නිවසින් පැන්නු අගමැතිවරයෙක්

473

1993 වර්ෂයේ එක් උදෑසනක ඉන්දියාවේ ජාතික පුවත්පතක සේවය කළ ආධුනික පුවත්පත් කලාවේදියකු ගුජරාත් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයේ අඩු ආදායම්ලාභීන් වෙසෙන එක්තරා කොලනියක දුගී පන්තියේ නිවාස හරහා වැටුණු මාර්ගයක ගමන් ගනිමින් සිටියේය. ඔහු ගමන් ගත් මාර්ගය අයිනෙහි වූ පරණ අබලන් නිවසක් ඉදිරියෙහි පිරිසක් රැස්ව හිඳිනු ඔහුට දක්නට ලැබුණු අතර එහි කිසියම් වූ කලබලයක ස්වරූපයක්ද පෙනෙන්නට තිබිණි. පසුදින පත්‍රයට කුමක් හෝ ප්‍රවෘත්තියක් සොයා යමින් සිටි ආධුනික වාර්තාකරුවා වහාම එම ස්ථානයට කිට්ටු කළේ හොඳ ප්‍රවෘත්තියක් අහුලා ගැනීමේ චේතනාවෙනි. පිරිස අතරින් කරපොවා බැලූ ඔහුට දක්නට ලැබුණේ වයස අවුරුදු 94 ක් තරමේ මහළු දුබල අසරණ පුද්ගලයකු නිවසින් එළියට ඇද දමා ඇති බවයි. ඒ සමගම නිවසේ දොරෙන් එළියට පැමිණි දුෂ්ට පෙනුමක් ඇති පුද්ගලයකු කබල් ඇඳක් රැගෙන විත් එළියට වීසි කළ අතර යළි නිවස තුළට රිංගූ ඔහු ආපසු ආවේ අබලන් වූ ඇලුමිනියම් හැලි වළන් කීපයක්, ප්ලාස්ටික් බාල්දියක් හා ජොග්ගුවක් අතැතිවය. ඒ වනාහී මහල්ලා සන්තක වූ සබ්බ සකලමනාවම විය. එකී ද්‍රව්‍ය කීපයද එළියට වීසි කළ පුද්ගලයා අන්ත දුක්ඛිත තත්ත්වයක සිටි අසරණ මහල්ලාට කීවේ නිවසේ හිඟ කුළිය නොගෙවන්නේ නම් වහාම පිටව යන ලෙසය. මහල්ලා බැගෑපත්ව ඉල්ලා සිටියේ හිඟ කුළිය ගෙවීම පිණිස තමනට සුළු කාලයක් ලබා දෙන ලෙසය. කිසිවකුට කරදරයක් නොමැතිව නිහඬ ජීවිතයක් ගත කළ මේ අහිංසක මහල්ලා වෙනුවෙන් පෙනී සිටි එතැන රැස්වී සිටි අසල්වැසියන් නිවාස හිමිකාර දුෂ්ටයාට බල කර කියා සිටියේ කුළිය ගෙවීම පිණිස අසරණ මනුෂ්‍යයාට කල් දෙන ලෙසය. අසල්වැසියන්ගේ විරෝධය හමුවේ පසුබසින්නට සිදු වූ නිවාස හිමියා ඊට එකඟව පිටත්ව ගියේය.

නිවසින් පැන්නු අගමැතිවරයෙක්
හිටපු අගමැති ගුල්සර්ලාල් නන්ද

සිද්ධිය බලා සිටි වාර්තාකරුවාගේ හිසෙහි මල් දහසක් පිපී ගියේ හෙට පත්‍රයට නියම පුවතක් ලැබුනු බැව් සිතුනු බැවිනි. වහාම සිය බෑගයෙන් කැමරාව ඉවතට ගත් හේ මහළු පුද්ගලයාගේද එළියට දමන ලද බඩුබාහිරාදියෙහිද අබලන් පැරණි නිවසෙහිද ඡායාරූප කිහිපයක් ගෙන පිටත් වූයේ ඉක්මණින් කාර්යාලයට ගොස් ප්‍රධාන කර්තෘට ප්‍රවෘත්තිය භාරදීමටය. අතරමගදී ප්‍රවෘත්තියට නියම සිරස්තලයක්ද ඔහුගේ සිතට නැඟුනේය. “කුරිරු නිවෙස් හිමියා හිඟ කුළිය නොගෙවූ අසරණ මහල්ලා නිවෙසින් එළියට ඇද දමයි” වහ වහා පුවත්පත් කාර්යාලයට පැමිණි වාර්තාකරුවා නෙගටිව් පටලය ඡායාරූප මුද්‍රණ අංශයට භාරදී වාර්තාව ලියන්නට පටන් ගත්තේය. සුළු වේලාවකින්ම තම කාරිය නිම කළ ඔහු එවෙලේම අතට ලැබුනු මුද්‍රණය කරන ලද ඡායාරූප කිහිපයද රැගෙන ප්‍රධාන කර්තෘවරයාගේ මේසය ඉදිරිපිට පෙනී සිටියේය. වාර්තාව අතින් ගෙන එය උඩින් පල්ලෙන් කියවූ කර්තෘවරයා එය මේසය මත හෙලා මුහුණ ඇඹුල් කරගනිමින් අවඥාවෙන් මෙන් ආධුනික වාර්තාකරුවා දෙස බලා නිකමට මෙන් ඡායාරූප කිහිපය දෙස බැලීය. එහි වූ මහල්ලාගේ ඡායාරූපයක් අතට ගත් ඔහු මහත් උවමනාවෙන් ඒ දෙස බලා දෑස නළල් තලය දක්වා යවමින් වහාම පුටුවෙන් නැඟී සිටියේය. මෙතරම් ආසාවෙන් රැගෙන ආ ප්‍රවෘත්තිය කුණු කූඩයට වැටීමෙන් අපේක්ෂා භංගත්වයට පත්ව සිටි වාර්තාකරුවා කර්තෘවරයා දෙස මුව අයා බලා සිටියේ ඊළඟට කුමක් සිදුවේදැයි දෙගිඩියාවෙනි. “තමුසේ දන්නවද මේ මහළු මිනිහා කවුද කියලා?” අන්දමන්ද වූ වාර්තාකරුවා ගොත ගසමින් “නෑ..නෑ..නැහැ” යැයි කියාගත්තේය. “අයිසේ මේ තමයි ගුල්සාර්ලාල් නන්ද. ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙක්.” වාර්තාකරුවා තුෂ්ණීම්භූතව බලා සිටියදී එම පුවත පත්‍රයේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස සැකසිණි. “ඉන්දීය හිටපු අගමැති දුක්ඛිත ජීවිතයක් ගත කරයි” දෙවරක් ඉන්දියාවේ අගමැති පදවිය ඉසුලූ හා ජාතික ඇමැතිවරයකු ලෙස දිගු කලක් සේවය කොට විශ්‍රාම ගිය 94 හැවිරිදි ගුල්සර්ලාල් නන්ද මහතා කුළී ගෙවාගත නොහැකිව නිවෙසින් එළියට දමා ඇතැයි යනුවෙන් පසුදා පුවත්පතෙහි පළවූ ප්‍රධාන ප්‍රවෘත්තිය ඉන්දීය රාජ්‍ය නායකත්වය මහත් කැළඹීමට පත් කරන්නට සමත් විය.

පසුදින උදයේ මහළු මිනිසාගේ නිවස ඉදිරිපිටට වේගයෙන් පැමිණ නැවැත්වූ ප්‍රභූ වාහන පෙළක් නිසාවෙන් අසල්වැසියන් එළියට බැස විපරම් කරන්නට වූහ. විමසීමේදී ඔවුනට දැනගත හැකිවූයේ තම අසල්වැසි මහල්ලා වනාහී ඉන්දියාවේ දෙවරක්ම අගමැති පදවියට පත්වූ සම්භාවනීය පුද්ගලයකු බවයි. මේ ආරංචිය ඇසූ නිවෙස් හිමියා වහා දිව විත් මහල්ලාගේ දෙපා මුල වැටී සමාව අයැද සිටියේය. පැමිණ සිටි රාජ්‍ය නිලධාරීහු හිටපු අගමැතිවරයා අමතා රජය නොදැනුවත්ව සිදුවී ඇති මෙම තත්ත්වය පිළිබඳව කනගාටු වන බවත් සියලු පහසුකම් සහිත රජයේ නිවාසයක් ඔහුට ලබාදෙන ලෙස උපදෙස් ලැබී ඇති බවත් මෙසේ පැමිණියේ හිටපු අගමැතිවරයාව එහි කැඳවාගෙන යෑමට බවත් පැවසූහ. එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළ ගුල්සර්නන්ද හිටපු අගමැතිවරයා තමා නිලයෙන් විශ්‍රාම ලබා ඇති නිසා රාජ්‍ය දේපළක් පාවිච්චි කිරීම සදාචාර නොවන බව ඔවුනට පවසන ලද්දේය. තමන්ගේ ජීවිතයේ ඉතිරි සුළු කාලය මෙසේ සරළව ගෙවීම තම කැමැත්ත බවත් පැවසීය.

1898 බි්‍රතාන්‍ය යටත් විජිත සමයේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කොට්හිදී උපත ලැබූ ගුල්සර්ලාල් 1957 මැතිවරණයෙන් ජයගෙන ඉන්දීය පාර්ලිමේන්තුවට (ලෝක් සභා) පිවිසෙන අතර කම්කරු, රැකීරක්ෂා හා සැලසුම් අමාත්‍ය ධුරයට පත්විය. ඔහු 1962 සිට 63 දක්වා කම්කරු හා රැකීරක්ෂා අමාත්‍ය ධුරයද 1963 සිට 66 දක්වා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයද දරණ ලද්දේය. 1964 දී සිදුවූ අගමැති ජවහර්ලාල් නේරුගේ අභාවයෙන් පසුව දින 13 ක්ද 1966 දී සිදු වූ ලාල් බහදුර් ශාස්ත්‍රීගේ අභාවයෙන් පසු දින 14 ක්ද වශයෙන් ගුල්සාර්ලාල් දෙවරක්ම අන්තර්වාර අගමැතිවරයා ලෙසින් කටයුතු කළේය. ඔහුගේ අන්තර්වාර අග්‍රාමාත්‍ය ධුර කාල දෙකම ඉන්දියාවට අතිශය වැදගත් වන්නේ 1964 දී චීනය සමගත් 1966 දී පාකිස්තානය සමගත් වූ යුද්ධ දෙකක් අවසානයේ ඉන්දියාව අතිශය අර්බුදකාරී වාතාවරණයක පැවති සමයන් නිසාය.

ඉන්දිරා ගාන්ධි අගමැතිනිය විසින් හදිසි නීතිය පැනවීමට තදින් විරුද්ධ වූ ගුල්සර්ලාල් 1971 දී දේශපාලනයෙන් සමුගත්තේය. ඉන්දීය නිදහස් සටනේදී මහත්මා ගාන්ධි හා එක්ව බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව සිදු කළ අවිහිංසා හර්තාල් ව්‍යාපාරයේ ප්‍රබල සටන්කාමියකු වූ ඔහු නිදහසින් පසු නිදහස් සටන්කාමීන් සඳහා ඉන්දීය රජය විසින් ආරම්භ කළ ඉන්දීය රුපියල් 500 ක් වූ මාසික විශ්‍රාම දීමනාවද ප්‍රතික්ෂේප කළේ නිදහස් සටන්කාමියකු ලෙස කටයුතු කළේ මුදල් බලාපොරොත්තු නොවන බව සඳහන් කරමිනි. දේශපාලනයෙන් විශ්‍රාම යනවිට ගුල්සාර් සතුව කිසිදු දේපලක් තිබූයේ නැත. අවම වශයෙන් වාසය කරන්නට නිවසක් පවා නොවීය. විශ්‍රාම ගැනීමෙන් පසු සිය දියණිය සමග නව දිල්ලියේ ආරක්ෂක ජනපදයේ කුළී නිවසක පදිංචි වූ ඔහු වැඩිකල් නොගොස් ඉන් ඉවත් වූයේ ඊට කුළී ගෙවා ගැනීමට නොහැකි වූ බැවිනි. සිය දරුවන්ගෙන් හෝ මිතුරන්ගෙන් උදව් ගැනීමට අකැමති වූ ගුල්සාර් ඉන්පසු අහමාබාද්හි අඩුආදායම්ලාභීන්ගේ නිවාසයක පදිංචියට ගියේය.

එහිදීද හිඟ ගෙවල් කුළී ගෙවාගත නොහැකිව එළියට ඇද දැමූ අවස්ථාවේ රාජ්‍ය අනුග්‍රහය ප්‍රතික්ෂේප කළ ගුල්සාර්ගෙන් ඔහුගේ මිතුරකු වූ ශීල් භද්‍රයාජී නිදහස් සටන්කාමීන්ට ගෙවනා රුපියල් 500 දීමනාව ලබාගැනීමට බලෙන් මෙන් ඔහුගේ අත්සන ලබාගත්තේ ඉන් ගෙවල් කුළිය ගෙවිය හැකි බව දන්වමිනි.

පුවත්පත් වාර්තාවෙන් අවදි වූ ඉන්දීය රජය 1997 දී ගුල්සර්ලාල් නන්ද වෙත සිවිල් පුරවැසියකුට පිදිය හැකි ඉහළම සම්මානය වූ භාරත රත්න සම්මානය පිරිනැමීය. 1998 ජනවාරි 15 වන දින වයස අවුරුදු 99 දී ගුල්සර් මියගිය අතර 1999 දී ඉන්දීය රජය ඔහුගේ රුව සහිත සමරු මුද්දරයක් නිකුත් කරන ලද්දේය. ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ ගුල්සර්ලාල් නන්ද සමග ශ්‍රී ලංකාවේ දේශපාළුවන් සංසන්දනය කොට ලේ ධාතුව දූෂ්‍ය නොකරගන්නා ලෙස දයාබර පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment