම හරි කරනව. මට නොගැලපෙන දේවල්වලට නම් අවදානමක් ගන්න යන්නෙ නැහැ.

කොළඹ ජීවිතේ මොන වගේද?

මම හැමවෙලාවෙම වගේ ගෙදර අය එක්කම හිටපු කෙනෙක්. නමුත් පාසල් යන කාලෙ බාහිර වැඩවලට සම්බන්ධ වුණ නිසා ගොඩක් වෙලාවට ගෙදරින් පිට ඉඳල තියෙනව. ගෙදරින් පිට ඉන්න එක හුරු වුණාට තනියෙන් ඉන්න” උයාගෙන කන්න” අස්පස් කරන්න වගේ දෙවල් තනියෙන් කරගන්න එක හුරු නැහැ. කොහොම වුණත් ක්‍ෂේත්‍රයේ වැඩකරන්න තියෙන ආසාව නිසාම මම ඒකට හුරු වුණා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment