නිර්මාණ සමුදායක සැඟව ගිය වත්කම…

460

ගුවන්විදුලි ගීතයෙන් චිත්‍රපට ගීත රචනයට පිවිසි ආචාර්ය අජන්තා රණසිංහ තුන් පරපුරක ගායන ශිල්පි ශිල්පිනියන් සඳහා තුන් පරපුරක සංගීතවේදීන්ගේ සංගීත නිර්මාණානුකූලව රචනා කළ ගීත සිංහල ගීත සාහිත්‍යයේ පෝෂණයට ඉවහල් විය. වර්ෂයේ විශිෂ්ඨ ගීත රචකයා වශයෙන් දෙවරක් ජනාධිපති සම්මානයෙන්ද, තෙවරක් සරසවි සම්මානයෙන්ද උපහාර ලද අජන්තා රණසිංහ ඕ. සී. අයි. සී. ප්‍රණාම සම්මානයෙන්, කුමරතුංගු සමරු සම්මානයෙන්, පේරාදෙණි විශ්වවිද්‍යාලයීය කලා ශිෂ්‍ය සංගමය සහ එම සාහිත්‍ය සංගමය වෙතින් පිරිනැමෙන ප්‍රණාම සම්මානයෙන්ද උපහාර ලබා ඇත.

සත්කෝරළයේ කටුගම්පල හත්පත්තුවේ තලම්මැහැර නම් සුන්දර ගම්මානයෙහි උපත ලත් ආචාර්ය අජන්තා රණසිංහ එම ගම් ප්‍රදේශයෙහි රජයේ මිශ්‍ර පාඨශාලාවෙහි මූලික අධ්‍යාපනය ලබා නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. ඔහු වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙකි. ඉන්දියාව, පිලිපීනය, ජපානය, මලයාසියාව, නේපාලය, තායිලන්තය වැනි දේශයන්හි විවිධ වර්ෂයන්හි පැවැති ජනසන්නිවේදන සම්මන්ත්‍රණවලදී ශ්‍රී ලංකාව ඔහු විසින් නියෝජනය කෙරිණි. ශ්‍රාවක පාඨක ප්‍රසාදයට පාත්‍රවූ නවකතා, කෙටිකතා පද්‍ය සහ ගීත එකතු කිහිපයක් පළකර ඇති ඔහුගේ සාහිත්‍ය මෙහෙවර අගයමින් 1995 වර්ෂයේදී ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලය මගින් නවදිල්ලි නගරයේදී ඔහුට ආචාර්ය උපාධිය පිරිනැමිණ.

සිංහල ගීතාවලියෙහි අජන්තා රණසිංහ තරම් විවිධත්වයෙන් කතා කළ හැකි වෙනත් ගී පද රචකයකු නොමැති තරම්ය. එපමණට ආචාර්ය අජන්තා රණසිංහගේ ගී පද විවිධය. විචිත්‍රය. ළමා ගීතයෙන් ඇරැඹි ඔහුගේ රචනා කෞෂල්‍යය සෑම ගී පද වැලකම වාගේ සැඟවී තිබේ. ඔහු ලියූ සෑම ගීතයක්ම විවිධත්වයෙන් අර්ථ නිරූපනය කළ හැක. සුභාවිත ගීතයෙහි මෙන්ම ජනප්‍රිය තලයේ ගීතයන්හි සැඟවී ඇති ඔහුගේ වාග් කෞෂල්‍ය විශිෂ්ට ය. ‘සංගීත මඬලේ ප්‍රතිරාව නැංවූ’ වැනි අතිශය විසල් වාග් කෝෂයක ගී පද රචනා මෙන් “රෑ දුරු රට මේ” ගීතය වැනි සංක්‍ෂිප්ත පද රචනා අජන්තාගේ ගී පද ලිවීමේ අපූරු හැකියාව පෙන්නුම් කරයි.

සිංහල බුදු ගුණ ගීතාවලියෙහි ප්‍රශස්තම ගීත ද්විත්වයක් ලියැවී ඇත්තේ ඔහු අතිනි.

ජගදානන්දන මහා කාරුණික
සිරසා වන්දන සීල ගුණෝපිත
අනුපමේය වූ එවන් නාමයට
නමස්කාර වේවා

මේ වූ කලී සාමාන්‍ය බුදුගුණ ගීත ඉක්මවා ගිය වදන් වැලකි. එහි අනිකුත් පද හරහා ගලා බසිනුයේද එවැනිම නව්‍යවූ අලංකාරයකි. අමරදේවයන්ගේ සහ සනත් නන්දසිරි යන ගායන යුවළ හමුවේ රසවත් වන උක්ත ගීතය මෙන්ම සංගීත් නිපුන් සනත් නන්දසිරි ගයන පහත ගීතය ද අජන්තාගේ නිර්මාණ වපසරියෙහි පැසුනු බව විශද කරවයි.

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම්

අජන්තාගේ ගීතාවලිය තුළ දරු නැළවිලි ගීයට හිමිවී ඇත්තේ ඉතා විශාල ඉඩක් නොවේ. එහෙත් ඔහු අතින් ලියැවී ඇති පහත නැළවිලි ගීතය සිංහල සාහිත්‍යයෙහි ඇති ශක්‍යතාවෙහි අරුමය මැනවින් ස්ඵුට කරයි.

සිරිමා බෝමැඬ මුනිඳුන් වැඩ හිඳ
දසමර සේනා දිනූ බෙලෙන්
ජය පැන් කරඬුව දෝත දරා
නිදන්න දූ කුමරී

ගීතයෙහි ඉතිරි පද පෙළ හරහා නිම්නාද වන බෞද්ධ සාහිත්‍යයෙහි රමණීය පරිසරය සැබවින්ම එම ගීතයට ලබාදී ඇති විචිත්‍රත්වය ඉමහත්ය. මෙවැනි රචනාවන් මේ ආකාරයට පෙළ ගැස්විය හැක්කේ සතත අභ්‍යාසයෙන් යුතු වූ නිර්මාණවේදියකු හට පමණි.

ප්‍රේම ගීතය වූ කලී අජන්තා අත බිහිවූ මනරම් කැටයමකි. ප්‍රේමයේ විවිධ පැතිකඩ සිය රචනයට අදාළ කොට ගන්නා අජන්තා ඒ හමුවේ රසවත් ගීත රාශියක් බිහි කරයි. ‘කල්පනා ලොව මල්වනේ – සිහින රජදහනේ ආදරේ” අබේවර්ධන බාලසූරිය විසින් ගායනා කරනු ලබන උක්ත ගීතය ප්‍රේමයේ අසිරිය මැනවින් උත්තේජනය කරනුයේ ආදරයට නවතම අරුතක් එක් කරමිනි. සංගීත් නිපුන් සනත් නන්දසිරි විසින් ගායනා කරනු ලබන “පෙමාතුර හැඟුම්” “ආදර සැමරුම් කැටිවූ” වැනි ප්‍රේම ගීත හුදු ප්‍රේමය ඉක්මවා ගිය විසල් වූ සාහිත්‍ය අවකාශයක පැතිරී පවතී. මේ වූ කලී සම්භාව්‍ය සාහිත්‍යයෙන් පෙරා ගන්නා ලද මනරම් වදන් මාලාවකි. ප්‍රේමය මෙන්ම එහි විරහව ද එකසේ සිය රචනයට පාදක කොට ගනිමින් ඒ හමුවේ බිහිකරන ලද ගීත සංඛ්‍යාව ද අති විශාලය. ඒ අතර පහත ගී කිසිදින අමතක නොවනු ඇත.

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවන්න ඇති
මේ අයුරින් අපි දවසක්දා
අතර මගදි වෙන් වන්න ඇති

ටී. එම්. ජයරත්න විසින් ගායනා කරනු ලබන මෙම ගීතය බිහිවූ දා පටන් අද දක්වා අතිශය ජනප්‍රිය තලයේ පවතින්නකි. අජන්තාගේ ගීතාවලිය තුළ පැහැදිලිව දක්නට ඇති ලක්ෂණයක් වන්නේ ද එයයි. එනම් ඒ සෑම ගීතයක්ම අතිශය ජනප්‍රියත්වයට පත්වීමය.

ආචාර්ය දයාරත්න රණතුංග ගායනා කරනු ලබන පහත ගීතය ද ඒ සඳහා දැක්විය හැකි කදිම උදාහරණයකි.

දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුණේ
දුරස්වන්නට මේ ලෙසින්
කිමද අප ඉපදුනේ

සරල පදවැල් කිහිපයක් ඇසුරෙහි උක්ත ගීතය රචනා කරන අජන්තා ඒ රූපනය කරන වාග් චිත්‍රය මනරම් ය. හදවතට ලෙන්ගතුය. සෝමතිලක ජයමහ විසින් ගායනා කරනු ලබන පහත විරහ ගීතය ද එකී ෂානරයෙහිලා අප හදවත් තුළ ලැගුම් ගන්නා ගීතයකි.

අපි ආයෙත් හමු නොවුණා නම්
ඉස්සර දවසක මිය ගිය – සෙනෙහස
යළි ඉපදී මා – හද හඬවන්නට

“විකසිත පෙම් – පොකුරු පියුම්” – එවැනි වූ තවත් සුභාවිත ගීතයකි. සම්ප්‍රදායික ජනවහරින් පෝෂණය ලබන අජන්තා රණසිංහ ඒ ඇසුරෙහි බිහිකරනු ලබන ගී නිර්මාණ ජනවහරේ ඇති සුඛනම්‍ය බව මොනවට පැහැදිලි කරයි.

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගෙයි ගම්මානේ….

මේ ගීතය ද එදා මෙන්ම අදටත් ජනප්‍රිය ගීතයකි.

නිල් වන ලන්දේ – මල් මකරන්දේ
අසිරි හිමව් පෙත හොබ වටිනා…
ගීතය ද එවැනිම ආකාරයෙන් ජනවහරින් පෝෂණය වී ඇති ගීතයකි.

රෑ හදේ හේනකින් සී පද ඇසුනයි… පණ්ඩිත් අමරදේවයන් හා නිරංජලා සරෝජනී ගයන උක්ත ගීතයද තවත් එවැනිම වටපිටාවක බිහිවන්නකි.

‘තරු අරුන්දතී’ ගීතය ද සවනට ප්‍රිය වාග් මාලාවකින් යුක්තව ඇත.

මව් ගුණ ගීතයෙහිලා අජන්තාගේ දායකත්වය ද සම්ප්‍රදායික මව් ගුණ ගීතය ඉක්මවා යෑමකි.

නිර්මාණ සමුදායක සැඟව ගිය වත්කම…

‘බිලිඳු මුවින් මව් දෙනෙත උරා බිව් කිරි සයුරට කලගුණ පීදුනේයා’ ටී. එම්. ජයරත්න හා කමලානි පෙරේරා ගයන මෙම ගීතය සංගීතවත් කොට ඇත්තේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය. කේමදාසයන් හා අජන්තා රණසිංහ අතර ඇත්තේ සුවිශේෂ සම්බන්ධයකි. අජන්තා චිත්‍රපට ගීත ලිවීම ආරම්භ කරනුයේ කේමදාසයන් සංගීතවත් කරනු ලබන ‘වාසනා’ චිත්‍රපටය සමඟිනි. එකී චිත්‍රපටයෙහි එන “පොකුරු පොකුරු මල්” ගීතය සමඟින් ඇරැඹෙන එම සුසංයෝගය දශක කිහිපයක් පුරා විහිදී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස ‘දේදුන්නෙන් එන සමනලුනේ’ ‘හඳ හාවුන් හදේ” “මාල ගිරා ගෙල ‘හීන් සැරේ ඔබ ආවා” “සුදු රෝස මලින්” වැනි විචිත්‍රවූ චිත්‍රපට ගීත රාශියක් ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහිවේ. සරත් දසනායක හා අජන්තා රණසිංහ සුසංයෝගය ද එවැනිම වැදගත්කමකින් යුතු සම්බන්ධතාවයකි. දුහුළු මලක් චිත්‍රපටිය වෙනුවෙන් ඔවුන් දෙදෙනාගේ එකතුවෙන් බිහිවන “බොඳ මීදුම් කඳුරැල්ලේ” “රන් කෙන්දෙන් බැඳ” යන ගීත එම චිත්‍රපටයට ලබාදුන් ආලෝකය ඉතා විශාලය. එයට අමතරව “ඈතින් ඈතට” චිත්‍රපටය වෙනුවෙන් ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහිවෙන “බෝධියේ විහාරයේ” ගීතය චිත්‍රපටයක හමුවන තවත් රසාලිප්ත වූ ගීතයකි. සෝමදාස ඇල්විටිගලගේ සංගීතයෙන් ඔප වැටෙන “වල්මත් වූවෝ” චිත්‍රපටය වෙනුවෙන් අජන්තා රණසිංහ විසින් රචනා කරනු ලැබූ “මලින් මලේ රොන් පොපියන රඟන බඹර ජීවිතේ” ගීතය අජන්තා අත බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට ගීතයකි.

නිර්මාණ සමුදායක සැඟව ගිය වත්කම…

අජන්තාගේ සහය ලැබුණේ කලාත්මක චිත්‍රපටය සඳහා පමණක් නොව, වානිජ චිත්‍රපටය වෙනුවෙන් ද ඔහු ගේ සහය ලැබිණි. “විල්ලුද පුංචි දෙපා – කළුකර ගන්න එපා” (මමයි රජා) වැනි ගීත ඔහු අත බිහිවුණේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. අජන්තාට කලාත්මක ධාරාවේ චිත්‍රපටයකට මෙන්ම වාණිජ ධාරාවේ චිත්‍රපටයකට ද එකම අවස්ථාවක ගී පබැඳිය හැකිය. ඒ ඔහු ගේ විශිෂ්ටතම හැකියාවකි. එච්. ආර්. ජෝතිපාල හා නිරංජලා සරෝජනී විසින් ‘එක්ටැම්ගේ’ චිත්‍රපටය වෙනුවෙන් ගායනා කරනු ලබන ‘සවනේ පවනේ ආදරේ’ ගීතයද රසාලිප්ත පද මාලාවකින් යුක්තය. ‘ජනක සහ මංජු’ චිත්‍රපටයෙහි හමුවන “මේ ගී එදා ඇගේ හඬින් ගීතය ද අපට හුරු පුරුදු අජන්තාගේ තවත් පැසුණු පදවැලකි. “සප්ත කන්‍යා” චිත්‍රපටයේ ගැයෙන “සුවඳ දැනී දැනෙනවා” යන ගී පද වැලද ඔහුගේ විසල් ප්‍රතිභාවට නිදසුනක් වන අතර එයද එදා මෙන්ම අදත් ජනප්‍රිය ගීතයකි.

නිර්මාණ සමුදායක සැඟව ගිය වත්කම…

“පුංචි දවස්වල නින්දට යද්දී’ නොගැයෙන විවාහ මංගල උත්සවයක් නොමැති තරම්ය. එයට අමතරව සහෝදර ප්‍රේමය වෙනුවෙන් ඔහු විසින් රචනා කරන ලද “පාරමී දම් පුරමු අපි දෙන්නා” ගීතයද “මංගල මල්දම” “බොල්වී අහුරු” “සඳකඩපහනේ රූසිරු වරුනේ” “පෙම් රජ දහනේ” “රතුපාට මල්” “මේ මැයි ගහයට” “ගමේ කෝපිකඩේ” “ආකාසේ තාරුකා” “පිනිබර අලුයම” පමණක් නොව “බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ” වැනි ගී අජන්තාගේ ගීතාවලිය පුරා විහිද පවතී.

නිර්මාණ සමුදායක සැඟව ගිය වත්කම…

‘දස එකඩ මස්” “පෙරමන් පුරා නිබඳ” “පහන් දොරින්” “දුහුල් මීදුමේ” “ආශා නිරාශා මැවූ” එකිනෙක තලයේ එකිනෙකින් එකිනෙකට වෙනස් වූ අජන්තාගේ නිර්මාණ සමුදායේ සැඟවුණ වත්කම්ය. “රුවන් වලා විමානේ” එහිදී හමුවන තවත් රසවත් ගී පද වැළකි. ගායනයකි. විචිත්‍රවූ චිත්‍රපට ගීතයකි.

නිර්මාණ සමුදායක සැඟව ගිය වත්කම…
යුග යුග යා කළ ගීත රචක අජන්තා රණසිංහයන් විසින් රචිත ගීත සමුදාය තුළ ඔහුට ම අනන්‍ය වූ හැඩයක් විය. ගීත රචනා කලාව තුළ ආචාර්ය අජන්තා රණසිංහයන් සුවිශේෂී නිර්මාණකරුවකු වන්නේ එහෙයින්ය. ඔහු දිවියෙන් සමුගෙන වසර 07ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මාර්තු මස 02 වැනි දින ප.ව. 3.00 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ආචාර්ය අජන්තා රණසිංහ සත්වැනි ගුණ සමරුව සහ අජන්තා ගී ආවර්ජනා නමින් උත්සවයක් සහ ඔහුගේ ගී නිර්මාණ ඇතුළුත් කෘතීන් දෙකක් එළිදැක්වීමටද නියමිතය.

සුලෝචන වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment