නිරිතදිග මෝසම දිගටම සක්‍රීයයි – අධික වැසි හා සුළං ජුනි මුල දක්වාම

182

දිස්ත්‍රික්ක 20ක පනස් දහසක් පීඩාවට

කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් ගංවතුර අවදානමක්

බලපිටියෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාව පෙරළී එක් අයෙක් මරුට: අයෙක් අතුරුදන්

පවතින අධික වැසි හා සුළං තත්ත්වය ජුනි 02 වැනිදා දක්වාම අඩු – වැඩි වශයෙන් දවස පුරා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා “දිවයින”ට ඊයේ (28දා) පැවැසීය.

පවතින නිරිතදිග මෝසම් වැසි තත්ත්වය තවදුරටත් සක්‍රීය වීම මීට හේතුව බව ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවන බව ද ඒ මහතා කියා සිටියේය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද හේ කීය.

ගතවූ පැය 24 තුළ දිවයිනෙන්ම වැඩිම වර්ෂාපතනය ලක්ෂපාන ප්‍රදේශයෙන් වාර්තා වන අතර, එම ප්‍රමාණය මිලිමීටර් 87ක් බව ද හෙතෙම කියා සිටියේය. මේ අතර පසුගිය 20 වැනිදා සිට ඇදහැලෙන අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, අධික සුළං, අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 20කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 205ක පවුල් 11,792කට අයත් පුද්ගලයන් 50,000කට අධික පිරිසක් පීඩාවට පත්වී සිටිති.

ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් ගණන 08කි. සියලු මරණ සිදුවී ඇත්තේ ගස්කඩා වැටීමෙනි.

රත්නපුර, කොළඹ, කෑගල්ල, අනුරාධපුර, මහනුවර, ගාල්ල, කළුතර, යාපනය, පුත්තලම, ගම්පහ, හම්බන්තොට, බදුල්ල, මාතර, කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, නුවරඑළිය, මුලතිව්, මොණරාගල යන දිස්ත්‍රික්කවල ජනතාව පීඩාවට පත්ව සිටිති.

ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනකු තුවාල ලබා ඇති අතර පවුල් 15කට අයත් පුද්ගලයෝ 298ක් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රඳවා සිටිති.

එසේම ඥාති නිවාසවල පවුල් 206කට අයත් පුද්ගලයෝ 741ක් රැඳී සිටිති.

අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 20ක් පූර්ණ ලෙස හානියට පත්වී ඇතැයි ද නිවාස 4612ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇතැයි ද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවදුරටත් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම දිස්ත්‍රික් 7කට පනවා ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර එම දිස්ත්‍රික්ක වේ.

කළු ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැසි නිසා කළු ගඟේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ නැඟීමෙන් ගංවතුර අවදානමක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් රත්නපුර, ඇලපාත, කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් කීපයක් ජලයෙන් යට වී තිබිණි.

මේ තත්ත්වය නිසා රත්නපුර නගරය ආසන්නව සුළු ගංවතුර අවදානමක් ද මතුව තිබේ.

පෙරේදා (27දා) රාත්‍රි සිට ඊයේ (28දා) උදෑසන වනතුරුත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව මීටර් 6.5 දක්වා ඉහළ නැඟ තිබිණි. මීට අමතරව කැලණි, නිල්වලා, වලවේ, කිරිඳි ඔය, මැණික් ගඟ, මහවැලි, යාං ඔය, මා ඔය, මල්වතු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, දැදුරු ඔය යන ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව ද වාර්මාර්ග දෙපාර්තමේන්තුව කියයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවන අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවත්, එැවින් එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු ගමන් නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව කියයි.

පවතින අධික වැසි හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල – මෝල්කාව මාර්ගය ද ජලයෙන් යට වී තිබිණි.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ – මල්වාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබිණි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ අවදානම නොතකා බලපිටිය, හරස්වල ධීවර තොටුපොළෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනකු රැගත් එක්දින ධීවර යාත්‍රාවක් ඊයේ (28දා) අලුයම 5.30ට පමණ පෙරළී යෑමෙන් ධීවරයන් දෙදෙනකු මුහුදේ ගිලී අතුරුදන් වී තිබිණි.

පසුව එක් ධීවරයකුගේ සිරුර වෙරළට ගොඩගසා තිබිණි.

මෙලෙස මියගොස් තිබුණේ බලපිටිය, විජේරාම මාවතේ පදිංචිව සිටි අර්ල් නිශාන්ත ද සිල්වා (42) නමැති දෙදරු පියෙකි. ඔහු ආබාධිත සෙබළෙකි.

අතුරුදන්ව ඇත්තේ බලපිටිය, බ්‍රාහ්මන්වත්ත පදිංචි ප්‍රදීප් ද සිල්වා නමැති අයෙකි.

මේ අතර ගංවතුර හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිති. ඒ අතර බියගම – මල්වාන මාර්ගය ජලයෙන් යටවීම නිසා ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියහ.

එසේම, ගලහ – දෙල්තොට ප්‍රදේශයේ අධික මීදුම් තත්ත්වය හේතුවෙන් වාහන ගමනාගමනයට ඊයේ බාධා එල්ල වී තිබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ සමරවීර නිරෝෂණ – කහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment