නිල තෙරපුමට යොමු විය යුතු සහ නොවිය යුතු අවස්ථා

1565

සිරුරේ නිරෝගී පැවැත්මට අප විවිධ ප‍්‍රතිකාර ක‍්‍රම සඳහා යොමුවන්නට හුරුව ඇත. ඖෂධ වර්ග භාවිතය මගින් සිරුරේ මතුව ඇති රෝග පාලනය සහ රෝග සුව කර ගැනීමට යොමු වේ. ව්‍යායාම මගින් සිරුරේ ක‍්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමට පියවරගනී. ආහාර පාන මගින් සිරුරේ පෝෂණය වර්ධනය කරගෙන ඉන්ද්‍රියයන්ගේ ක‍්‍රියාකාරීත්වය සාමාන්‍ය අයුරින් පවත්වා ගැනීමට අවධානය යොමු කරයි.

 ඒ අතර සිරුරේ නිල තෙරපුමට ලක් කර ඉන්ද්‍රිය ක‍්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට සහ මතුව ඇති රෝගාබාධ සුව කර ගැනීමට යොමුවේ.

 නිල තෙරපුම

 අපගේ සිරුරේ ඇති ස්නායු රැසක් එකට හමුවන තැන් නිල ලෙස හඳුන්වයි. එවැනි ස්ථාන 107ක් අපගේ සිරුරේ පිහිටා ඇත.

 එම නිල ආයුර්වේද, රූපලාවන්‍යයට අනුව කොටස් පහකට බෙදා ඇත. එනම් මාංශ මර්ම, ශිරා මර්ම, ස්නායු මර්ම, සන්ධි මර්ම, අස්ථි මර්ම ලෙසිනි.

 මෙම නිල වර්ග ද සිරුරේ පිහිටා ඇති සංඛ්‍යාව ද එකිනෙකට වෙනස්ය. මාංශ මර්ම 11ක් ද ශිරා මර්ම 41ක් ද ස්නායු මර්ම 27ක් ද අස්ථි මර්ම 08ක් ද සහ සන්ධි මර්ම 20ක් ද ලෙස බෙදී ඇත.

 එසේම මෙම නිල දෑතේ 22ක් ද පාදවල 22ක් ද උදරය සහ උරහිස කොටසේ 12ක ්ද පිටකොන්දේ 14ක් ද සහ උදරයෙන් ඉහළ 32ක් ද ලෙසින් පිහිටා ඇත.

 නිල තෙරපුමෙහි ඇති ප‍්‍රතිඵලය

 සතියකට දෙවරක් හෝ අප මෙම නිල තෙරපුම් ප‍්‍රතිකාර සඳහා යොමු වීමෙන් සිරුරේ රුධිර ගමනාගමන පද්ධතිය නිසි අයුරින් පවත්වා ගැනීම සඳහා සහායක් ලබාගත හැකිය.

 ඇස්, සම හිස කෙස් සහ නිය පොතුහි වර්ධනය සහ එහි ක‍්‍රියාකාරීත්වය මෙමගින් නිසි අයුරින් පවත්වාගත හැකිය.

 සිරුරේ, දහදිය පිටවීම, මළ, මුත‍්‍ර පිටවීම සහ බහිශ‍්‍රාවීය කටයුතු ක‍්‍රමවත් කරගත හැකිය.

 කොන්දේ මතුව ඇති වේදනාවන්, හිසේ කැක්කුම්, මාංශ පේශී වේදනාව, සන්ධි වේදනාවට සහනයක් ලබා ගැනීමට හැකිවේ.

 සිරුරේ අනවශ්‍ය බර අඩු කර ගැනීමට සහ තරබාරුව පාලනය කරගැනීමට හැකිය.

 වයසට යනවිට සම මත ඇති වන රැුලි ගැසීම්, සමේ පැහැය අඩුවීම, හිස කෙස් යෑම පාලනය කරගත හැකිය.

 එසේම අකලට හිසකෙස් යෑම සහ හිස කෙස් සුදුවීම වළක්වාගත හැකිය.

 මතුව ඇති මානසික පීඩනය සමනය කර ගැනීමට හැකියාව ලැබේ.

 නිල තෙරපුමට යොමු නොවිය යුතු අවස්ථා

 බෝවන රෝගයක් වැළදී ඇතිවිට, සමේ හොරි මතුව ඇතිවිට, පැපොල, කම්මුල්ගාය වැනි රෝග මතුව ඇතවිට, පොතු කබර, දද , පණු කැවිලි, කෙටි කාලීන දෙපා වේදනාවට බලපා ඇති තැලීම් ඇතිවීම, මත්ද්‍රව්‍ය මත් ආදියට ඇබ්බැහි වූවන්ට, ශරීරයේ අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුවන අයුරින් නහර ගැට ගැසීමේ රෝග මතුව ඇතිවිට උණ, සෙම් රෝග ඇතිවිට සහ එම රෝග තත්ත්වයනට නිසි හේතු නොදන්නාවිට, යටිපතුලෙහි ගල් තැලූම් ඇතිවිට මාසික ඔසප් වීමේ පළමු දින දෙක තුළ, බර ආහාර ගත් පසු ව්‍යායාමවල නිරත වූ වහාම හෝමෝන ගැටලූ ආශ‍්‍රීත ලෙඩ රෝග ඇතිවීම ආදී අවස්ථාවන්හි දී නිල තෙරපුම් ප‍්‍රතිකාර සඳහා යොමු නොවිය යුතුය.

 කාන්තාවකගේ මාසික ඔසප්වීම ආරම්භ වීමට දින දෙකකට පෙර හෝ එය ආරම්භ වී දින දෙකක් ගත වූ පසු නිල තෙරපුමට ලක්විය හැකිය.

 කිසියම් පුද්ගලයෙක් බර ආහාරයක් ගෙන පැය 06කට පමණ පසු නිල තෙරපුමට යොමුවීම කළ යුතුය. ව්‍යායාමවල නිරතව ඇ`ග උණුසුම් වී රුධිර ගමනා ගමනය වේගවත්ව පවතිනවිට ද නිල තෙරපුම් ප‍්‍රතිකාර සඳහා යොමු නොවිය යුතුය.

 එසේ නොමැතිව ඕනෑම අයකුට තම කායික සහ මානසික නීරෝගීතාවය සඳහා නිල තෙරපුම ප‍්‍රතිකාර සඳහා යොමු විය හැකිය.

නිල තෙරපුමට යොමු විය යුතු සහ නොවිය යුතු අවස්ථා



 ඡායාරූප – දිනූෂාන් සමරසිංහ
 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment