නිර්මාණකරුවන්ට හා රසිකයන්ට අවම සාධාරණය වත් ඉටුනොවූ රාජ්‍ය ඡායාරූප උළෙලක්…

168

ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය ඡායාරූප උළෙල 2021 පසුගිය මාසයේ අවසන් වූයේ කතාබහ කරන්නට අර්දබුද හා ගැටලූ රාශියක් ඉතිරි කොට තබමිනි. මේ ඒ අතරින් වඩාත් උණුසුම් කාරණා කීපයක් සාකච්ඡාවට ලක් කෙරෙන අදහස් දැක්වීමක් පමණි.

සාමාන්‍යයෙන් වෙනදා නම් මෙවන් ඡායාරූප සම්මාන උළෙලක් පවත්වන්නේ ඒ සඳහා යෝජිත තරග කාණ්ඩ ඔස්සේ ඉදිරිපත් කෙරෙන ඡායාරූප අතරින් ජාත්‍යන්තර ප‍්‍රමිතිය සහිත කැපී පෙනෙන නිර්මාණ 10% තෝරාගෙන ඒවා මහජන ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කරමිනි. සම්මානයට පාත‍්‍ර වන්නේ උළෙලේ ප‍්‍රමිතීන්ට හා නිර්ණායකයන්ට අනුකූලව ඉදිරිපත් කර ඇති හොඳම නිර්මාණයි. එහෙත් මෙවර රටේ පැවැති අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මහජන ප‍්‍රදර්ශනයකට ඉඩක් හිමි නොවීය. ඡායාරූප ගෙන්වාගෙන තිබුනෙත් මුද්‍රිත නිර්මාණ ලෙස නොව, ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන නිර්මාණ මෘදු පිටපත් (සොෆ්ට් කොපි) වශයෙනි.

මේ සඳහා මේ සඳහා මංගල, ප‍්‍රවෘත්ති, ආලේඛ්‍ය, වනසත්ව ආලේඛ්‍ය, වනසත්ව චර්යා, ක‍්‍රීඩා, මෝස්තර නිරූපණ, වාණිජ හා ප‍්‍රවර්ධන, විලාසිතා, ක්ෂුද්‍ර හා සූක්ෂම, සංචරණ ඡායාරූප හා ජීවන රටා ආදී වශයෙන් තරග අංශ 15 ක් යටතේ නිර්මාණ 14 000 කට ආසන්න ප‍්‍රමාණයක් ලැබුණු බවද එය මෙතෙක් ඉතිහාසයේ ඡායාරූප තරග සඳහා ඉදිරිපත් වූ වැඩිම නිර්මාණ සංඛ්‍යාව බවද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබිණි.

ඡායාරූප සම්මාන උළෙල නොවැම්බර් 10 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි. උළෙලට සමගාමීව ප‍්‍රදර්ශනයක් ඩිජිටල් මාධ්‍යයෙන් හෝ දැක බලා ගැනීමට සාමාන්‍ය පේ‍්‍රක්ෂකයාට තබා උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කර තිබූ නිර්මාණකරුවන්ට වත් ලැබී තිබුණේ නැත. තමන්ගේ නිර්මාණ කරට කර තරග වැදී තිබුණේ කවර ගණයේ නිර්මාණ සමඟ ද කියා දැක බලා ගැනීමට නිර්මාණකරුවන්ට අයිතියක් ඇත. භෞතිකව ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට සංවිධායකයන්ට මෙම අවස්ථාවේ ඉඩ ලැබුනේ නැතත්, ජාත්‍යන්තර ප‍්‍රමිතිය කෙසේ වෙතත් 14,000ක් පමණ වූ මේ නිර්මාණ අතරින් 10% ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීම ප‍්‍රායෝගික නැතත් අවශ්‍ය නම් නූතන තාක්ෂණය භාවිතා කර තරගකාරී නිර්මාණ සීයක් දෙසීයක් වත් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ප‍්‍රදර්ශනය කිරීම අසීරු වන්නේ නැත. අවශ්‍ය නම් ඒ සඳහා ෆේස්බුක් පිටුවක් ද වෙබ් අඩවියක් ද රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව සතුව පවතී. (PhotographySACP සහ www.roopawalokana.lk) එහෙත් අවසානයේ සිදු වූයේ කුමක්ද….

නිර්මාණකරුවන්ට හා රසිකයන්ට අවම සාධාරණය වත් ඉටුනොවූ රාජ්‍ය ඡායාරූප උළෙලක්…

මෙවර මංගල ඡායාරූප අංශය සඳහා කිසිදු සම්මානයක් හෝ සහතික පතක් ලබා දීමට තරම් සුදුසු නිර්මාණ ඉදිරිපත් වී නැතැයි නිවේදනය කෙරිණි.

විශේෂයෙන්ම මෙරට වැඩිම ශිල්පීන් සංඛ්‍යාවක් නියෝජනය කරන මංගල ඡායාරූප අංශයට මෙසේ වන්නේ කෙසේදැයි යන්න ප‍්‍රශ්නාර්ථයක් බව බොහෝ ඡායාරූප ශිල්පීන්ගේ මෙන්ම පේ‍්‍රක්ෂකයාගේද අදහස විය. එලෙසම ප‍්‍රවෘත්ති, ක‍්‍රීඩා සහ දිය යට යන තරග අංශ සඳහා රන්, රිදී හා ලෝකඩ සම්මානය ලබා නොදීම ද කැපී පෙනිණ. එම අංශයන්ගේ සහතික පත් ලබා ගත් නිර්මාණ සඳහා සම්මාන ලබා නොදීමට ගත් තීරණය විමතියට කරුණක් බව උළෙලට සහභාගි වූ ප‍්‍රවීණයන් ගේ අදහස විය.

රාජ්‍ය ඡායාරූප උළෙල හා එයට සමගාමීව පවත්වන තරගය හා එහි අරමුණ පිළිබඳ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ අර්ථකථනයක් ඇත. එහි මෙසේ සඳහන්ය.

‘‘ශ‍්‍රී ලාංකික පුරවැසි ශිෂ්‍ය, ආධුනික සහ වෘත්තීය ඡායාරූප ශිල්පීන්හට ශ‍්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙලේ ඡායාරූප තරගය සඳහා ස්ව නිර්මාණ ඉදිරිපත් කළ හැකිය, රාජ්‍ය මැදිහත්වීමෙන් උසස් ප‍්‍රමිතියකින් යුතු නිර්මාණශීලී ඡායාරූප කලාවක් බිහි කිරීම සහ ප‍්‍රබුද්ධ ඡායාරූප රසඥතාවයක් ඇති කිරීමට දායක වීම” තම අරමුණ බවද පවසා ඇත.

වෙන් වෙන් වශයෙන් තරග අංශ නොතිබීම හේතුවෙන් ශිෂ්‍යය, ආධුනික හා ප‍්‍රවීණයන්ට එකම තරගයකට ඡායාරූප ඉදිරිපත් කිරීමට සිදුවිය. එසේ වන්නේ නම් තරගකාරී මට්ටමේ ඡායාරූප නොමැති යැයි සඳහන් කර මංගල ඡායාරූප අංශය අවලංගු කිරීමටත්, තවත් අංශ කිහිපයකට සම්මාන නොදීමටත් තීරණය කරන්නේ කෙසේද?

තවද එක් එක් තරග අංශය සඳහා සහභාගි වූ විනිශ්චකරුවන් කවුරුන්දැයි ප‍්‍රසිද්ධ නොකර සිටීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ අතර, කණ්ඩායමක් ලෙස පමණක් හඳුන්වා දෙන ලදී. එනිසා ප‍්‍රශ්නගත තරග අංශ සඳහා විනිශ්චයන් ලබා දුන්නේ කවුරුන් දැයි හඳුනාගැනීම නොහැකිවීම තරගකරුවන්ට කළ මහත් අසාධාරණයකි. එම තරගවලදී නිර්ණායක සකස් වූයේ සැබෑවටම ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව ද එසේත් නැත්නම් පුද්ගලික මතිමතාන්තර හා ගුරුකුලවලට අනුව ද යන ප‍්‍රශ්නය, විමතිය හා කුතුහලය අප තුළ මතුවීම අසාධාරණ නැත.

කොටින්ම කිවහොත් අපරටේ අතිශයින් තරගකාරී තරග ඉසව්වක් වූද නිර්මාණශීලී ඡායාරූප ශිල්පීන් විශාල සංඛ්‍යාවක් සහභාගි වන ඉසව්වක් වූ ද මංගල ඡායාරූපකරණය සඳහා කිසිදු සම්මානයක් නොදී එම අංශය තරගයෙන් ඉවත් කරන්නට හේතු වූයේ හොඳ ඡායාරූප නැති නිසා නොව, විනිශ්චය මණ්ඩලය ඇතුළේ සිටින මංගල ඡායාරූපකරණයේ ප‍්‍රවීනයකු වන එක්තරා වෘත්තීය ඡායාරූප ව්‍යාපාරිකයකුගේ බලපෑම නිසා යැයි නැඟෙන තර්කය අපට බැහැර කළ නොහැක.

රාජ්‍ය මැදිහත්වීමක් සහිත එකම ඡායාරූප තරගය සඳහා විනිශ්චය මණ්ඩලය ලෙස පත් කළ යුත්තේ ජාතික මට්ටමේ තරග විනිශ්චය සඳහා රටේ සිටින ප‍්‍රවීණතම මණ්ඩලයක් බව අවිවාදිතය. කිසිදා ජාතික මට්ටමේ ඡායාරූප තරග විනිශ්චයකට සහභාගි වී පලපුරුද්දක් නොලද සමහර පුද්ගලයන් රාජ්‍ය ඡායාරූප තරගයේ විනිශ්චය මණ්ඩලය සඳහා ඇතුළත් කරන ලද්දේ කාගේ අවශ්‍යතාවයකට දැයි සිතා ගැනීමට නොහැකිය.

ඕනෑම ඡායාරූප තරගයක සහ ප‍්‍රදර්ශනයක අප දකින සම්ප‍්‍රදාය වන්නේ සම්මාන සහ සහතික පත් ලබන ඡායාරූපවලට අමතරව ප‍්‍රදර්ශිත මට්ටමේ ඡායාරූප රසිකයන්ට දැක ගැනීමට සැලැස්වීමයි. එමගින් ඡායාරූප කලාව පිළිබඳ උනන්දුවක් දක්වන අයට නිර්මාණ රස විඳීමට ඇති අවස්ථාව අහිමි කර ඇති අතරම, තරගය සඳහා තම ඡායාරූප ඉදිරිපත් කළ නිර්මාණකරුවන්ට එම ඡායාරූපයෙහි ප‍්‍රමිතියක් හො දුර්වලකම්ද ඇත්නම් ඒවා මොනවාදැයි හඳුනා ගැනීමටද අවස්ථාවක් නොදීම බලවත් අසාධාරණයකි. ආධුනික, ශිෂ්‍ය ඡායාරූප ශිල්පීන්ට තම නිර්මාණ ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කළ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අඩුම වශයෙන් ඔවුන්ට රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා තම ඡායාරූපය ප‍්‍රදර්ශන මට්ටමට හෝ තෝරා ගත්තේ නැත්තේ මන්දැයි දැනගැනීමට ඇති අවස්ථාව ද අහිමි කර ඇත. අඩුම වශයෙන් අන්තර්ජාලය ඔස්සේ වත් නිර්මාණ දැකගැනීමට නිර්මාණකරුවන්ට මෙන්ම ඡායාරූප රසවිඳින්නන්ට අවස්ථාව සලසා දීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙන්ම රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ වගකීමකි.

මෙවන් උළෙලක විනිශ්චය කිසිත් විනිවිදභාවයකින් නොතිබීම තුළ ඉස්මතු වන්නේ කටකතා හා සැකසංකාවන්ය. පුවත්පත් ප‍්‍රවෘත්ති ඡායාරූප ක්ෂේත‍්‍රයේ ඉහළින්ම සිටින පුවත්පත් ඡායාරූප ශිල්පීන් ගණනාවක්ම ප‍්‍රවෘත්ති ඡායාරූප තරගය සඳහා තම නිර්මාණ ඉදිරිපත්පත් කර තිබූ බව අප දන්නා කරුණකි. එහෙත් එම තරග ඉසව්වට එක දෙක තුන සම්මාන නැත. සහතික පත‍්‍ර ලබා දුන් ඡායාරූප කිහිපයකි. ඒ අතරින් ලංකාදීප පුවත්පතේ සේවය කරන ලහිරු හර්ෂණ ඉදිරිපත් කළ ඡායාරූපය කැපී පෙනෙන සුවිශේෂතා ඇති ඡායාරූපයකි. ඊට සහතිකයක් පමණක් දී පළමුතැන නොදෙන්නට විනිශ්චය මණ්ඩලය සලකා බැලූ නිර්ණායක කවරේද. උත්තර දීමටයුතු ය. එම ඡායාරූපය පළමු තැන ගැනීමට සුදුසු නොවන්නේ එය සතු ‘‘අප නොදකින – විනිශ්චය මණ්ඩලය දකින දුර්වලතා’’ නිසාද එසේත් නැත්නම් ලහිරු, ඉන්ද්‍රනාථ තේරනුවරගේ ගෝලයකු වීම නිසාද කියා දැන ගන්නට අපටත් අයිතියක් ඇත. සමහර ගුරුකුලවලට කපන කොටන සමහරු සමහර ගුරුකුලවලට වන්දනාමාන කරන අයුරු අපි මේ ක්ෂේත‍්‍රය තුළ ඕනෑ තරම් දැක තිබේ.

හොඳම ක‍්‍රීඩා පින්තූරයක් යැයි විනිශ්චයට ලක් වූ, ඉහත සඳහන් වැල්ලේ කඩුළු මතින් පනින ඡායාරූපය බලන්න. එය සැබෑ ක‍්‍රීඩා ඉසව්වකින් ලබාගත් ක‍්‍රීඩා ඡායාරූපයක් නොව, ඩිජිටල් නිර්මාණයක් බව බැලූ බැල්මට පෙනේ. එතනදී ජාත්‍යන්තර ප‍්‍රමිතීන් හා පිළිගත් නිර්ණායකයන් අමතක වූයේ කිම.

රාජ්‍ය මුදල් මිලියන ගණනාවක් වැය කරමින් ඡායාරූප කලාව වෙනුවෙන් සිදුකරන එකම රාජ්‍ය මැදිහත්වීම වන රාජ්‍ය ඡායාරූප උළෙල වඩාත් විනිවිදභාවයකින් සහ නිවරදිව සිදුකිරීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙන්ම රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ වගකීම නොවන්නේද? මෙම සියලූ කටයුතු සඳහා නායකත්වය දුන් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරිය හා රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සාමාජිකයන් මෙම ප‍්‍රශ්නගත තත්ත්වයන්ට වගකිව යුතු නොවන්නේ ද? අප රජයේ නිලධාරිණියගෙන් කෙසේ වුවත් ස්වාධීන ඡායාරූප ශිල්පීන්ගෙන් හා වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් රාජ්‍ය ඡායාරූපය ඡායාරූප උපදේශක සභාවේ ප‍්‍රතිචාරය කෙසේදැයි බලාපොරොත්තු වන්නෙමු.

සන්තුස සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment