නිල ඇඳුමේ අඩුපාඩු තිබුණත් – සපත්තු නැතිව හෝ ප්‍රමාද වුවත්  දරුවන් පාසලට ගන්නවා – අධ්‍යාපන ඇමැති

164

වත්මන් ආර්ථික තත්ත්වය මත යම් කිසි දරුවකු සිය පාසල් නිල ඇඳුම අඩුපාඩුවකින් හෝ සපත්තු වෙනුවට සෙරෙප්පු පැළඳ උදේ වරුවේ යම් ප්‍රමාදයක් සහිතව පාසලට පැමිණියහොත් එම දරුවා ගැන සානුකම්පිතව සලකා පාසලට ඇතුළුවීමට අවස්ථාව සලසන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) කීය.

ඒ සඳහා තමන් අවශ්‍ය උපදෙස් පත්‍රිකාව සියලු විදුහල්පතිවරුන් වෙත සැපයීමට ක්‍රියා කරන බවද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් වසංගතය සහ රටේ විවිධ ප්‍රශ්න නිසා පසුගිය කාලයේදී දරුවන්ගේ පාසල් පැමිණීම විශාල වශයෙන් අඩුවූ බව කී ඇමැතිවරයා, තවදුරටත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ද කීය. පවතින ප්‍රවාහන ගැටලු හේතුවෙන් යම්කිසි ගුරුවරයකු ද පාසලට පැමිණීමට ප්‍රමාද වුවහොත් ඒ පිළිබඳවද බරපතළ ලෙස ක්‍රියා නොකරන ලෙස තමන් ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා කියා සිටියේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට මෙන්ම ලෝකයේ සෙසු දරුවන්ගේද සාක්ෂරතාව පහත වැටීමේ දැඩි අවදානමක් පවතින බව ද ඇමැතිවරයා කීය.

සජබ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment