නිර්මාණයට අනන්‍ය සරසවියක් හෝ නමක් නෑ!

139

මහාචාර්ය ආරියරත්න ඇතුගල

මහැදුරු ආරියරත්න ඇතුගලගේ “සහෝ” සිනමාපටය එළැඹෙන අප්‍රේල් 07 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ වේ. “සරසවි සිනමා නිර්මාණ” ගැන උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයන්ට ඉතා දිගු කාලයකට පසුව ඒ අත්දැකීම විඳීමේ අවකාශ උදා වී තිබේ. 1968 වර්ෂයේ “හන්තානේ කතාව” සිනමාපටය නිර්මාණය වූ පසුව “සරසවිය” තේමා කරගත් බොහෝ සිනමාපට නිපදවිණි. ඉන් බොහෝමයක් සරසවි නවකතා (college norvels) ඇසුරින් තැනුණු සිනමාපට වේ. එහෙත් මහැදුරු ඇතුගල (සිය කෘතියෙහි, නවකතාවේ පෙරවදනෙහි ද සඳහන් කර ඇති පරිදි) නවකතාවට පෙර ලියා ඇත්තේ සිනමාපටයේ තිර නාටකයයි. ඉන් අනතුරුව එය නවකතාවක් ලෙසත් තිරනාටකය සිනමාපටයක් ලෙසත් නිර්මාණය වී තිබේ.

“සහෝ” නිර්මාණය වන්නේ සරසවිය තුළ ‘බොහෝ දෑ’ සිදුවන අවධියකය. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති මහැදුරු ආරියරත්න ඇතුගල මේ කියන බොහෝ දේ සිය නිර්මාණය තුළ ගොනු කරන්නේ කෘතිමව නොවන බව අපට විශ්වාසය. අරගලයකට, නවක වධයකට එහා ගිය බොහෝ දේ ‘සහෝ’ සිනමාපටයට හසුවන්නේ එහෙයිනි. මහැදුරු ආරියරත්න ඇතුගලයන් කියන්නේ ඒ ගැනය.

සහෝ නවකතාව බටහිර රටවල සරසවි නවකතා (college norvels) එහෙමත් නැතිනම් ඇකඩමික (academic) ශානරයට අයත් කෘතියක් හැටියට සැලකුවොත්, ඔබ සහෝ චිත්‍රපටය හඳුන්වන්නේ කුමන ශානරයට අයත් නිර්මාණයක් හැටියටද?

සරසවි නවකතා කියන ශානරයට තමයි අයත් වෙන්නේ. (මම කැමතියි ශානර වෙනුවට ප්‍රවර්ග කියලා භාවිත කරන්න) කැම්පස් (Campus Novel) කියන්නෙත් ඒකට. ලෝකයේ සරසවි නවකතා කියන ශානරයේ හාස්‍යජනක හා ශාස්ත්‍රීය විකාරරූපී බව ඉස්මතු කරන්නේ. එම නවකතා කේන්ද්‍රගත වෙන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිත වටා. කැම්පස් නවකතාව විශ්වවිද්‍යාල ගතිකත්වය ගවේෂණය කරයි. විශ්වවිද්‍යාල සිසුන් තම ජීවිතයේ නොසැලකිලිමත් ක්‍රියාවන්හි යෙදීම සහ ශාස්ත්‍රාලය ඉතා කුඩා දේවලින් බිඳ වැටීම වැනි කතා මෙම කතාවල දැක්වෙනවා. නවකතා සාහිත්‍ය වර්ණාවලියේ විශ්වවිද්‍යාල ප්‍රබන්ධවලින් අපට නව ආශීර්වාදයක් ලැබිය හැකි බව මගේ විශ්වාසයයි.

ඒත් මම කැමති නෑ නවකතාව පටු සීමාවල ශානරවලට කොටු කරනවට. එතකොට වර්ගවාදී වෙනවා. සරසවියත් මේ සමාජයේම නිර්මිතයක්. විශ්වවිද්‍යාල ජීවිතය නාට්‍යමය ගුණයෙන් පිරිලා තියෙන තැනක්. මොකද එහෙම වුණොත් පාසල්, පල්ලි, කඩ සාප්පු, උසාවිවලටත් නවකතා ශානර හැදෙන්න පුළුවන්. සාහිත්‍යයේ භූ දර්ශනය තුළ ප්‍රධාන ශානර හතරක් දකින්නට ලැබෙනවා. ඒ කවි, නාට්‍ය, ප්‍රබන්ධ සහ නිර්මාණාත්මක ප්‍රබන්ධ වශයෙන්. ජනප්‍රිය සාහිත්‍ය ශානර ලෙස දකින්න ලැබෙන්නේ අභිරහස්, ත්‍රාසජනක, භීෂණ, ඓතිහාසික, විද්‍යා ප්‍රබන්ධ, ඉන්ද්‍රජාලික යථාර්ථවාදය, සමකාලීන යථාර්ථවාදී, රොමැන්ස් වගේ දේවල්. පාඨකයන් කියවීමට නවකතා සොයන විට, බොහෝ දෙනෙක් තමන් කැමති කියවීමේ වේදිකාවේ ශානර අනුව පොත් තෝරා ගන්නේ. පශ්චාත් – එළිදරව්, නිර්ධන පංතිය, මනෝවිද්‍යාත්මක, යුද්ධය හා තරුණ වැඩිහිටි වැනි නව ශානරත් තියෙනවා.

අනික් අතට සරසවි ශානරය කියන එක මෙරට ව්‍යාප්ත විෂය කොටසක් නෙවෙයි. මෙවැනි පොත් ලියවෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඉතින් ශානරයකට කොටු කරපුහම මෙවන් පොත් නොසලකා හරින්නත් ඉඩ තියෙනවා. මේ නවකතාවෙන් සරසවිය හරහා සමස්ත තාරුණ්‍යය නියෝජනය වෙනවා.

‘සරසවි සිනමාව’ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ සුගතපාල සෙනරත් යාපා, ඒ ‘හන්තාන කතාව’ සිනමාපටයෙන්. ඉන් පසුව එම ශානරයේ සිනමාපට බොහොමයක් නිර්මාණය වුණත්, ඒවා ඒ තරම් ප්‍රේක්ෂක අවධානය දිනාගත් බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. සහෝ මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද?

අපේ රටේ සිනමාවේ සරසවි සම්බන්ධ චිත්‍රපට කීපයක් තියෙනවා. ධර්මසේන පතිරාජගේ අහස්ගව්ව උසස් ප්‍රවේශයක්. දියමන්ති, වල්මත්වූවෝ වගේ චිත්‍රපටවලටත් සරසවි කතා සම්බන්ධයි. වල්මත්වී හසරක් නොදුටිමි, බුමුතුරුණු වගේ නවකතාවලත් සරසවි ජීවිතය ගැන කියවෙනවා. මගේ අදහස ඒවායින් බොහොමයක් සරසවිවල මතුපිට ජනප්‍රිය කතා ගැන කියවෙන්නේ. ගමෙන් නගරයට එන දුප්පත් ළමයෙක් ගැන, දුප්පත් කොල්ලෙක් පොහොසත් වංශවත් කෙල්ලෙක් එක්ක යාළු වුණාම ඇතිවන ගැටලු, නවකවධය ඔය වගේ දේවල්. හුඟක් සරසවි චිත්‍රපටවල විශ්වවිද්‍යාලයක් නම් ඒ පේරාදෙණිය තමා. බොහෝ විද්‍යාල චිත්‍රපටවල විද්‍යාලීය ජීවිතයේ ශාස්ත්‍රීය පැත්ත පසුබිමේ ඇති අතර, The Paper Chase එවැනි චිත්‍රපටයක් ඊට හාත්පසින්ම වෙනස් වේ.

නිර්මාණයට අනන්‍ය සරසවියක් හෝ නමක් නෑ!

මම සම්මත රාමුවෙන් පිට පැනලා හිතලා සහෝ කරන්නේ. සහෝ කතාවට අනන්‍ය සරසවියක් හෝ නමක් නෑ. ගොතා රසකර කියන්න පුළුවන් කතාවක් සහෝ හි නැහැ. අවස්ථා සමුදායක් හා සම්බන්ධතා සමුදායක් තියෙන්නේ. නිල චරිත නැහැ. මම සරසවි තාරුණ්‍යයයේ අධ්‍යාත්මය හසුකර ගන්න උත්සාහ කරන්නේ. මේ සමාජ දේශපාලනය විසින් නිර්මාණය කරන තරුණයා සහෝවල ඉන්නේ. සංස්කෘතික ප්‍රශ්නවලට සංවේදීව ඔවුන්ගේ මාංශ පේශි නළියනවා. ආණ්ඩු කියන අදිසි බලය විසින් ඔවුන්ගේ මනස ඝාතනය කර ඇති බව ඔවුන්ට වැටහෙනවා. මෙහෙම වටපිටාවක ඉන්න තාරුණ්‍යයක් ගැන මම කතා කරන්නේ.

සරසවිය කියන්නේ අත්හදා බැලීම්වලට උණුසුම් යහනක්. සරසවිය විනෝද ක්‍රීඩාගාරයක් නොවේ. එහිදී යෞවනයින් නව උත්සාහයන් දරයි. ඔවුන් භුක්ති විඳින දේ සහ ඔවුන්ට අවශ්‍ය දේ ගැන සිතයි. ආශාවන් හඹාගෙන යන්නේ කොයි දෙසකටද? ඔවුන් ආකර්ෂණය වන්නේ කුමකටද? ඔවුන් කුමන ආකාරයේ ජීවන රටාවකට යොමු වීමට කැමතිද? යනාදිය අපට දකින්න පුළුවන්. විශ්වවිද්‍යාල ජීවිතය පෙන්වන චිත්‍රපට අත්හදා බැලීම් පැත්ත කෙරෙහි අවධානය යොමු කරයි.

සරසවි සිනමාපටයන්හි උප ශානරයක් වන ‘යොවුන් රොමැන්තික මෙලොඩ්‍රාමා’ (teenage romance and melodrama) සිනමා නිර්මාණයන්හි ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කළ හැකි, ගීත සහ පසුබිම් සංගීතය ප්‍රබල ලෙස යොදාගන්නවා. සහෝ සිනමාපටයත් මේ ‘සංගීතමය උපක්‍රමය’ භාවිත කරන බව කීවොත් එකඟද?

එකඟයි. මම මෙම චිත්‍රපටය තියන්නේ ජනප්‍රිය හා සම්භාව්‍ය යන දෙක අතරවත් මැද මාවතේ වත් නෙවෙයි. විකල්ප ඉවුරක. ඒකට වම් ඉවුර කියලා කියන්නත් බෑ. එක්තරා විසංයෝජනයක යෙදෙන්නේ. එතැනදී මම රොමැන්තික බව ගන්නේ තාරුණ්‍ය තුළ ස්වභාවයෙන්ම පවත්නා ගුණයක් විදියට. ඔවුන් ගීත ගයන්න කැමතියි. ආදරය කරන්න කැමතියි. ඒ අනුව නිරායාසයෙන්ම චිත්‍රපටයට රොමැන්තික බව ඉල්ලා සිටිනවා. මම ඒක බලෙන් එල්ලන්න ගියේ නෑ. ඔවුන්ගේ ගීතය රොමැන්තිකව ජීවිතය ප්‍රශ්න කරනවා. ‘සොයන ජීවිතය සිහිනයක්. (ලබා ගන්න බෑ) විඳින ජීවිතය රහසක්. (රහසින් තමා ජීවිතය විඳින්නේ) තවත් ගීතයක මෙහෙම කියනවා. “පුරවර උමතු මාලිගා, ලිගු පෙළ බලන් යාළුවේ, අමු සොහොන් බිමෙන් මෝදුව අහස උසට නැගෙනා’ කියලා. මේ රොමැන්තිකයේ විසංයෝජනයක්.

භාවාතීෂය කියන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රබල චිත්තවේගීය ප්‍රතිචාර ලබා ගැනීම සඳහා සිදුවීම්, කථා වස්තුව සහ චරිත සංවේදී කරන ලද නාට්‍යමය ලක්‍ෂණයක්. භාවාතීෂය චරිතවලට බොහෝ විට ලබා දෙන ඒකාකෘතික භූමිකාවන් මගේ සිනමාපටයේ නැහැ. එය විවිධත්වයෙන් යුක්තයි. එසේම භාවාතීෂය කතන්දරවලින් බිය, කෝපය, කාංසාව, ආතතිය / සැකය, ප්‍රශංසාව, ප්‍රීතිය යනාදිය ඇති කරයි.

අනෙක භාවාතීෂය (මෙලොඩ්‍රාමා) ගතියත් තරුණ ජීවිතවල තියෙන එකක්. සංවේදීතාව ඔවුන්ගේ අදහස් හා හැඟීම් සමග වෙන් කරන්න බැරි තරමට අවියෝජනීයව පවතිනවා. නමුත් මම එහෙම මතුපිට ලක්ෂණයෙන් භාවාතීෂය ගතිය භාවිත කරන්නේ නෑ. එහෙම වෙන්න බලපාන හේතු ඇතිවෙන්නේ සමාජ දේශපාලනයට අනුව. කොහොමත් තාරුණ්‍යයට කතා කරන්න මේ ගුණයන් ඕන. මේවා පහත් විදියට හමුවෙන්නේ භාවිත කරන ආකාරයන්ට අනුව. ජීවිතයේ ගැඹුරු හැඟීම් රොමැන්තික භාවාතීෂය ගුණයන්ගෙන් වෙන් කරලා ගන්න බෑ.

චිත්‍රපටය පමණක් නොවෙයි, නවකතාව පවා විමසිල්ලෙන් බලන කෙනෙකුට පෙනෙන කාරණයක් තමයි ඉතා දීර්ඝ නිරීක්ෂණයන් ඔස්සේ නිර්මාණය ගොඩනගා ඇති බව. සමහර තැන්වල ඇතුගල චරිතයේ නොස්ටැල්ජියාවක් (Nostalgia) පෙනෙන්නත් තිබෙනවා…

ඔබ නිවැරදියි. අපි හැමෝටම යම් යම් දේවලට නොස්ටල්ජියාව යම් යම් පමණට තියෙනවා. ඒක වැඩි උනාම අසනීපයක් බවට පත් වෙනවා. නොස්ටැල්ජියා කියන්නේ එදිනෙදා මතකය පමණක් නොවේ. එය සංකීර්ණ චිත්තවේගයක්. එනම් ගෙවී ගිය කාලය සඳහා ඇතිවන අමිහිරි ආශාවක්. අප අපහසුතාවයට පත් වූ විට, අතීතයට කිමිදීමෙන් හොඳ හැඟීමක් ඇති කර ගන්නවා. නමුත් ඒක රෝගයක්.

ඒ බව නොදැන අපි එහිම නියැළෙනවා. නොස්ටැල්ජියාව මානසික අවපීඩනය ඇති කළ හැකි බව විශ්වාස කරනවා. තනිකම, කම්මැලිකම සහ කාංසාව වැනි නිෂේධාත්මක හැඟීම්වලට එරෙහිව නොස්ටැල්ජියාවට ක්‍රියාකරනවා.

සාමාන්‍ය පුද්ගලයකුට සතියකට කිහිප වතාවක් විකාර සහගත හැඟීමක් දැනෙන්න පුළුවන්. හුඟක් වෙලාවට එහෙම වෙන්නේ අපේ වගේ සමාජ ක්‍රමයේ ලොකු වැරැද්දක් ඇති රටවල අයට. සහෝ චිත්‍රපටයේ එන තරු, රතු, සඳු හා හිරු කියන මේ අයත් එහෙමයි. නොස්ටැල්ජියාව මත ඔවුන්ගේ යාළු මිත්‍රකම් පෝෂණය කරනවා. එකිනෙකාට සොඳුරු මතකයන් මතක් කර දෙන විට එය ඔවුන් අතර ඇති බැඳීම් ශක්තිමත් කරනවා. ජීවිතයේ නව අරුතක් සොයා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා. ප්‍රේමණීය මතකයක් අමතන විට, ඒ සඳහා ලොකු ආශාවක් ඇති විය හැකියි. එම මතකය තමා අර්ථවත් ජීවිතයක් ගත කළ වටිනා කෙනෙකු බව සහතික කරනවා. අතීතය වර්තමානය සමඟ සම්බන්ධ කිරීමෙන් තමා කවුරුන්ද යන්න නිතර මතක් කර දෙයි. ඉතින් සහෝ චිත්‍රපටියේ චරිතවලටත් මටත් වගේම තාරුණ්‍යයටත් නොස්ටැල්ජියාව විවිධ විධියට තියෙනවා.

සහෝ සිනමාපටයේ ඔබ රූප මාධ්‍ය ගැන දැඩිව විශ්වාසය තබා කටයුතු කරනවා…

ඒ ගැන මට තියෙන අත්දැකීම තරමක් වෙනස් කියලා මම හිතනවා. මගේ රූපමය විඥානය ඉන්ද්‍රියමය වශයෙන් බලවත් බව මට දැනෙන්නේ. මම දේශනයක් අහනවට වඩා රූප මගින් කියවීමට කැමතියි. මම සහෝ කරන්න යන්නේ දාර්ශනික පදනමකින් රූප ගැනීමේ වුවමනාවෙන්. නමුත් මට රූගත කිරීමේ පරිසරය ඒකට හරස් වෙනවා. හුඟක් කාලය අරගෙන රූප සකස් කරලා වැඩ කරන සම්ප්‍රදාය අපේ රටේ දියුණු වෙලා නෑ. හැමෝම මේ විකාර ටෙලි කතා කර්මාන්තය තුළ හෙම්බත්වෙලා ‘තිබ්බ ගැහුවා’ මනසින් වැඩ කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඔවුන් හිතන්නේ ඉක්මනින් ඉවර කරන එක ජයග්‍රහණයක් කියලා. මොකද වියදම අඩුවන හින්දා. ඉන් කෘතියට වෙන හානිය ගැන අවබෝධයක් නෑ.

නිර්මාණයට අනන්‍ය සරසවියක් හෝ නමක් නෑ!

ලංකාවේ රූප රචනයට තාක්ෂණික පහසුකම් ගන්නත් ලේසි නෑ. අධික වියදම්. අපේ රංගනය ගත්තත් දෙබස් ටික කියලා ඉවර කරන රංගනයක් තියෙන්නේ. රංගනයේ දී හැඟීම් දැනීම් මතු කිරීමට පුහුණුවක් නෑ. ඉතින් නිර්මාණකරුවෙකුගේ රූප භාවිතය මෙරට කර්මාන්ත පසුබිමත් එක්කයි හැදෙන්නේ. මේ පසුබිමේ මම රූපය හා සංවාදය දාර්ශනික තලයක තියන්න උත්සාහ කළා. හුඟක් අය රූප මගින් සරල කතාවක් ගොතා ගන්න උත්සාහ කරනවා. රූපයෙන් හිතන්න දෙන එකට අපි පුරුදු නෑ. රූප තේරුම් ගන්නත් රූප කියවීමේ සංජානනයක් තියෙන්න ඕන. ටෙලි කතාවලින් රූපයට වඩා ශබ්දයට මුල් තැනක් දීලා අපේ ප්‍රේක්ෂකයෝ ඒවාට හුරු වෙලා ඉන්නේ. මගේ පළමු සංස්කරණය ජාත්‍යන්තර සිනමා උලෙළවලදී සම්මාන ගත්තත් ලංකාවේදී ‘කෙටිකළොත් හොඳයි’ කියලා නිෂ්පාදකවරු කියනවා. ඇදෙනවා කියලා. මේකට හේතුවත් කෙටි කාලයකින් කතාවක් බලන්න තියෙන වුවමනාව. සිනමා භාෂාව ගැන බොහෝ අයට අවබෝධයක් නැහැ. ඒ නිසා රූපය පිළිබඳව මම ඉන්නේ වික්ෂිප්තයක.

අතීතයේ සිදුවූ දෑ වර්තමානය තුළ පිහිටුවන තීරණාත්මක ආඛ්‍යාන කාර්යයක් අපට සිනමාපටයේ දකින්නට ලැබෙනවා….

මෙරට සරසවි තරුණ ආධ්‍යාත්මය කියන්නේ 50 දශකයේ ඉඳලා වැඩෙන විඥාන ප්‍රවාහයක්. සිංහල හා දෙමළ භාෂාවලින් ඉගෙන ගන්න ගමෙන් නගරයට එන තරුණ පරම්පරාවක් ඇති වෙනවා. ඔවුන් සමාජ පරිපාලන හා අධ්‍යාපන ස්ථරවල ව්‍යාප්ත වුණාට පස්සෙ සමාජය වෙනස් වෙනවා. ඒ අතර සමාජ දේශපාලනික අරගලය සරසවිවලට කාන්දු වෙනවා. වීරසූරියගේ සිට තරුණ ඝාතන ඉතිහාසයක් ගොඩනැගෙනවා. මේ ඉතිහාසය ඇතුළේ තමා වර්තමාන සරසවි තරුණයාගේ චින්තන ධාරාව සකස් වෙන්නෙත්. මේ අධ්‍යාත්මික කතාව තමා මගේ සහෝ චිත්‍රපටයට ප්‍රස්තුත වන්නේ. ඒ හින්දා අතීතය මේ වර්තමානයෙන් වෙන් කරන්න බෑ. ඒ හින්දා වර්තමානයෙන් අතීතය වෙන් කරන්නත් බෑ. මේ දෙක එකක්. කොහොමත් අතීතය තියන්න පුළුවන් හොඳම තැන වර්තමානයයි කියන දාර්ශනික අදහසත් මෙය සනාථ කරනවා.

ඉතිහාසය අපගේ අත්දැකීම් සහ අපගේ ජීවිත පිළිබඳ අවබෝධය පොහොසත් කරයි. ඉතිහාසය සෑම තැනකම දැකීමට ඉගෙන ගත යුතුය. ඉතිහාසය වර්තමානය ප්‍රශ්න කරයි. ඇයි අපේ රජයන් මේ විදියට වැඩ කරන්නේ? අපි කන දේ කන්නේ, නොකන දේ නොකන්නේ ඇයි? අපි අන්තර්ජාලයේ කියවන හෝ පාරෙ දුටු දෙයක් තේරුම් ගැනීමට උත්සාහ කළත්, ඉතිහාසය අතීතය හා වර්තමානයට සම්බන්ධ වෙනවා. පොල් ගස පොල් ගසක් කියලා තේරුම් ගන්නේ ඓතිහාසික අවබෝධයකින්. ඉතිහාසය අපගේ ලෝකය සහ අපව ඇති වූ ආකාරය තේරුම් ගැනීමට අපට උපකාර කරයි. අපි ඓතිහාසිකව ලෝකය දෙස බලන විට, වර්තමානය පිළිබඳ නව අවබෝධයක් සඳහා අප විවෘත වන අතර, අපට අවට ලෝකය ජීවමාන වේ. එය ප්‍රශ්නවලින් පිරී ඇත.

ඉතිහාසය කියන්නේ පුළුල් ලිබරල් කලා අධ්‍යාපනයක කොටසක්. ඉතිහාසය ඉගෙනීම ද අපගේ අයිතිවාසිකම පිළිබඳ හැඟීම දිරිමත් කරයි. අපි අපේ ආර්ථික තත්ත්වයන්, අපේ වාර්ගික පසුබිම සහ අපේ ලිංගභේදය අනුව හැඩගැසෙනවා. අපි අපේම විශ්වාසයන් සහ පිළිවෙත් පිළිබඳව අවබෝධයක්, අගය කිරීමක් ඇති කර ගන්නෙත් එහෙම. වර්තමානය විවේචනය කිරීමට ඓතිහාසික දැනුම අවශ්‍යයි. අපට පෙර සිටි අයගෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත.

අද අප මුහුණ දෙන වැදගත්ම ප්‍රශ්නවලට ඉතිහාසය ආලෝකය සපයයි. අපගේ අනන්‍යතා සහ අපගේ අභිලාෂයන් සඳහා අප ණයගැති වන්නේ ඉතිහාසයට බැවින් එය වෙනත් ආකාරයකින් කියවිය යුතුව ද ඇත. ඉතිහාසය අපව දුර බැහැර තැන්වලට ද රැගෙන යන්නේ අපගේ පරිකල්පනයන් සරු කරමිනි.

අතීතයේ අපූර්වත්වය අපට ආපසු ගොස් අපගේ සමාජය සහ අප දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීමට හැකියාව ලබා දෙයි. මේ අනුව අපි ඉතිහාසය අධ්‍යයනය කරන්නේ සමකාලීනව වර්තමානය තුළ ස්ථානගත වීමට සහ එයින් දුරස් වීමට ය.

ඉතිහාසය අධ්‍යයනය කිරීම අපගේ ලෝකය වඩාත් රසවත් කරයි. ගස් හෝ පරිසර පද්ධති පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව වනාන්තරයක් හරහා ගමන් කළ හැකි සේම කෙනෙකුට ලෝකය හරහා ගොස් මතුපිටින් එය අත්විඳිය හැකිය. අපගේ ලෝකය ඉතිහාසය විසින් නිර්මාණය කර ඇති නිසාත්, අතීතය පිළිබඳ දැනුම වර්තමානය පිළිබඳ නව දෘෂ්ටිකෝණයන් ලබා දෙන නිසාත්, ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් අපගේ සහ අන් අයගේ ජීවිත පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දේ. මට එය හඹා යෑමට බලපාපු හේතු මේවායි.

● උදේශ සංජීව ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment