නිලන්ත ජයවර්ධනට දින 14 ක් ඇතුළත නීති පියවර ගන්න පොලිස්පතිට එන්තරවාසියක්

483

සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදීත් එම තොරතුරු බුද්ධි තොරතුරු බවට පරිවර්තනය කර ගැනීම පැහැර හැර ඇති හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරි දින 14 ඇතුළත පියවර නොගතහොත් පොලිස්පතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දන්වා සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ රොහාන් සිල්වා පියතුමා විසින් පොලිස්පතිවරයා වෙත එන්තරවාසියක් යවනු ලැබීය.

ඉන්දියාවේ රහස් ඔත්තු සේවය විසින් 2019.04.04 වැනිදා ලබාදුන් එකී තොරතුර සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය බලධාරීන් වෙත යැවීම පැහැර හැරීම නිසා 267 දෙනකුට ආසන්න ප්‍රමාණයක ජීවිත අහිමි වී තවත් 400 කට ආසන්න ප්‍රමාණයක් බරපතළ තුවාල ලැබූ බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර නිලන්ත ජයවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස තමන් ඇතුළු පිරිසක් 2021.04.20 වැනිදා පොලිස්පතිවරයාට හා පොලිස් සහන මැදිරියට පැමිණිලි කළ බවත් නීතිඥ සුරේස් ඩී. පෙරේරා මහතා මගින් යොමු කළ එම එන්තරවාසිය මගින් රොහාන් සිල්වා පියතුමා පොලිස්පතිවරයාට පෙන්වා දී තිබේ.

එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධනගේ එකී ක්‍රියා කලාපය නීති විරෝධී නොකර හැරීමක් වන බැවින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 100 වගන්තියේ තුන්වන උප වගන්තිය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවත් නිලන්ත ජයවර්ධන ඔහුගේ රාජකාරි වගකීම් පැහැර හැර ඇති බවටත් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවැති නඩු විභාගයේදී ද සාක්‍ෂි අනාවරණය වී ඇතැයිද රොහාන් සිල්වා පියතුමන්ගේ උපදෙස් මත යොමු කළ එම එන්තරවාසිය මගින් නීතිඥ සුරේස් ඩී. පෙරේරා මහතා පෙන්වා දී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment