නියෝගය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාදවීම පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට කනගාටුව පළ කරයි

143

උපපොලිස් පරීක්‍ෂක සුගත් මෙන්ඩිස් මහතාට ඔහු වැඩ තහනමට ලක්වී සිටි කාලය සඳහා වහාම හිඟ වැටුප් ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය මැයි මස 8 වැනිදා කරන ලද නියෝගය ඉටුකිරීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා හා පරිපාලන අංශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (16 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී කොන්දේසි විරහිතව කනගාටුව පළකර සිටියේය.

පෙත්සම්කාර උපපොලිස් පරීක්‍ෂකවරයා මේ වනවිට නැවත සේවයේ පිහිටුවා අධිකරණය විසින් කරන ලද නියෝගය ප්‍රකාරව හිඟ වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව පවසමින් පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් එලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කනගාටුව පළකර සිටියේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අසත්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් උපපොලිස් පරීක්‍ෂක සුගත් මෙන්ඩිස් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්කර තිබිණි. අභියාචනාධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබූ තමා නැවත සේවය පිහිටුවන ලෙස හා සේවය අත්හිටුවා තිබූ කාලය සඳහා හිඟ වැටුප් ගෙවන ලෙස ඉල්ලා එම උපපොලිස් පරීක්‍ෂකවරයා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට හිඟ වැටුප් වහාම ගෙවීමට පියවර ගන්නැයි පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට පසුගිය මැයි 8 වැනිදා නියෝග කර තිබිණි. එකී නියෝගය ඉටුකර නොමැති බව පෙන්වා දෙමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තම අධිකරණය කළ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීම සඳහා ඊයේ (16දා) පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පසුගිය සැප්තැම්බර් 23 වැනිදා පොලිස්පතිවරයාට හා නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි. එකී නියෝගය අනුව ඔවුහු ඊයේ (16 දා) අධිකරණය හමුවේ පෙනී සිටියහ. රාජ්‍ය නිලධාරීන් ලෙස රටේ ඉහළ ම අධිකරණය විසින් ලබාදෙනු ලබන නියෝගයක් හෝ ඉටුකිරීමට අපොහොසත්වීම ඉතා බලවත් වරදක් බවත් විශේෂයෙන් සිය දෙපාර්තමේන්තුවේ සේවය කරනා පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් මෙයට වඩා සානුකම්පිතව කටයුතු කළ යුතුව තිබූ බවත් පෙන්වා දුන් ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල එම පෙත්සම ලබන දෙසැම්බර් 12 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

පොලිස්පතිවරයා ඇතුළු එම පෙත්සමේ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් පස්දෙනාට එහි සඳහන් ඉල්ලීම් සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කිරීමට අවසර ලබාදෙන ලෙසට ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලම කරනුයේ පෙත්සම ගොනුකර බොහෝ කලකට පසුව වන බැවින් තම අධිකරණය එම ඉල්ලීමට අවසර ලබානොදීමට තීරණය කළ බවද විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය. නීතීඥ නිලන්ති ද සිල්වා මහත්මියගේ උපදෙස් මත නීතීඥ තිළිණි විදානගමගේ මෙනවිය සමග ජ්‍යෙෂ්ඨ නීතීඥ විරාන් කොරයා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment