නිවනට – ස්වර්ගයට යන කොත් අතරේ ‘ඇඩ්‍රස් නැති මරණ’ තිබෙන බොරැල්ල කනත්ත

639

බොරැල්ල කනත්ත යනු රහස් රැසක් සහිත නොවිසඳුණු අපරාධ බොහෝ ඇති අද බොහෝ දෙනා කතා වෙන සුවිශේෂී තැනකි.

අනාදිමත් කාලයක සිට බොහෝ අමුතු අද්භූත විපරීත දේ සිදුවන මේ අක්කර 48 ක (හෙක්ටයාර 20ක් පමණ) භූමි භාගයකට හිමිකම් කියන කොළඹ කනත්ත පැහැදිලි පිරිසිදු ඔප්පුවකින් අයිතිවන්නේ කොළඹ මහ නගර සභාවටයි.

මෙයට සියවස් එකහමාරකට පමණ පෙර මේ භූමියට කියනු ලැබුවේ කනත්තවත්ත කියායි. ගැමිවහරට අනුව කනත්තක් යනු සුසාන භූමියක්, කැරකොප්පුවක්, සොහොන් පොලක් හෝ මිනී වළලන තැනක් නොව ගම කෙළවරක හෝ වෙලක් අද්දර පිහිටි මුඩු, තණකොළ වැවුණු තැනිතලාවක් බව දන්නෝ දනිති.

පිටුපසින් ශ්‍රීමත් හෙන්රි ද සොයිසාට හිමිව තිබූ (වත්මන් මොඩ්ල් ෆාම් නමැති) වගුරු සහ තෘණ පිරි විසල් ඉඩමට හා රාජකීය ගොල්ෆ් පිට්ටනියටත්, වම්පසින් මනරම් ගහ කොළ සතා සීපාවා සිටි කිතුල්වත්තටත් ඉදිරිපසින් කූඹිකැලේ නම් විසල් ගස් පිරි වනාන්තරයටත් එදා මැදිව තිබූ මේ කනත්තවත්ත තුළ මිනී වළලන්නට පටන්ගත් නිසා රටපුරා ගම්දනව් වල තිබූ අන් කනතුත් කැරකොප්පු හෝ සුසානභූමි ලෙස ප්‍රකට විය. 1815 දී ලංකාවේ පාලනය අල්ලාගත් බ්‍රිතාන්‍යන්ගේ ඇන්ගලිකන් ආගමට අයත් කොළඹ දියෝකිසියේ වත්මන් ආසන දෙව්මැඳුර පිහිටි ස්ථානය සහ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව දක්වාම මුල් කාලයේ මේ කනත්තවත්ත පැතිරී තිබී ඇත.

කටවහරට අනුව 1860 ගණන් වලදී මෙය මිනී වළලන සහ පුළුස්සන ස්ථානයක් ලෙස ආරම්භ කර ඇති අතර ලියවුනු ඉතිහාසයට අනුව 1966 ඔකතෝබර් 28 දින මෙහි ප්‍රථමයෙන්ම මිහිදන් කර ඇත්තේ ඉයුජින් නමැති මැදිවයස් වැන්දඹු ස්ත්‍රියකි.

කනත්තක් යනු බොහෝ සාමකාමි නිදහස් සන්සුන් භූමියකි. කොතෙක් මළ මිනී මිහිදන් කළද හොල්මං සහ අවතාර සැරිසරනවා යැයි කීවද උන්ගෙන් එහි යන අයට බාධාවක් නැත. සමහර දාට මට නිදහසේ යමක් ලියන්නට අවශ්‍ය වූ මා යන්නේ බොරැල්ල කනත්තටයි. බොහෝ කලක සිට එහි සැතපෙන මගේ ආච්චි අම්මලා දෙන්නාත් මඳ කලකට පෙර එහි තැන්පත් කළ මගේ පියාත් සිටින නිසා මට එහි යෑමට බයක් නැත එසේම අයිතියක්ද ඇත.

කනතු කොතෙක් දැක ඇතත් බොරැල්ල කනත්ත සුවිශේෂී වන්නේ ඇත්තටම බොරැල්ල කනත්ත ඇතුළු බොහෝ කනතු තුළ නව නළු රසයම ඇති බව කීවාට වැරදි නැත. මා එසේ කියන්නේ සමහරු මෙහි පැමිණ අරක්කු බී සාද දමා ප්‍රීති රසය අත්විඳින නිසාත් තවත් අය අඳුරු වැටුනු කල සහකාරියන් කැන්දාගෙන විත් සොහොන් කොතකට හේත්තු කොට හෝ සිමෙන්තියෙන් සුද කපරාරු කළ හෝ ටයිල් ඇල්ලූ සොහොන් වළක් මත සතපා හෝ රමණයේ යෙදෙමින් ශෘංගාර රසය අත්විඳින නිසාත්ය. එමෙන්ම බාගෙට පිළිස්සුණු හෝ කුණුවුණු මළ මිනියක කොටසක් තුළින් හමන දුගඳ ගෙන එන්නේ භීබත්ස හෙවත් පිලිකුල් රසයකි.

දිවයින පුරා සහ ලොව රටවල් රැසකම සොහොන් පිට්ටනි වල කරක් ගසා කල් මරා දින ගණන් සති ගණන් රාත්‍රී එක දිගට තනිවම එහි කල් ගත කර ඇතත් මා තාම කැමති මේ කොළඹ කනත්තටයි. ඒ එහි ඇති නිසල බව නිසාත් වරෙක එහි ඇති ගුප්ත රසය සහ තවත් වරෙක ඇති ශාන්ති භාවයත් නිසාය.

බොරැල්ල කනත්තේ සෙක්ෂන් හෙවත් කලාප රාශියක් ඇත. බෞද්ධ කොටස හින්දු කොටස කතෝලික සහ ඇන්ග්ලිකන් කොටස ඉන් ප්‍රධාන ඒවාය. එමෙන්ම තවත් සුවිශේෂි කලාපයක් වන්නේ යුද්ධයෙන් මිය ගිය පොදු රාජ්‍ය මණ්ඩලයේ සෙන්පතියන් ඉහළ නිලධාරීන් මිහිදන් කර ඇති කොටසයි. ජර්මානු සහ ජපන් යුද වීරයන් වෙනුවෙන් වෙන් කරන ලද කොටසක්ද ඇත.

“ඇඩ්‍රස් නැති මරණ” හෙවත් මහ මග ඇද වැටී කාත් කවුරුවත් නැතිව රෝහල් වල අනාථ මඩම්වල මැරුණු අයිතිකරුවන් නැති මෘත දේහ ආදාහනය කිරීමට වෙනම කලාපයක්ද ඇත. එය එකල හැඳින්වූයේ අනාථ ඒරියා හෙවත් අනාථ බ්ලොක් එක කියායි. රජයේ වියදමින් මෙහි මිහිදන් කරන මෘත දේහයන්ට අවසන් ගෞරවයක් තියා බොහෝ විට පෙට්ටියක් වත් නැත.

මේවන විට හාරසියයකට ආසන්න ඓතිහාසික යුද ස්මාරක ඇතුළුව අනෙකුත් මෘතදේහයන් එක් ලක්ෂ විසිපන්දාහකට ආසන්න ප්‍රමාණයක් මෙහි මිහිදන් කොට සහ ආදාහනය කොට ඇත.

කොළඹ කනත්තට වැඩිම ජනගඟක් ගලා ඇත්තේ එච් ආර් ජෝතිපාලයන්ගේ මිහිදන් කල දා බව අපි දනිමු. එමෙන්ම ලලිත් ඇතුලත්මුදලි මහතා ජෙනරල් හෙක්ටර් කොබ්බෑකඩුව මහතා රූපවාහිනී නිළි රමණි බර්තොලමියුස් මෙනවිය වැනි අයගේ අවසන් කටයුතු සඳහාද විශාල පිරිස් මෙහි පැමිණ ඇති බවත් එම සෙනඟ නිසා කනත්තේ සැමරුම් සහ ඵලකයන්ට බොහෝ අලාභහානි වී ඇති බවටත් තොරතුරු ඇත.

අප පාසල් යන කාලයේ අපට තිබූ ආසන්නම සහ එකම ආරක්‍ෂක ස්ථානය සහ ක්‍ෂේම භූමිය වූයේ බොරැල්ල කනත්තයි එමෙන්ම එය එකල ප්‍රසිද්ධව තිබුණේ බොහෝ අවර වැඩ සිදුවෙන පාතාලයේ ශාඛාවක්ද ලෙසිනි.

කොල්ලෝ එක එක දේවල් සඳහා එම කනත්තට යෑමට පුරුදුව සිටියහ. එකල දැන් මෙන් නොව කනත්ත වටේ තාප්පයක් තිබුණු නිසා ඇතුළේ වෙන දේවල් එලියට පෙනුනේ නැත. පසුකලෙක බොරැල්ල කනත්තේ තාප්පය කඩා ඒ වෙනුවට යකඩ වැටක් ආවේ ප්‍රේමදාස ආණ්ඩුව කාලයේ බව මට මතකය. ඒ කතරගම සෙල්ල කතරගම වටා ඉදිකර තිබූ යකඩ වැට බවටත් රාවයක් ගියේය.

එකල දැන් මෙන් බොහෝ ආරක්‍ෂක නිලධාරීන් සිටියේද නැත. සිටියද ඔවුන් අනුගමනය කළේ ලිහිල් නීති පටිපාටියකි. සමහරු ජරාව හෝ කොමිස් ගන්නට කැමැත්තක් දැක්වූහ. අප පාසලේ කොල්ලන් පමණක් නොව අහල පහල ඉස්කෝල කොල්ලෝද විවිධ දේ සඳහා මෙහි ඒමට පුරුදුව සිටියෝය. ඒ සැම එකෙක්ම ආවේ පාඩම් කිරීමට හෝ ක්‍රීඩා කිරීමට නොව කුමක් හෝ ජල්තර ජිල්මාට් වැඩකට බව කිව යුතුය. ඒ ආවේත් බොහෝ විට පාසල් කාලය තුළයි. එකල පාසල් අතර බල ගැන්වුනු ගැන්ග් 48 (Gang forty eight) හෙවත් 48 කල්ලිය තමන්ගේ මාසික රැස්වීම පැවැත්වූයේද බොහෝ විට බොරැල්ල කනත්තේය. එදා කනත්තට එන කොල්ලන් වැඩිපුරම කළේ චැලෙන්ජ් කොට අතින් පයින් ගහ ගැනීමයි එසේත් නැත්නම් සොහොන් ගහක් යට කොතක් පාමුල කුඩා කල්ලි වශයෙන් වටේට වාඩිවී බියර් අරක්කු සිගරට් ගංජා වැනි දේ පානය කිරීමයි.

අඳුර රජ කරන රාත්‍රී කාලයට කනත්තක් තුළ ඇත්තේ ගුප්ත භයානක බවක් බව කියන්නට අවශ්‍ය නැත. එහි වැඩකරන සේවකයන් පවා කලුවර තැන්වල ඇවිදින්නට එතරම් කැමති නැත. ඒ යක්කුන්ට භූතයන්ට ඇති බය නිසා නොව රාත්‍රියට බොහෝ තැන් වල නාගයන් වැනි සර්පයන් සැරිසරන නිසාය.

නාගයන් කනත්තට අහසින් පාත් වන්නේ නැත. අවට ගම් නගර වල වෙසෙන අය එකල තම ගෙවත්තේ සිට අසුවන නයින්, පොළඟුන් වැනි උරගයින් උරයක හෝ ගෝනියක දමා කට බැඳගෙන විත් අත අරින්නේ මේ කනත්තටය. යකැදුරන් විසින් හදි හූනියම් දරහැව බලිතොවිත් කර අවසානයේ ඉතුරු වන බිත්තර කන්න හුරු වූ නිසාද නාගයන් මෙහි පදිංචියට ලැදිය.

නිදහස වැඩි නිසාත් හිරිහැර අඩු නිසාත් පහසුවෙන් ගෙම්බන් මීයන් අල්ලා ගැනීමට හැකි නිසාත් නයින් කැමැත්තෙන්ම කනත්තේ පදිංචි වෙති. නමුත් රාත්‍රී කාලයට සමහර නයින් මුරකරුවන්ට හොරා ගේට්ටුවෙන් හෝ යකඩ වැටට යටින් රිංගා පාර මැදින් බඩගා ගොස් හෝ පොලව යටින් දිවෙන වැහි වතුර කාණු අස්සෙන් රිංගා ගොස් අවට ඇති පාළුවට ගිය පෞරාණික වලව් මන්දිර බංගලා වලට වැද එහි ලගින මීයන් ගෙම්බන් අල්ලා ගිල දමා යළි හොර රහසේම කනත්තට විත් තමාගේ වාස භවන වන ගුලකට හෝ තුඹසට වැද නිදාගන්නා බව බොහෝ අය නොදනිති.

ඉස්සර තරම්ම නැතත් රාත්‍රියට තාමත් බොහෝ කනතු වල මල් වඩම් ඉස්සීම පෙට්ටි ගොඩදැමීම ආදිය සිදුවෙයි. මේවා කිරීමට පිට අයට තනිවම නොහැක. ඒ සඳහා ඇතුළෙන් සහයක් අවශ්‍ය වෙයි. ඒ දෙන සහය සඳහා ලැබෙන ගාස්තුව එදා රාත්‍රියේ ඒ කලාපය බාර උසස් නිලධාරියා සිට පහළ සේවකයා දක්වා අනුපාත ක්‍රමයට බෙදී යන බවටද රාවයක් තිබේ.

දරහැව, ලේ සාත්තුව, පිල්ලි ඇරීම, බන්ධන කිරීම සහ බන්ධන කැපීම මේ වන විට බොරැල්ලේ ප්‍රසිද්ධියේ නොවුණාට වෙනත් කනතු වල නිරන්තරයෙන් සිදුවෙයි. මා එවැනි දේවල් සියැසින්ම දැක ඇත්තෙමි.

නිවනට - ස්වර්ගයට යන කොත් අතරේ 'ඇඩ්‍රස් නැති මරණ' තිබෙන බොරැල්ල කනත්ත

ඉහත කී යාතු කර්ම, භූත බන්ධන, අණ වින, කොඩි වින ආදී දේ කනත්තේ සෑම තැනකම සිදුකරන්නට නොහැක. ඒ සඳහා සුවිශේෂී තැන් තිබේ. වෙන විදියකට කීවොත් කනත්තේ සැම තැනකම යක්කුන් භූතයන් මල පෙරේතයන් පිසාචයන් නැත. උන්ට සුවිශේෂී වූ උන් අරක් ගන්නා විමාන හෝ අරම වල් ඇත. උන් රැස්වීම් පවත්වන්නේ සාද දමන්නේ සාකච්ඡා කරන්නේ එවැනි තැන් වලය. එවන් තැනක් සොයා ගන්නට හැමෝටම බැරිය. දක්‍ෂ යද්දෙස්සන් කට්ටඩියන් මෙවැනි ස්ථාන දනිති. යාතුකර්ම සහ දරහැව වැඩ සඳහා මාව පිළියන්දල දොලේ කනත්තට, මහරගම ගොඩිගමුව කනත්තට, උඩහමුල්ල කනත්තට, රාගම ගම්පහ ආදී කරකොප්පු වලට එක්කන් ගොස් ඒවා කරන හැටි බලා ඉන්නට සැලැස්වූ මන්තර වලට රජවැඩකාර මාතර නාගරත්න බාසුන්නැහැ ( ඔහු වෘත්තියෙන් මේසන් බාස් කෙනෙකි) කියන අන්දමට කනත්තේ ගුප්ත බලය වැඩියෙන්ම තියෙන්නේ හේලංකඩ නමැති ස්ථානයේයි. මෙය ව්‍යවහරයේ එන දෙයක් බව මට ස්ථිර කළේ අපේ අනුර අයියා හෙවත් අනුර බංඩාර රාජගුරු මහතායි.

මා තවත් වැඩකාරයන් කීපදෙනකුගෙන් කරුණු අසා දැනගත් පරිදි හේලංකඩට කැරකොප්පුවේ නිසි තැනක් නැත. එදාට එදාට යක්කු සහ හොල්මං රැස්වෙන අරමුණු සහ පරිසරය මත ස්ථානය වෙනස් වෙයි. නමුත් කනත්ත වපරිසයෙන් එළියට යන්නේ නැත.

මහත්තයො හේළංකඩ කියන්නෙ මහ භයානක තැනක්. මෙතන තමයි අපි වැඩ කරන්නෙ. ඒ වැඩ වල පල ප්‍රයෝජනයක් තියෙන්නේ හේළංකඩේ ඉඳන් කළොත් විතරයි. හැබැයි යක්කු කුලප්පු වෙන වැඩ නං කරන්න එපා. ඒ කියන්නෙ පුළුටු ඌරු මස් ගෙරි මස් බැදුං මස් එහෙම කාලා ආවොත් අපි දෙන්නම සුන්.

නාගරත්න නිතර මන්තරයක් ලෙස මට එලෙස කීවත් කීප වතාවක්ම මා ඔහු සමග කනත්තකට යද්දී ඔහුට හොරෙන් ඌරු මස් හරක් මස් කා සමහර විට කුඩා මස් කෑල්ලක් කොළ කෑල්ලක ඔතාගෙනද යන්නේ යක්කු කුපිත වන අන්දම සියැසින් දැක බලා ගන්නටයි. නමුත් තාම එහෙම එකක් මා දැක නැත.

කොළඹ කනත්තට කොතරම් මුරකාවල් තිබුනද රාත්‍රී කාලයේ එතුළට පනින තැන් දන්නෝ දනී. එකල මා ඒ සඳහා යොදා ගත්තේ කිතුල්වත්තෙ පාර දිගේ ඇතුළට ගොස් එහි කෙලවර ගොල්ෆ් පිටිය පැත්තේ ඇති තාප්පයයි. ගොල්ෆ් පිටියට ආසන්න කලාපය රාත්‍රියට ඉතා භයානක පෙනුමක් දෙයි. රූස්ස ගස් පිසගෙන එන සුළඟ ඇඟ හිරිගඩු මතු කරයි. මුරකරුවන් හෝ පැට්‍රෝල් පොත අත්සන් කරන්නට ඉඳහිට ඒ හරහා යන පොලිස් රාළහාමිලා දෙන්නෙකු හැරුනු විට කවුරුවත් රාත්‍රී කාලයට එහි කවුරුවත් සැරිසරන්නේ නැත. භූතයන් පිසාචයන් කෙසේ වෙතත් එය නම් ඇත්තටම හේලංකඩකි.

එදා සමහර අපතයන් රාත්‍රී කාලය ගත කළේ කනත්තේය. අපතයා යනු අහසින් වැටුනා වූ ගෙයක් දොරක් නැති යන්න ඉන්න තැනක් නැති ඕපපාතික අය බව මට කියා දුන්නේ තිස්ස අබේසේකර යන අද්විතීය මහ ප්‍රාඥයා බව සිහි කල යුතුය. අපතයන්ට රාත්‍රිය ගත කරන්නට සුදුසුම තැන කනත්තයි. මුරකරුවන්ගේ දැනුම මත හෝ ඔවුන්ට හොරා කනත්තට රිංගා රාත්‍රී කාලය එහි ගත කරන අය කීප දෙනෙක්ම මම දනිමි. මමද උන් සමග දින කීපයක් කනත්තේ රෑ ගත කොට ඇත. හොඳට නා ගැනීම සඳහා බොහෝ කනතු තුළ වතුර පයිප්ප හෝ ළිං තිබේ. දැඩි සීතලක් ආවොත් දැවෙන මිනියක් සහිත සොහොනක් වෙත ගොස් උණුසුම් විය හැක.

ගේම් කාරයන්ගෙන්ද රාත්‍රියට කනත්ත අඩුවක් නැත. සොරා ගත් කොල්ලයන් බෙදා ගන්නට සමහර කල්ලි යොදා ගන්නේ කනත්තයි. එමෙන්ම ගමේ හෝ නගරයේ රාත්‍රී කල සැරිසරන රස්තියාදු නිසාචරයන්ට අහම්බෙන් හෝ අභිසරු ලියක් පුරඟනක් මුලිච්චි වුණොත් හෝටලයකට කාමරයකට යෑමට අතේ සල්ලි බාගේ නැත්නම් ඒ සඳහා යෝග්‍යතම ස්ථානය කැරකොප්පුවයි. කොතරම් මුරකරුවන් හිටියද උන්ට හොරෙන් හෝ අනුදැනුම මත කනත්තට ඇතුල්වීමේ ක්‍රමවේද අද අනන්තය.

කීප දෙනකු එකතු වී අරක්කු බෝතලයක් බොන්නට ගංජා සුරුට්ටුවක් ඔතා එය වටවී උරන්නට කුට්ටමක් අනා බූරුවා ගේමක් ගසන්නට හදිසියක් සඳහා අද ඇති හොඳම තැන කැරකොප්පුවයි.

කොළඹ කනත්තේ ඇති සුවිශේෂී තැන් කීපයක් ගැන එහි වැඩ කරන සමහර සේවකයන් වත් නොදන්නවා ඇතැයි මම සිතමි මා දෙවතාවක්ම සහභාගි වී ඇති ඩෙවිල්ස් ඩේ පාටි (යකාගේ දවසේ සාදය) නමැති අපූරු අවස්ථාව වසර දෙක තුනකට වරක් පවත්වන්නේ කනත්තේ ඇති මෙකී අපූරු සුවිශේෂී ස්ථානයේයි. ඇත්තටම එය හොඳින් නිමකර තනන ලද, පොළව යට කාමරයක් සහිත මිනී අලු තැන්පත් කරන අන්ඩර් ග්‍රවුන්ඩ් සොහොන් ගෙයකි. එය අයත් වන්නේ කොළඹ හතේ ජීවත් වුණු දැන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුනු ප්‍රභූ පන්තියේ ධනවත් පවුලකටයි.

එහි සැතපී සිටින පරම්පරාවෙම නම් සහ රූප එම බිම් කාමරයේ එල්ලා ඇත. වසර දෙක තුනකට වරක් ලංකාවට එන එම පරම්පරාවේ අග පුරුක් වන අයිය මලෝ දෙන්නෙක් සහ සහෝදරියක් තම සමකාලීන මිතුරු මිතුරියන් හට සාදයක් පවත්වන්නේ මෙම බිම් ගෙය තුළයි.

පිටතින් බලන කල කාටවත් එම ස්ථානයේ බිම් ගෙයක් ඇති බව නොපෙනේ. නමුත් පිත්තල ඉබි යතුරු දමා ඇති පොළවට සමාන්තර ලෑලි දොර අරින විට හමු වෙන්නේ කුඩා සිමෙන්ති පඩි පෙළකි. එය දිගේ පහළට බසින කල ඇත්තේ ලොකු සාලයක් වැනි කාමරයකි. එහි බොහෝ වටිනා දේ තිබේ. පෙට්ටගමක්, බුමුතුරුණු, ඇලඩින් ලාම්පු, ඉටි පන්දම්, ගිනි පෙට්ටි මෙන්ම කොට්ට කීපයක් සහ මෙට්ටයක්ද එහි ඇත. පෙට්ටගම තුළ ඇත්තේ හොඳ වර්ගයේ ඉස්තරම් පැරණි අරක්කු, විස්කි බෝතල් ගංජා, සිගරට්, දුම් කොල වැනි දේවල්ය. මෙම කාමරය තුළ පහසුවෙන් දහ දොළොස් දෙනකුට අසුන් ගත හැකිය. අද රටේ දකින්නට ඇති සියලුම මත්ද්‍රව්‍යන්ගෙන් පරිපූර්ණව මෙම යකාගේ සාදය පවත්වන අතර එය නිමවූ කල එකිනෙකා අතට අතදී සමුගෙන තමන් ආ අලුත්ම හෝ දුර්ලභ ගනයේ වටිනා මෝටර් රථ වල නැගී මිතුරන් පිටව යන අතර අයිය මලෝ දෙන්නා සහ නැගනිය පමණක් එහි තව පැයක් පමණ තනිවම භාවනාවෙන් ගත කොට තම මිය ගිය දෙමාපියන් සහ ආදී නෑයන් සිහි කිරීම සාමාන්‍ය දසුනකි. නැවත ඔවුන් ඔස්ට්‍රේලියාවට යන විට ලංකාවේ සිටින තම මිතුරියකට යතුරු කැරැල්ල බාර දී යන අතර කාව හරි දමා අවට පරිසරය සුද්ද කර මල් වැටවල් පිළිසකර කරනවා විනා ලෑලි දොර අරින්නේ නැත.

කලකට පෙර මා වැඩකට තිඹිරිගස්යාය කනත්තට ගිය විට එහි සෙල්ලම් කරමින් සිටි කොල්ලො කුරුට්ටෝ සෙට් එකක් ගැන මගේ මතකයට එයි. ඒ එවකට ඒ අසල නිවසක පදිංචිව සිටි විශ්‍රාමික ජනපතිගේ (එවකට විපක්ෂ නායක) පුත්තු තිදෙනා සහ ඔවුන්ගේ කුඩා කොලු කුරුටු මිතුරු සමාජයයි.

නොවැම්බර් මස පළවැනිදා යනු මළවුන් සිහි කිරීමේ දිනයයි. එදිනට බොහෝ අය කනත්ත වෙත එන්නේ තම මිය ගිය ඥාතියා වෙනුවෙන් පින් දීමට හෝ ස්තුති දේව මෙහෙයක් පැවැත්වීමටයි. එසේ ආ කල වළ හෝ සොහොන අවට වල් ගලවා පඳුරු ඇද දමා මල් ගස් අලුතින් සිටවා ලස්සන කිරීමටද ඔවුන් කැමතිය. එදාට අවට වාසය කරන කොල්ලන් කරන්නේ උදැල්ලක් පිහියක් රේක්කයක් ඉදලක් අතැතිව කනත්ත ගේට්ටුව අසල රැඳී සිටිමින් වල වටේ සුද්ද කිරීමේ කොන්තරත්තුව ගැනීමයි. වරක් මා මෙවැනි දවසක ඒ ගැන අවධානයෙන් සිටි අතර එක් කොල්ලෙක් වළවල් කීපයක් පිළිසකර කොට ඒ දවසේ රුපියල් විසිදාහක් උපයා ගත් අන්දම ඇහැටම දිටිමි.

කොළඹ කනත්ත ගැන ලියන්නට තව බොහෝ දේ ඇත. ඉඩ මදිකම මෙන්ම පණට ආදරේ නිසා ඒවා නොලියමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක
Internationall Certfied
Addiction Professional

advertistmentadvertistment
advertistmentadvertistment