නිවසක් වාස්තු ශිල්පයට එරෙහිව නොසලකා ඉදිකිරීම තුළින් ඇතිවෙන අනිටු ප්‍රතිඵල

158

නිවසක් තැනීම අරමුණ කරගෙන ඉඩමක් මිලයට ගැනීමේදී එම ඉඩමේ හැඩය පිළිබඳවත් ඉඩමේ බෑවුම පිළිබඳවත් සැලකිය යුතුය. සෑමවිටම චතුරශ්‍ර භූමියක්ම නිවසක් තැනීම සඳහා තෝරාගත යුත්තේ එම භූමියේ සතර දිශාවෙන්ම බාධාවකින් තොරව භූමියට විශ්වශක්තිය සමානව ලබාගැනීම සඳහාය. එසේ චතුරශ්‍රාකාර භූමියක් නොවන අවස්ථාවලදී නිවස සෑදීමට ප්‍රථම එම භූමිය වාස්තු විද්‍යා ක්‍රමවලින් චතුරශ්‍රාකාරයට සකසා ගත යුතුය.

ඒ වගේම භූමියේ වැසි ජලය බැසයන ආකාරය ගැනද උනන්දු විය යුතුය. උතුර – නැගෙනහිර – ඊසාන සෑම විටකම පහත්ව පිහිටිය යුතුය. වාස්තු ප්‍රදීපයේ දැක්වෙන පරිදි මේ ආකාරයට පූර්වාදී දිශා නතුවූ කල ධනලාභ/විද්‍යාලාභ නොවඩුව ලැබෙනු ඇත.

ගිනිකොන, දකුණ, බටහිර, වයඹ හා භූමියේ මධ්‍යය පහත් වූ කල ගිනිබය, මරණය, ශෝකය, පුත්‍ර විනාශය ගෙයින් පිටවාසය ආදි අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. එම නිසා සෑම විටම එම දිශා උස්ව පිහිටිය යුතුය. ඉඩමක් මිලයට ගත් පමණින් එහි නීත්‍යානුකූලව හිමිකම ලැබුවද විශ්වයේ අයිතිය හිමිකම ලැබෙන්නේ නැත. එසේ නම් ඉඩමක් ගත් සැනින් එය මිලයට ගත් පුද්ගලයා ඔහුට හෝ ඇයට එම භූමිය සීහුම් කරගත යුතුයි. භූමියේ ශල්‍ය ගැන පරීක්‍ෂාවක් කළ යුතුව ඇත. සක්‍රීය ශල්‍ය යම් ඉඩමක පවතින විට නිවසක් සෑදීමට බාධා ගෙන දේ. මේ ආකාරයට භූමිය තෝරාගෙන නිවසක් සෑදීමට අදහස් කරන විටදී කළයුතු ප්‍රධාන කාර්යයක් නම් තමන් නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන කාලවකවානුව තමන්ගේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම ශුභද අශුභද බලා අශුභ කාලය මඟහැරීම හෝ ඒ සඳහා ග්‍රහ පූජාවන් දේව පූජාවන් ඉටුකොට නිවසෙහි වැඩ පටන් ගැනීම සඳහා නිවාස නැකැත් පිලියෙල කරගැනීමයි, ඒවා නම්

  1. ප්‍රථම ශංකුව සිටුවීම හා නූල් ගැසීම
  2. අත්තිවාරමේ ප්‍රථම පිඩැල්ල කැපීම
  3. මුල්ගල තැබීම

ඉහත නැකැත් හා එහිදී කළයුතු කාර්යයන් නිවැරදිව, ශුභ හෝරාවට ශුභ නැකතට කළ යුතුය. එසේ නොවීම වාස්තු විද්‍යාවේ පංච මහා දෝෂයන්ගෙන් ප්‍රථම දෝශය වන ආරම්භක දෝෂයන්ට හසුවේ. එම දෝෂ නිසා

  1. නිවස සෑදීම මුල්ගලට සීමාවීමට ඉඩ තිබේ.
  2. නිවස අත්තිවාරමට පමණක් සීමාවේ.
  3. නිවස වහලය මට්ටමට පැමිණ නතර වේ.

කෙසේ හෝ කාලාන්තරයක් පමණ තිබී සමහර විට නිවසේ වැඩ අවසන්ව පදිංචි වුණද එම නිවසේ පදිංචියට පැමිණ දා සිට නිමක් නොවන කරදර, ධනහානිවීම්, ලෙඩ රෝග ගැටුම්වලින් ගහනව පැවතීම.

මෙම බොහෝ කරුණුවලට පාදක වන්නේ ඉදිකිරීමට ගිය හෝ ඉදිකළ නිවාස වාස්තුවලට අනුකූල නොවීම නිසාය. වාස්තුවලට අනුකූලවීම යනු විශ්වශක්තියට එකඟ වීමයි. විශ්වය නිර්මාණය වී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි ආකාශ යන පංච ධාතුන්ගෙනි. එසේ නම් අප විසින් නිවසක් ඉදිකිරීමේදී මෙම විශ්වනීතියට අප යටත් විය යුතුය. ආපෝ ධාතුව ළඟාවෙන උතුර, ඊසාන, දිශාවල මුළුතැන්ගෙය ඉදිකර ඇත්නම් එය ආපෝ ධාතුව හෙවත් ජල ධාතුවට විරුද්ධව ගින්දර භාවිතා කිරීමයි. එහිදී ආපෝ, තේජෝ, එකිනෙකට ඝට්ඨනය වේ. විපරිත වේ. එසේ නම් මුළුතැන්ගෙය ගිනිකොනට අයිති තේජෝ කලාපය තුළ ඉදිකරන්න යැයි පවසන්නේ ගින්දර දහනය තේජෝ කලාපයට ගැළපෙන නිසාය. ශක්තීන් අනුකූල වන නිසාය. අද බොහෝ නිවාස සැලසුම් ශිල්පීන් කරන්නේ තම සේවාදායකයා සතුටු කිරීමට නිවාස සැලසුම කිසිදු වාස්තු එකඟතාවයකින් තොරව නිර්මාණය කරදීම පමණි. (බොහෝ දෙනකු) නිවස ඉදිකිරීමට බලාපොරොත්තු වන ගෘහ හිමියාද මේ කිසිත් නොදැන නිර්මාණය කර දුන් නිවාසයේ සැලැස්ම ඒ ආකාරයටම ඉටුකරයි. බොහෝ නිවාස ඉදිකරන අය විශාල මුදලක් සමහර විට තමා මෙපමණ කාලයක් අමාරුවෙන් උපයා ඉතිරි කරගත් හා මූල්‍යායතනවලට ණය තුරුස්වී එකතු කරගත් මුදල් වැය කිරීම සමහර විටෙක හෙතෙම ඇතිවීමටත් නැතිවීමටත් හේතුවක් වේ යැයි සිතන්නේ නැත. ඇත්තෙන්ම නිවාස සැලසුමක් ලබාගත් සැනින් එය පළපුරුදු දැනුම ඇති වාස්තු උපදේශකවරයකුගේ සහය ලබාගෙන නිවසේ වැඩකටයුතු වලට අවතීර්ණ වනවා නම් විශාල මුදල් ඉතිරියක් වගේම ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ අනාගතය සුරක්‍ෂිත වනු ඇත.

එසේ නොමැතිව නිවසක් වාස්තු ශිල්පයට පටහැනි ලෙසින් තම හිතුමතයට වැරදි පුද්ගලයන්ගේ උපදෙස් වලට කරගතහොත් නිවස කෙසේ හෝ අමාරුවෙන් ඉදිකර පදිංචි වීමෙන්

  1. සතුට, නිරෝගිකම, සම්පත නිවස තුළින් ඉවත් වේ.
  2. ධන පරිහානිය ඇතිවේ. නිරෝගිකම පහව ගොස් රෝගී තත්ත්වයට පත්වේ.
  3. නිවසේ පදිංචිවීමෙන් අඹුසැමි ආරවුල් බිරිඳ වෙනත් අයථා සම්බන්ධතාවලට, සැමියා වෙනත් අයථා සම්බන්ධතාවලට පැටලීම තම තත්ත්වය නම්බුව විනාශ වීම.
  4. දූ දරු මාපිය සම්බන්ධතාවය බිඳීයෑම
  5. රජබිය, සොර සතුරුබිය, නිවසේ පැතිරීම.
  6. සුව නොවන ලෙඩ රෝග ඇතිවීම
  7. දේව ආකර්ෂණය වෙනුවට අමනුෂ්‍ය බලවේග නිවසේ රජකිරීම
  8. පුත්‍ර හානි – සිදුවීම

මේ ආකාරයට රජවිමනක් වීමට තිබූ තම කැදැල්ල මිහිපිට අපායක් බවට පත්වීමට තරම් නිවසක වාස්තු දෝෂ ප්‍රභල වනු ඇත.

එපමණක් නොව වාස්තු දෝෂවලට ප්‍රබලතාවය කොතරම්ද කිවහොත් නිවසේ හිමිකරුගේ ශක්ති ශරීරය හෙවත් ඕරාව ධනශක්තීන් ඉවත්ව ඝෘණ ශක්තිය පමණක් ඉතිරු කරදේ. ඒ අතර තම උපන් කේන්ද්‍රයේද අශුභ කාල හෝරාවක් පැමිණ කල දෝෂය දෙගුණ වන අතර නිවසේ වාස්තු බලවත් නම් ඡන්ම කේන්ද්‍රයේ අශුභතත්ත්වයන්ද ඉවත් කිරීමටත් වාස්තු බලවත් වේ.

නිවසක් වාස්තු ශිල්පයට එරෙහිව නොසලකා ඉදිකිරීම තුළින් ඇතිවෙන අනිටු ප්‍රතිඵල

දේශබන්දු දේශමාන්‍ය, වාස්තු විද්‍යා විශාරද සඳලංකාවේ
ඩබ්ලිව්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි
දුරකතන අංකය 0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment