නිල් මහ සටනේදී රාජකීය විදුහලෙන් සාන්ත තෝමස් විදුහලට ප්‍රබල අභියෝගයක්!

128

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ආරම්භ වූ 144 වැනි නිල් මහ සටනේ දෙවැනි දිනය (17 වැනිදා) දිනය නිමා වනවිට කොළඹ රාජකීය ක්‍රීඩකයෝ කඩුලු 6 ක් අතැතිව ලකුණු 346 ක් ඉදිරියෙන් සිටියහ.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට වඩා ලකුණු 173 ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවන ඉනිම ඇරඹූ රාජකීය ක්‍රීඩකයෝ පන්දුවාර 26ක් තුළ දී වේගවත් ලකුණු 168ක් රැස් කර ගැනීමට (17 වැනිදා ) සමත් වූහ. කොළඹ එස්.එස්.සී. පිටියේදී පසුගිය 16 වැනිදා ආරම්භ වූ එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 328 ක් ලෙස තම මුල් ඉනිම අත්හිටුවීය.

රාජකීය විදුහලට පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් ගල්කිස්ස සාන්ත තෝමස් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 153 කට දැවී යෑමෙන් පසුව සිය දෙවන ඉනිම දියත් කළ රාජකීය විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන්ට පිටියේ සාර්ථක වන්නට තෝමස් පන්දු යවන්නන් ඉඩ නොදුන් අතර රෙහාන් පීරිස් සහ සිනෙත් ජයවර්ධන පිළිවෙළින් ලකුණු 04කට සහ එක් ලකුණකට දැවී ගියේය.

පළමු ඉනිමේ විශිෂ්ට ඉනිමක් දියත් කළ දසිස් මංචනායක ශතකයක් වාර්තා කරමින් පන්දු 150කදී ලකුණු 137ක් රැස් කළේය. දසිස්ගේ මෙම ශතකය මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ රාජකීය විද්‍යාලයේ නායකයකු 27 වසරකට පසු රැස් කළ පළමු ශතකය ලෙසින් ඉතිහාසයට එක්විය. මීට පෙර එනම් 1996 වසරේදී අනුෂ්ක පොලොන්නෝවිට රාජකීය විද්‍යාලය වෙනුවෙන් ශතකයක් රැස් කර තිබේ. රාජකීය විද්‍යාලය වෙනුවෙන් රමිරු පෙරේරා ද ශතකයක් වාර්තා කරමින් ලකුණු 128ක් රැස් කළේය. මේ අතර නිල් මහා සටන ඉතිහාසයේ 5 වැනි කඩුල්ල සඳහා වාර්තා වුණු ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 229ක සබඳතාවක් දියත් කරන්නට ද රමිරු සහ දසිස්ට හැකිවිය.

පන්දු යැවීමේදී තෝමස් විද්‍යාලයේ ආකාෂ් ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳ හෙලූ අතර කවිඳු ඩයස් කඩුලු 3ක් බිඳ හෙළීය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට ආරම්භක පිතිකරු සේනාධී බුලන්කුලම සමත් වූ අතර ඔහු ලකුණු 40ක් ලබා ගත්තේය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ අවසන් කඩුලු 4 ලකුණු 4ක් තුළ බිඳ වැටීම ඔවුන්ට ප්‍රබල පාඩුවක් වූ අතර දෙවෙනි ඉනිම ඇරඹූ රාජකීය විදුහල වෙනුවෙන් නැවත වරක් විශිෂ්ට පිති හරඹයක් දියත් කළ නායක දසිස් මංචනායක අර්ධ ශතකයක් ලබා ගත්තේය.

ලකුණු 57ක් රැස් කරගෙන සිටියදී ආකාශ් ප්‍රනාන්දු හමුවේ ඔහු දැවී ගිය අතර නොදැවී පන්දුවට පහර දෙමින් සිටි රමිරු පෙරේරා ලකුණු 46ක් ලබාගෙන තිබේ. පන්දු යැවීමේදී ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් සිය සුපුරුදු දක්ෂතා අතරට යළි පැමිණි ආකාශ් ප්‍රනාන්දු දැවී ගිය කඩුලු හතරම දවා ගැනීමට සමත් වූයේය.

ලකුණු සාරාංශය

රාජකීය විදුහල් පළමු ඉනිම – ඕවර 74 කදී කඩුලු 8 කට 326

(ඔවින අඹන්පොල 30, දසිස් මංචනායක 137, රුමිරු පෙරේරා 128, ආකාෂ් ප්‍රනාන්දු 55/4, කවිඳු ඩයස් 58/3)

සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම – ඕවර 55 කදී සියලු දෙනා දැවී 153 (සේනාධි බුලන්කුලම 40, මහිත් පෙරේරා 30, නේදන් කල්දේරා 20, බුලන් වීරතුංග 26/3, සිනෙත් ජයවර්ධන 09/2, රනුක මලවිආරච්චි 35/2, සන්දේෂ් රාමනායක 36/2)

රාජකීය විදුහල් දෙවැනි ඉනිම – ඕවර 26 කදී කඩුලු 4 ක් දැවී 168

(දසිස් මංචනායක 57, උවිඳු වීරසේකර 28, රමිරු පෙරේරා නොදැවී 46, ආකාෂ් ප්‍රනාන්දු 42/4)

advertistmentadvertistment
advertistmentadvertistment