නියාමකවරුන් නැතිව ඊයේ දුම්රිය ගමන් වාර 26ක්  අවලංගු වෙයි

118

දැනට රට තුළ පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ ඊයේ (29දා) නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම නිසා නගරාන්තර දුම්රිය, දුර ගමන් සේවා සහ කාර්යාලයීය දුම්රිය 26 ක් පමණ අවලංගු කිරීමට දුම්රිය පාලන අධිකාරිය කටයුතු කර ඇත.

ඊයේ අවලංගු වූ දුම්රිය අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වාද්දුව තෙක් ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ පානදුර අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ රඹුක්කන අතර ධාවනය වන දුම්රිය හයක්, කොළඹ කොටුව සහ මීරිගම අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ වේයන්ගොඩ අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ අඹේපුස්ස අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ හලාවත අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ මාදම්පේ අතර ධාවනය වන දුම්රිය දෙකක් සහ කොළඹ කොටුව සහ අවිස්සාවේල්ල අතර ධාවනය වන මගී සහ පාර්සල් ප්‍රවාහන දුම්රිය ද වේ.

ඊට අමතරව කලින් ආසන වෙන් කරන කොළඹ කොටුව සිට මඩකලපුව ධාවනය වන උදයදේවි දුම්රිය සහ කොළඹ කොටුව සිට අනුරාධපුර බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ද අවලංගු කර තිබුණි. අවිස්සාවේල්ල බලා ධාවනය වන පාර්සල් ප්‍රවාහන දුම්රිය අවලංගු වීම නිසා මරදාන දුම්රිය ස්ථානයේ අවිස්සාවේල්ල දක්වා දුම්රිය ස්ථාන වෙත බෙදා හැරිය යුතු පාර්සල් 300කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති අතර ඉක්මනින් නරක් වෙන දෑ සහිත පාර්සල් ද ඒ අතර වෙයි.

අත්‍යවශ්‍ය සේවයක් වන දුම්රිය සේවයේ ද කඩා වැටීම මේ සමග ආරම්භ වී ඇති නමුත් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ ඔවුන් යටතේ සේවය කරන කනිෂ්ඨ කාර්ය මණ්ඩලය හැකි පමණ කැඳවා සේවා කටයුතු ක්‍රියාත්මක කිරීමට උත්සාහ කෙරේ. නමුත් නිල නිවාස නොමැති මෙම බහුතර පිරිස සඳහා ඉන්ධන ද නොමැති වීම නිසා ඉදිරියේදී සේවයට වාර්තා කිරීමට ගැටලු ඇතිවීමෙන් දුම්රිය මෙහෙයුම් කටයුතු ප්‍රමාද වීම, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට නොහැකි වීම, පාර්සල් ප්‍රවාහනය බිඳවැටීම වැනි මගීන්ට බලපාන අවශ්‍යතා සැපයීමට නොහැකිවීම හෝ ප්‍රමාද වී සැපයීම සිදු විය හැක.

ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් වන දුම්රිය සේවකයින් වෙත ඉක්මනින් ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් මෙතෙක් හඳුන්වා දීමට දෙපාර්තමේන්තුව හෝ රජය කටයුතු කර නොමැත. එබැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකර පිළියම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී ඊයේටත් වඩා දුම්රිය අවලංගු වීම සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment