නිර්පාක්ෂික අරගලය සර්වපාක්ෂික මුහුනුවරක…!

410

ඉන්ධන අර්බුදය නිසා රටේ බොහෝ වැඩ කටයුතු එකතැන නතර වුණු තවත් සතියක් ගෙවී ගියේය. මොනවා නතර වුවත් රටේ දේශපාලන වැඩ කටයුතු නතර වූයේ නම් නැත.

පසුගිය සතිය පාර්ලිමේන්තුව පැවති සතියක් විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණියේය. එහිදී ඔවුන් දෙදෙනාටම මහත් දැඩි දේශපාලන අලකලංචියකට මුහුණපාන්නට සිදු වූ බව පැහැදිලි විය. ඒ පිළිබඳ ඇතුළාන්තයේ කතාබස් බොහෝය.

සඳුදා දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු නොගොස් සිය කාර්යාලය වෙත ගියේ කල්තියා වැඩ රාජකාරි රාශියක් සංවිධානය කරගෙන තිබූ නිසාය. විශේෂ හමුවීම් කිහිපයක් ද යොදා ගෙන තිබිණි. උදයේම අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් හමු වූ අගමැතිවරයා ඔවුන් සමග මෙම සතියේ වැඩ කටයුතු ගැන කරන ලද සාකච්ඡාවකින් අනතුරුව දහවල් ආහාර සුරක්ෂිතතා කමිටුවේ විශේෂ සාකච්ඡාවකට සහභාගි විය. එහිදී බොහෝ ප්‍රශ්න මතුවිය. අගමැතිවරයා නිලධාරීන්ට කීවේ මෙම ප්‍රශ්න පිළිබඳ සවිස්තර ලියවිල්ලක් සකසා ඒවාට උත්තර ද සමඟ මෙම සතිය අවසන් වීමට පෙර තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙසයි. එදින හවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල සාකච්ඡාව පැවැත්විණි. අගමැතිවරයා එහිදී රටේ පවතින වර්තමාන ආර්ථික තත්ත්වය හා අනතුරු පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කළේය. ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ගැන සාකච්ඡා කළ අගමැතිවරයා රටේ පවතින කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීම සඳහා අලුත් යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කළේය.

පසුව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනුණේ ගෑස් සහ ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් අගමැතිවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනා කීපයකි. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කරන්නට අමාත්‍ය කංචන විජේසේකර වගකීම භාර ගත්තේය. කැබිනට් රැස්වීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති බැවින් අගමැතිවරයා ද ඊට සහභාගී විය.

● වීරයෝ බලු වන හැටි වීරසේකර පහදයි…

රැස්වීමේ මුල සිටම මන්ත්‍රීවරු විවිධ ගැටලු හා ප්‍රශ්න ඉදිරිපත් කරමින් අදහස් දක්වන්නට වූහ. මන්ත්‍රීවරු අගමැතිවරයාගෙන් විමසා සිටියේ රටේ තිබෙන මූල්‍ය තත්ත්වය ගැනයි.

“ෂඵත්‍” එකත් එක්ක තිබුණ සාකච්ඡා සාර්ථකයි. අපි ඒ ගැන ඉදිරි පියවර ගනිමින් තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී මන්ත්‍රීවරු දැනුවත් කරන්න කටයුතු කරනවා.” අගමැති රනිල් කීවේය.

ඉන්පසුව කෘෂිකර්මය හා වත්මන් පොහොර අර්බුදය ගැන ප්‍රශ්න ගණනාවක් මතු විය.

“පොහොර නැව දැන් පිටත්වෙලා තියෙන්නේ. 08 වෙනිදා රෑ පොහොර නැව ලංකාවට ඒවී. 09 – 10 දවස් දෙකේ අපි පොහොර බෙදා හරින්න කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලයි තියෙන්නේ.” අමරවීර කීවේය. කචංන විජේසේකර ඇමැතිවරයා අනතුරුව තෙල් තත්ත්වය පැහැදිලි කළේය.

“ලබන සතිය වනවිට ඩීසල් නැව් දෙකක් ශ්‍රී ලංකාවට එනවා. ඒ එක්කම පෙට්‍රල් නැවකුත් ගෙන්වා ගැනීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඩීසල් නැව් සඳහා මුදල් ගෙවීම අවසන්.” කංචන පැහැදිලි කළේය.

අත්‍යවශ්‍ය ආහාර අර්බුදයට මුහුණදීම සඳහා වන රජයේ ආදායම මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේ වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දුය. “රට තුළ කිසිදු ආහාර හිඟයක් ඇති නොවීමට වග බලාගෙන තිබෙනවා. ඒ නිසා මම සහතික වෙනවා රට තුළ කිසිදු ආහාර හිඟයක් ඇතිවෙන්නේ නෑ. අපි අනතුර හඳුනාගෙන ඊට අවශ්‍ය පිළියම් යෙදුවා. විෂය භාර ඇමැතිවරයා ලෙස රටේ ආහාර අර්බුදයක් ඇති නොවන බවට මට සහතික විය හැකියි.” නලීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කීවේය. මේ අතර ඇමැති මනූෂ කතා කරමින් වෙනත් කතාවක් කීවේය. ඔහු අවධානය යොමු කළේ රනිල්ට හරීන්ට හා තමන්ට මේ දිනවල පොදු විපක්ෂයෙන් මෙන්ම ආණ්ඩුවේම සමහරුන්ගෙන් අහන්නට සිදුව ඇති විවිධ චෝදනා පිළිබඳවයි.

“අර්බුදය විසඳන්න ආණ්ඩුවක් හදන්න අගමැතිකම භාරගන්න කියලා සජිත්ටයි අනුරටයි දෙන්නටම ආරාධනා කළා. ඒ අයගේ අභ්‍යන්තර සාකච්ඡාවලින් කියවුණේ මේක ගොඩගන්න බැරි නිසා භාරගන්නේ නෑ කියන එකයි. ඒව කියන්නේ නෑ. අද ඔන්න වෙන වෙන කතා කියනවා.

ඒ අය ගොඩගන්න බැරි යැයි කියපු රට සති 06 ක් විතර තිස්සේ අපි හැමෝම එකතුවෙලා යම් තැනකට ගෙනත් තියෙනවා. රටට ගෑස් එන්න හදනකොට, තෙල් ටිකක් එන විදියක් පේනකොට, පොහොර එන බව දැනෙන කොට තමයි මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතාවක් එන්නේ. අමාරු තැන පැන ගත්තට පස්සේ ජයග්‍රහණයේ ඵල නෙළාගන්න තමයි මේ හදන්නේ. රට ට්‍රැක් එකකට වැටිලා තියෙන බව දැන් ජනතාව දැනුවත් කරමු” යැයි ඔහු යෝජනා කළේය. “88-89 පාරේ වාහනයක් ගියා නම් වෙඩි තිබ්බා. තුණ්ඩු කෑලි එව්වා ලයිට් නිවුවේ නැත්තම් මරනවා කියලා. ඒ වගේ ටිකක් මතක් කළාට කමක් නෑ.” අගමැති රනිල් කීවේය. අනතුරුව කතා කළේ සරත් වීරසේකරය.

“එළියේ තත්ත්වය හරිම භයානකයි. හැම තැනම තෙල් පෝලිම්. මිනිස්සු ලොකු පීඩනයක ඉන්නේ. කඩේකට යන්න බෑ අපිට අපහාස කරනවා. සමහරු තෙල් ගබඩා කර ගැනීම තමයි ලොකුම ප්‍රශ්නය. අද රට තුළ නීතිය හා සාමය බිඳ වැටිලා. ජනතාවගෙන් මේ ප්‍රශ්නය විසඳගන්න කිසිම සහයෝගයක් නෑ. ත්‍රීවිල් අය පාරේ හයර් දුවනවට වඩා කරන්නේ ෂෙඩ්වල පෝලිමේ ඉඳලා තෙල් ගහලා වැඩි මිලට පිට විකුණන එක. පාරේ ඉන්න අයත් පෝලිමේ ඉන්න අයත් මේක විසඳගන්න අපිට සහාය දෙන්න ඕනෑ.” වීරසේකර කීවේය.

ඒ සමගම වීරසේකර රනිල්ලාගේ ෂඵත්‍ සමග සාකච්ඡා ගැන වැඩි ප්‍රසාදයක් දැක්වූයේ නැත.

“අගමැතිතුමා ඔබතුමා පත් කළේ ආර්ථික අර්බුදය විසඳගන්න පමණයි. නමුත් දැන් ආර්ථික අර්බුදය පැත්තක තියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටයි සින්නක්කර ඔප්පු දීමටයි ප්‍රමුඛත්වය දීලා. විජේදාස රාජපක්ෂ ඇමැතිතුමා උසාවි ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය විරුද්ධ වෙච්ච සමහර කරුණු 21 සංශෝධනය ආයෙත් එනවා. ඔය දේවල් නවත්තලා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නයි අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනෑ. දැන් රටේ විනය පිරිහිලා. තෙල් පෝලිම්වල සංවිධානය වුණ පිරිස් හමුදාවට පොලීසියට පවා අවනත නෑ. මම ඊශ්‍රයල් ගිහින් ටේ්‍රන් වෙච්ච රණවිරුවෙක්. මරාගෙන මැරෙන කොටිත් එක්ක ගහගත්ත මිනිහෙක් මම. එහෙව් කරපු මට කඩේකට ගියාම අසභ්‍ය වචනින් බණිනවා හූ කියනවා නම් ඇති වැඩේ මොකක්ද? අපි මොකටද සවුත්තු වෙන්නේ. මේ විදියට ගියොත් මමත් හෙට අනිද්දා දේශපාලන වශයෙන් තීන්දුවක් ගන්නවා.” වීරසේකර කීවේය. සරත් ගිවිසුම ගැනද කතා කළේ නොසතුටිනි.

“ඔබතුමා නිවැරදියි… අද රටේ ලොකුම ප්‍රශ්නය ඉන්ධන තමයි. ගෑස්, පොහොර ලබා දීම තමයි අපේ ප්‍රමුඛතාවය. ඒ සඳහා අපි කටයුතු කරගෙන යනවා. අපේ ප්‍රමුඛතාවය වෙනස් වෙලා නෑ. ඉඩම් ඔප්පු දෙන එක ඵක්‍ක්‍ එකේ තිබුණේ නෑ. ඔබතුමයි මමයි අතර පුද්ගලික ප්‍රශ්න නෑ. ඒ නිසා අපි කථා කරමු. මේ සටනේ ඔබතුමා ඉන්න ඕනෑ. සටන නතර කරන එක නෙමෙයි වැඩේ. සටන තුළ ඔබතුමා ඉන්න ඕනෑ.” රනිල් කීවේය.

විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා ද මේ කථා බහට මැදිහත් වූයේය. ඔහු කීවේ ලංකාවට ණය දීමට ෂඵත්‍ එක ආණ්ඩුවෙන් අපේක්ෂා කරන දේවල් පිළිබඳව ය. නිමල් ලන්සා පොලිස්පතිවරයාගේ වාර්තාව ද යොදා ගනිමින්… ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමීන් එක්ව රට ගිනි තබන්නට උත්සාහ කරන බව පෙන්වා දුන්නේය.

“ජනතාවට අපි විශ්වාසයක් ඇති කරන්න ඕනෑ. ආණ්ඩුවක් විදියට අපි දැන් මේ අර්බුදය විසඳගන්න කටයුතු කරගෙන යනවා. ගමට අපි කරන දේවල් ගැන කියන්න ඕනෑ. අපි බොහොම අමාරුවෙන් ඩොලර් හොයාගෙන තෙල් හොයලා ගෙනාපුවාම ඒවා ජාවාරමක් කරගෙන. මේවට විරුද්ධව පියවර ගන්න.” ලන්සා කිවේය. “අපි කොච්චර තෙල් ගෙනාවත් ෂෙඩ් පාලනය කරන්නේ හෙල්මට් දාපු චන්ඩි. ඔවුන් ජනතාව ත්‍රිවිධ හමුදාව සමඟ ගැටුම් ඇති කරගන්න තත්ත්වයකට පොළඹවනවා. මේක වහාම නතර කරන්න ඕනෑ. මේක පාලනය කළේ නැත්නම් කොච්චර තෙල් නැව් ආවත් අපිට පිරිමහගන්න බැරි වෙයි.” තවත් මන්ත්‍රීවරයෙක් කීවේය.

“මේ ආණ්ඩුව මිනිසුන්ට සහනයක් දෙන්න මහන්සි වෙනවා. ජනාධිපතිතුමා හැම වෙලාවෙම කටයුතු කරන්නේ ඒකට. හැබැයි ආණ්ඩුවේ නරක ජනාධිපතිතුමාට විතරයි. හොඳ යන්නේ වෙන අයට. තවත් මන්ත්‍රීවරයෙක් කීවේය. “රටේ මූල්‍ය තත්ත්වය ගැන මන්ත්‍රීවරු විවිධ තර්ක මතුකරද්දී රනිල් අවසානයට රටේ පවතින මූල්‍ය තත්ත්වය ගැනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවන් ගැනත් හෙට පාර්ලිමේන්තුවට තමන් විශේෂ ප්‍රකාශයක් කරනා බව ආණ්ඩු පක්ෂ කණ්ඩායමට දැනුම් දුන්නේය. “අගමැතිතුමාගේ ප්‍රකාශය අහන්න මමත් එනවා.” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද අගමැතිගේ කතාව අවසානයේ කීවේය.

● ජවිපයට සහයට විපක්ෂයම එක්වෙයි…

මේ දිනවල දේශපාලන කරළියේ වඩාත් ම කතා බහට ලක්වන දේශපාලන පක්ෂය ජවිපෙ යි. වඩාත්ම කතාබහට ලක්වන දේශපාලන නායකයා ද ජවිපෙ නායක අනුර කුමාර දිසානායකයි. ඊට හේතුව මීට දින කිහිපයකට පෙර අවස්ථා කීපයකදීම ජවිපෙ නායකයා මේ රටේ අනාගත වගකීම භාර ගැනීමට තමන් කැමති යැයි කියා ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශය වන්නට ඇත.

ඊට අමතරව ආණ්ඩුවට එරෙහිව නිර්පාක්ෂිකව ආරම්භ කළ අරගලයේ ද සාර්ථකත්වය සඳහා ලොකු වැඩ කොටසක් ඉටුකිරීමේ ගෞරවයෙන් කොටසක් හිමි වන්නේ ජවිපෙට බව රහසක් නොවේ. ඒ හා සමානව ම පෙරටුගාමී සංවිධානයට ද එම වගකීමෙන් කොටසක් හිමි වන බව පැහැදිලි වේ. අරගලකරුවන් පසුගිය දිනවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආණ්ඩුව පන්නා දැමීමේ අවසන් සටනට අවතීර්ණ විය. එම සටන සංකේතාත්මකව ජූලි මස 9 වෙනිදා මේ රජයට එරෙහි සියලු ජන බලවේග පාරට බස්සවා දියත් කරන්නට අරගලකරුවන්ට අවශ්‍ය විය.

එහිදී මෙම සටන නිර්පාක්ෂික අරගලයක් ලෙස පවත්වාගෙන යනවාට වඩා පොදු විරෝධතාවක් ලෙස පවත්වාගෙන යෑම තුළ වැඩි ජන සහභාගීත්වයක් සහභාගි කරගත හැකි බව අරගලකරුවෝ තේරුම් ගත්හ. නිර්පාක්ෂික අරගලය සර්වපාක්ෂික වන්නට විවෘත වූයේ ඒ අයුරිනි.

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා පක්ෂ ගණනාවක් ම පසුගිය සතිය තුළ එකට එකතු වී සාකච්ඡා කරන්න පටන් ගත්ත. මෙහිදී රටේ කැපී පෙනෙනම හමුව වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමගි ජන බලවේගය අතර සිදු වූ සාකච්ඡා මාලාවයි. සමගි ජන බලවේගය විසින් මෙම සාකච්ඡා මාලාව සංවිධානය කළ අතර ඔවුන් ඒ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂවලට ආරාධනා කර සිටියහ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණට, දෙමළ ජාතික සන්ධානයට, මුස්ලිම් පක්ෂවලට පමණක් නොව රජයෙන් ස්වාධීන වී සිටින ඩලස්ලා විමල්ලා අනුර යාපලා වැනි කණ්ඩායම්වලට ද ඔවුන් ඒ සඳහා ආරාධනා කර සිටියහ. මෙහි පළමු සාකච්ඡාව පසුගිය සඳුදා කොළඹ කේම්බ්‍රිජ් පෙදෙසේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මේ සඳහා සහභාගි වන බව ශ්‍රීලනිපයේ අනෙකුත් නියෝජිතයින් දැන සිටියේ නැත. එහෙත් හදිසියේම සාකච්ඡාව අතරමැදදී ශ්‍රීලනිප නායකයා පැමිණ එහි අසුන් ගැනීම නිසා සමහර නියෝජිත පිරිස් විමතියට පත්වූහ.

එහිදී සිදු වූ බහින්බස් වීමක් නිසා තම නොසතුට පළ කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද සාකච්ඡාවෙන් නැගිට ගොස් තිබුණේය.

ඉන්පසුව සමගි ජන බලවේගය සාකච්ඡා කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු බලයට එරෙහි මත පළ කරන විපක්ෂයේ සියලුම බලවේගවල නායකයින් සමඟයි. සාකච්ඡාව පසුගිය බදාදා පාලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර අනිකුත් පක්ෂ නියෝජනය කරමින් නායකයින් පැමිණ සිටියත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කිසිවෙක් එහි පැමිණ සිටියේ නැත. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් මේ රටේ අද තිබෙන දැවෙන ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් සෙවීම සඳහා ඉදිරිපත් වීමට වැඩපිළිවෙළක් සකස් කිරීම ගැන මෙහිදී පුළුල්ව සාකච්ඡා කරනු ලැබූහ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට සජිත් ප්‍රේමදාස පැමිණියේ ද සාකච්ඡාව අතරමැද ය. මෙම සාකච්ඡාවන්වලට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවීම ගැන කනස්සල්ල පළ කළ ඇතැම් පක්ෂ ඔවුන් එසේ නොපැමිණියහොත් මෙම එකමුතුව සර්වපාක්ෂික වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරනු ලැබූහ.

● ශ්‍රීලනිපය හා ජවිපෙ අරගලකරුවෝ හමුවෙලා…

මේ අතර මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේ නිර්පාක්ෂික අරගලකරුවන් සමඟ ද විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එය පසුගිය බදාදා හවස පැවැත්විණි. මෙහිදී සාකච්ඡාවට ගැනුණේ ලබන 9 වැනිදා පැවැත්වෙන, රජයට එරෙහි පොදු විරෝධතාවය ගැනය.

අරගලකරුවෝ මේ සම්බන්ධයෙන් විවිධ යෝජනා ඉදිරිපත් කළහ. “මේ ආණ්ඩුවට දැන් මේක කරන්න බෑ. මේ ජනාධිපතිවරයා ඇතුළු මුළු ආණ්ඩුවම ගෙදර අරින්න ඕන කියන තැන දැන් අපිත් ඉන්නවා. ඒ සඳහා පක්ෂයක් හැටියට ලබන නව වැනිදා අපිත් උද්ඝෝෂණයට එකතු වෙනවා. මොකක්ද ඔයගොල්ලන්ගේ ප්ලෑන් එක.” මෛත්‍රීපාල සිරිසේනගේ යෝජනාව හමුවේ අරගලකරුවන් ඔවුන් අත තිබූ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කළේය.

“හැබැයි අපි ඕගොල්ලන්ගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි.

මේක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාමකාමී අවිහිංසාවාදී අරගලයක් ම විය යුතුයි. අඩුම ගාණේ ගල් කැටයකින්වත් කාටවත් හෝ දේපළකට හෝ හිංසාවක් කරන්න බෑ… එහෙම වුණොත් මේ අරගලය වෙනත් අර්ථයකට හැරෙනවා…” මෛත්‍රීපාල පෙන්වා දුන්නේය. අරගලකරුවන්ගේ ද ඊට එකඟතාව පළ විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෑතදී ආණ්ඩුවට එකතු වූ නිමල් සිරිපාල, මහින්ද අමරවීර ශාන්ත බණ්ඩාර හා සුරේන් රාඝවන් හැරුණුවිට අනික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දස දෙනා මේ සඳහා සහභාගී වී සිටීම විශේෂත්වයක් විය. අරගලකරුවන් පසුගිය සතියේ තවත් සුවිශේෂී සාකච්ඡාවකට සම්බන්ධ විය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සමග ය. මෙම දුෂ්කර අවස්ථාවේ විවිධ දේශපාලන මතිමතාන්තර හා විවිධ ප්‍රතිවිරෝධතා නොසලකා සියල්ලෝම එකට එකතු වී ආණ්ඩුවට එරෙහි පොදු විපක්ෂයක් ලෙස උද්ඝෝෂණයට සහභාගි වීමට තිබෙන ඉඩකඩ ගැන මෙහිදී පුළුල්ව සාකච්ඡා කරනු ලැබූහ. ඒ අනුව මේ රටේ පොදු විපක්ෂය ටිකෙන් ටික 9 වැනිදා පවත්වන්නට නියමිත ආණ්ඩුවට එරෙහි පොදු විරෝධතාවයට ඇති බාධාවන් අවම කරගත්හ.

● පුටුව භාරගන්නැයි රනිල් අනුරට කියයි…

පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළ කැපී පෙනෙන සිද්ධි කීපයක් ම සිදුවිය. එකක් වූයේ ආණ්ඩුවේ අගමැතිවරයාට එම ආණ්ඩුවේ ම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් විය යුතු යැයි කියමින් එල්ල කරන ලද අභියෝගය ය. වැරදි ආර්ථික ක්‍රමෝපායන් මත කටයුතු කරමින් අගමැතිවරයා මුදල් ඇමැතිකම තබා ගෙන ක්‍රියා කිරීම තුළ රටට කඩිනමන් ඩොලර් ලබාදීම සඳහා තමන් ක්‍රියාවට නගන ඉක්මන් ආර්ථික ක්‍රමෝපායන් අභියෝගයට ලක් වන බව පෙන්වා දෙමින් නව ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා සටන පටන් ගත්තේ ය. මෙම සටනට අගමැති රනිල් ද බර අවි ක්‍රියාත්මක කරමින් අවතීර්ණ විය. දෙදෙනා අතර පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ඇවිලී ගිය වාදය පසුගිය සතියේ අපේ දේශපාලන කරළිය උණුසුම් කරන්නට සමත් විය.

ඒ ආකාරයේම තවත් අභියෝගයක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගෙන් ද අගමැති රනිල් වෙත එල්ල වූයේ අගමැතිකම භාරගෙන මාස හයෙන් රට හදා පෙන්වන්නැයි රනිල්-අනුරට ආරාධනා කිරීමත් සමගය.

මේ සඳහා රනිල් මුල් කොට ගත්තේ අනුර පසුගිය දිනක කරන ලද ප්‍රකාශයකි. ඇත්තෙන්ම අනුර ක්‍රියා තිබුණේ ඉතා සරල දෙයකි. ජනාධිපති නිශ්චිත කාලයක් මත ඉවත් වී ආණ්ඩුව තම පක්ෂයට ලබා දෙන්නට සූදානම් නම් මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතරින් වංචා දූෂණ අවම පිරිසක් තෝරාගෙන සීමිත කැබිනට් මණ්ඩලයක් නිමවා ඒ තුළින් රටේ අද තියෙන මූලික දැවෙන ප්‍රශ්න කිහිපය වන ඉන්ධන, ඖෂධ, ආහාර හා පොහොර අර්බුදවලට මාස හයක් ඇතුළත විසඳුමක් දීමට තමා සූදානම් බව ඔහු කීවේය. රනිල් අනුරට අභියෝග කළේ එම ප්‍රකාශය සම්බන්ධ කරගෙනයි.

අනුරත් නිකම් සිටියේ නැත. අනුර ඊට හැරෙන තැපෑලෙන් අගමැති රනිල් ට හොඳ උත්තරයක් දුන්නේය. එම සංවාදය බොහෝසේ රසවත් එකක් විය. විශේෂත්වය වූයේ එදා එම සංවාදය සිදු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සභාවේ සිටි අවස්ථාවක වීමයි. අගමැති රනිල් අඟහරුවාදා උදේ පාර්ලිමේන්තුවට ගියේ පාර්ලිමේන්තුව තුළ ආර්ථිකය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමට ද සූදානම්ව ය. පාර්ලිමේන්තු ලොබියේ දී මේ පිළිබඳ මන්ත්‍රීවරු රනිල්ගේ කරුණු විමසන්නට වූහ.

“ඒවා හැම තැනම කියන්නේ නෑ. පාර්ලිමේන්තුව ඇතුළට ඇවිල්ල ම අහ ගන්න” රනිල් උත්තර දුන්නේය. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අඟහරුවාදා උදේ පාර්ලිමේන්තු පැමිණියේය. පාර්ලිමේන්තුව පිවිසුම අසල දී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග හා සභානායක දිනේෂ් ගුණවර්ධන විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබූහ. ජනාධිපති කාලය මිඩංගු නොකර ම සභා ගැබට ගිය අතර, සභාගැබට ජනාධිපතිවරයා කොයි මොහොතක හෝ පැමිණෙන බව දැන සූදානම්ව සිටි විපක්ෂය ‘ගෝඨා ගෝ හෝම්’ යයි කියමින් විරෝධතා දක්වන්නට වූහ. ගෝඨාට ගෙදර යන්නට කියන සටන් පාඨ ඇතුළත් පුවරු කීපයක් ද විපක්ෂ මන්ත්‍රීවරු පිරිස අත වූහ. මුජිබර් රහුමාන් විරෝධතාවේ පෙරමුණ ගෙන සිටියහ. විරෝධතාවය අතරේ වුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය කතාව කරගෙන ගියේය. ජනාධිපති ගෝඨාභය ද විරෝධතාකරුවන් දෙස බලමින් රනිල්ගේ කතාව අසා සිටියේය. කථානායකවරයාට මෙම තත්ත්වය පාලනය කරගන්නට විනාඩි දහයකට සභාව කල් දමන්නට සිදුවිය. සභාව කල් තැබුවාට පසු ජනාධිපති ගෝඨාභය සභා ගැබින් නැගිට ඉවත්ව ගියේ සජිත් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ට අතවනා ආචාර කිරීමෙන් ද අනතුරුවයි.

● සටන් වළක්වන්න ජේ ආර් ගෙනා උපාය…

බදාදා උදේ පාර්ලිමේන්තුවට ගිය අගමැති රනිල් වික්‍රමසිංහ සිය කාර්යාලයට යන අතරතුර මග රැඳී හුන් මන්ත්‍රීවරු පිරිසක් සමඟ කතාබහ කළේය.

“ඇමැති ධම්මික පෙරේරා මුදල් ඇමැතිකමින් සර්ට අයින් වෙන්න කියලා මාධ්‍ය හමුවක් පවා තියලා කියලා තිබුණා. දැන් මේ ආණ්ඩුවේ ඇමැතිවරුත් අගමැතිට එරෙහිව කුමන්ත්‍රණ කරනවා. සමහර මන්ත්‍රීවරු පාරේ බැහැලා ජනාධිපතිට කුණුහරුපෙන් ප්‍රසිද්ධියේ බනිනව. ඒගොල්ලන්ගෙ සහයෝගයට නීතිඥවරු පවා ඉදිරිපත් වෙනවා… ඇත්තටම සර් මොකක්ද මේ අපේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. ඇයි මේ ආණ්ඩුව මේ තරම් නිවට..” මන්ත්‍රීවරු විමසන්නට වූහ. “ධම්මික පෙරේරා කියපු කාරණාව ගැන මම හොයලා බලන්නම්…” කියූ රනිල් කාර්යාලයට ගියේය. ඉන්පසු සභා ගැබේ දී විපක්ෂයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා ධම්මික පෙරේරාගේ අභියෝගය ගැන රනිල්ගෙන් කරුණු විමසුවේය. රනිල් ඉතා කල්පනාවෙන් ඉවසිලිවන්තව උත්තර දුන්නා හැරුණු විට කලබල වන්නට ගියේ නැත.

මේ අතර රනිල් හමුවන්නට ආණ්ඩු පක්ෂයේ සුසිල් ප්‍රේමජයන්ත, වසන්ත බණ්ඩාර, මධුර විතානගේ හා චාමර සම්පත් එදා හවස කාර්යාලයට පැමිණ සිටියහ.

“ඇමැති කෙනෙක්ට පුළුවන්ද ඒ රටේ අගමැතිට අයින් වෙන්න කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරන්න…” වසන්ත යාපා විමසා සිටියේය. “කැබිනට් සාමුහිකත්වය කියලා එකක් තියෙනවා. ඇමැතිවරු බැඳී ඉන්නවා ඒක ආරක්ෂා කරන්න. මොන විහිළුද මේ වෙන්නේ.” චාමර සම්පත් කීවේය. “ආණ්ඩුවේ ඇමැතිවරුන්ට මේ වගේ දඩබ්බර ප්‍රකාශ කරන්න දෙන්න බැහැ… අපි මේ ගැන කතා කරනවා” මධුර විතානගේ කිව්වේය. ඒ සමගම රනිල්ට හිතවත් එජාප දේශපාලනඥයින් පිරිසක්ද එතනට පැමිණ සිටියහ.

“ඔය බණ කතා කියන සමහර අය අවුරුදු 12ක් බදු ගෙවලාත් නැහැ. මන්ත්‍රී කෙනෙක් වෙනකොට තමයි හිඟ බදු ගෙවලා තියෙන්නේ…” රුවන් විජේවර්ධන කීවේය.

මේ කතාබහෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පොදු විපක්ෂය විසින් නම වැනි දා පවත්වන්නට නියමිත ඒකාබද්ධ විරෝධතාවය ගැන කරුණු විමසා සිටියහ.

“මම දන්නෑ මේ ගැන ජනාධිපතිතුමා කොහොම හිතාගෙන ඉන්නවාද කියලා. මම ජනාධිපතිවරු එක්ක වැඩ කරලා තියෙනවා. හැබැයි මේ වගේ අවස්ථාවක ජේ. ආර්. ජනාධිපතිතුමා වැඩ කරන විදිය නම් මීට ගොඩක් වෙනස්. එතුමා හොඳ උපක්‍රමශීලී නායකයෙක්. සමහර දේවල් එතුමා වළක්වා ගත්තේ තීක්ෂණ බුද්ධියෙන්…”

රනිල් ඊට හොඳ උදාහරණයක් කීවේය.

“ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ වෘත්තීය සමිති ලොකු ස්ට්‍රයික් එකක් සංවිධානය කරලා තිබුණා. එයාලා කොළඹට ඇවිත් වර්ජනය දියත් කරන්න තමයි ලැහැස්ති වෙලා හිටියේ. වර්ජනයට පෙරදා ජනාධිපතිතුමා ජාතික සේවක සංගමයේ ලංගම කණ්ඩායම කැඳෙව්වා. කැඳවලා ඇහුවා ඔයාලත් මේ වර්ජනයට සහභාගී වෙනවද කියලා. ඒ අය හොඳටම බය වෙලා නෑ කිව්වා. ඔහේලත් ඔය වර්ජනයට සහභාගි වෙනවා කියලා ජනාධිපතිතුමා යන්න ගියා. ඊට පස්සේ ලංගමත් වර්ජනයට ගිය නිසා වර්ජනය දවසේ බස් තිබුණේ නෑ. ඒ නිසා වර්ජකයන්ට එදා කොළඹ එන්න බැරි වුණා. වර්ජනයත් ඉවර වුණා. හැබැයි මේ කතාව අදට වලංගු නෑ.” යැයි අගමැතිවරයා ඇඟට නොදැනෙන්න කියද්දී සියල්ලන්ටම සිනහව නවතා ගත නොහැකි වූහ.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment