නිවන සහ අකුරණ

1449

බුදු සමය අදහන අයට අනුව නිවන යනු විශිෂ්ටතම ගමනාන්තයයි. නිවනට යන්නේ කෙසේද යන්න නිවන් සාක්ෂාත් කරගත් අය මිස අන් අය නොදනිති. එහෙත් අකුරණට යන්නේ කෙසේ දැයි කවුරුහරි ප්‍රශ්න කළොත් එයට පාර පෙන්විය හැකි බොහෝ දෙනෙක් සිටිනවා ඇත. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි අකුරණට කොළඹ සිට කිලෝමීටර් 125ක් තිබේ. නුවර ටවුමේ සිට කිලෝමීටර් 10ක් තිබේ. නුවර – මාතලේ පාර දිගේ ගොස් අකුරණට ළඟාවිය හැකිය. අකුරණට යන පාර ඒ ආකාරයෙන් විස්තර කිරීමට හැකි නමුදු නිවනට යන පාර ඒ ආකාරයෙන් විස්තර කිරීමට කාටවත් බැරිය. මේ දිනවල අකුරණට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යොදා තිබේ. සන්නද්ධ බළකාය පැය 24 ම අකුරණ මුර කරති. එහෙත් එයින් කිසිදු ආරක්‍ෂාවක් නිවනට අවශ්‍ය නැත. ධර්මයේ හැසිරෙන්නා ධර්ම විසින්ම ආරක්‍ෂා කරනු ලැබේ. ඒ ආකාරයෙන්ම නිවන් මඟ විසින් නිවන සුරකිනු ලැබේ. මීට දෙදිනකට පෙර කල්පිටියේ විහාරවාසී භික්‍ෂූන් වහන්සේ නමක් වෙසක් දන්සලකට ආධාර පිණිස ගෙවල් ගානේ වැඩම කළහ. මෙයින් එක ගෙදරකට ගිය විට එහි සිටි මනුෂ්‍යයා භික්‍ෂූන් වහන්සේ සිය ග්‍රහණයට ගෙන නිවනට යන පාර කුමක්දැයි අසමින් උන්වහන්සේට පහර දීමට පටන් ගත්තේය. මේ පහර දීම කර තිබුණේ කල්පිටිය නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන නාවික හමුදා නිලධාරියකු විසිනි. පහර කෑමට ලක් වූ හිමිනම මේ වනවිට කල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. නිවනට යන හරි පාර හරියටම දන්නේ ඒ උතුම් මඟ සාක්ෂාත් කරගත් අය විසින් පමණකැයි නාවික හමුදාවට අනුයුක්ත කල්පිටි බූරුවා දැන සිටින්නට නැත. කල්පිටි බූරුවන් සහ පුත්තලම් බූරුවන් අතර වෙනසක් නැති බව අපගේ වැටහීම වේ. ඒ අනුව කොතැනක පහළ වුණත් බූරුවා බූරුවාමය. ඌ කිසිවිටෙකත් අශ්වයකු බවට පත්වන්නේ නැත. කල්පිටිය භික්‍ෂූන් වහන්සේ මුහුණ දුන් ඛේදවාචකය සම්බන්ධයෙන් අපි මහත් සේ කනගාටු වෙමු. එසේම කල්පිටියේ නාවික හමුදා බූරුවාට විරුද්ධව දැඩි පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමු.

අපගේ මීළඟ නිමිත්ත වන්නේ අකුරණය. අකුරණ පිහිටි මුස්ලිම් පල්ලි 203 කට මේ වනවිට දැඩි ආරක්‍ෂාව යොදා තිබේ. මේ ප්‍රදේශය ඒසීඑස් හමීඩ් නමැති දේශපාලනඥයා විසින් පුරා අවුරුදු 33ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කෙරුණු ඡන්ද කොට්ඨාසයකි. 1891 දී අකුරණ ජනගහනය 2266කි. අද මෙහි ජනගහනය 70,000 කට කිට්ටුය. මෙම ප්‍රදේශයේ ජනගහනයෙන් 92% ක් ඉස්ලාම් ආගම අදහති. 8.09ක් බුද්ධාගම 1.50 හින්දු ආගම ද, 0.30ක් ද ක්‍රිස්තියානි ආගම ද අදහති. පෙර කී ආගමික බෙදී යෑමට අනුව අකුරණ සම්පූර්ණ ඉස්ලාම් ප්‍රදේශයක් සේ හැඳින්විය හැකිය. එබැවින් මෙවැනි ප්‍රදේශයක ආගමික සංවේදීතාව ඉතා ඉහළය. ඉස්ලාම් පල්ලි 203ක යාච්ඥා එකවර ඇසෙන විට අකුරණ පිළිබඳ චිත්‍රය සෞදි අරාබියේ ශුද්ධ වූ නගරයක චිත්‍රය හා සමාන වෙයි. ලොව පුරා සිටින ආගමික අන්තවාදීන් කිසියම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිකරන විට ආගමික සංවේදීතාව බහුලවම පවතින ප්‍රදේශ තෝරා ගනී. අප දන්නා පරිදි අකුරණ ජනතාව කිසිදු කලබලයකින් තොරව සිය ආගම අදහමින් අන්‍යාගමිකයන්ට කිසිදු කරදරයක් නොකර ජීවත් වූ ජන කොට්ඨාසයකි. අකුරණ යනු සිංහල නමකි. ප්‍රදේශයේ බහුතර ජනයා ඉස්ලාමීයයන් යැයි කියා මේ ප්‍රදේශයේ නම වෙනස් කළ යුතු බව අකුරණ ජනයා කවදාවත් කියා නැත. ඒ මිනිසුන් ජාතික සමගියට කිසිදු හානියක් කර නැති බව එමගින් පැහැදිලිය. එබැවින් අකුරණ ඉස්ලාම් පල්ලියකට පහර දීමට කිසිවකු විසින් උත්සාහයක් ගත්තේ නම් ඒ තනිකරම ජාතිවාදී සහ ආගම්වාදී උත්සාහයක් බව කිව යුතුය. පාස්කු බෝම්බය ද මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරයකි. එහි සැබෑ අරමුණ වූයේ කතෝලිකයන් සහ ඉස්ලාමීයයන් අතර අරගලයක් ඇතිකිරීමය. ඒත් වාසනාවකට කතෝලික ප්‍රජාව එවැනි ගොං වැඩක් සිදුකළේ නැත. පාස්කු ප්‍රහාරයේදී කතෝලික පල්ලි 5කට පමණ පහර දෙන ලදී. කතෝලික බැතිමතුන් 300කට කිට්ටු ගණනක් මරා දමන ලදී. ඒ නිසා ආගමික කෝලාහලයකට අවශ්‍ය විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් කතෝලික ප්‍රජාව වෙත ලැබී තිබිණ. එහෙත් කතෝලික ජනතාව එම අපරාධය පිළිබඳ තීන්දු ගැනීම නීතියට භාර කළේය. පාස්කු වින්දිතයන් වෙනුවෙන් හරියාකාරව නීතිය ඉටු නොවූ බව කාදිනල්තුමාගේ මතය වේ. එමතුද නොව ශ්‍රී ලංකාවේ සිටින කතෝලිකයන් සියලුම දෙනාගේ ද මතය එයම වන්නේය. ආගමික අන්තවාදය තරම් භයානක දෙයක් මේ ලෝකයේ තවත් නැත. එය ජාතිවාදයට ද වඩා භයානකය. ඕනෑම දෙයක් සඳහා අවශ්‍ය තරම් බැතිමතුන් එකතු කිරීමට දෙවියන්ට පුළුවන. එහෙත් එවැනි ශක්තියක් දේශපාලනඥයන්ට හෝ ජාතිවාදයට නැත.

අකුරණ සිද්ධිය පිළිබඳව ආණ්ඩුව කල්තබාම ක්‍රියාත්මක වීම කෙරෙහි අප තුළ ඇත්තේ මහත් වූ ප්‍රසාදයකි. පාස්කු බෝම්බය සම්බන්ධයෙන් ඉන්දියාවේ රෝ සංවිධානය ඇතුළු ඔත්තු සේවා කිහිපයක් විසින්ම ශ්‍රී ලංකාව දැනුවත් කර තිබිණි. එහෙත් එම තොරතුරු සම්බන්ධයෙන් වැඩි බරක් තබා කටයුතු කිරීමට දේශපාලනඥයන් උත්සුක වුණේ නැත. එය මේ රටේ ආරක්‍ෂක අංශවලට ලැබුණු හොඳම ඔත්තුවලින් එකකි. මේ ඔත්තුවට අනුව එදා ක්‍රියාත්මක වුණා නම් කතෝලික පල්ලි 5ක බෝම්බ පුපුරන්නේ නැත. මිනිසුන් 300ක් පමණ මියයන්නේ ද නැත. තවත් විශාල පිරිසක් බෙලහීනව අබ්බගාතයන් බවට පත්වන්නේ නැත. මේ ඔත්තුව ගණනට නොගැනීම එවකට තිබුණු ආණ්ඩුව විසින් කරන ලද ඉහළම දේශපාලන වරදකි. ඒ වරද පුනරුච්ඡාරණය නොවිය යුතුය. එබැවින් අකුරණ සම්බන්ධයෙන් මේ රටේ බලධාරීන් විසින් ගන්නා ලද ආරක්‍ෂක පියවර ඉතාම ප්‍රසංශනීය ය. ජාතිවාදය සහ ආගමික අන්තවාදය උපරිම ලෙස හෙළාදැකිය යුතු තත්ත්වයකට අපේ රට පත්ව තිබේ. එය තේරුම් ගැනීම ජනතාවගේ වගකීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment