නිවස හැදීමට ගත් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ පියා දිවි නසාගනී

624

සිය නිවස උකසට තබා නිවසක් සෑදීමට බැංකු ණයක් ගත් පුද්ගලයකු එම ණය මුදල ගෙවාගත නොහැකි වීම ගැන කලකිරී කනේරු ඇට කා දිවිනසා ගැනීමේ පුවතක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයකදී අනාවරණය විය.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ තිපෝගම, කෝන්ගොඩැල්ල පදිංචිව සිටි අමරකෝන් මුදියන්සේලාගේ චන්ද්‍රසේන නමැති 65 හැවිරිදි අයෙකි.

මේ සම්බන්ධව මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවැති අතර එහිදී මියගිය අයගේ බෑණා වන රත්නායක මුදියන්සේලාගේ හර්ෂ චතුරංග (28) යන අය සාක්‍ෂි දුන්නේය.

මියගොස් සිටින්නේ මගේ බිරිඳගේ තාත්තා, මාමා බැංකු ලෝන් එකක් ගත්තා. ගේ උකස් තියලා ඒ සල්ලිවලින් ගේ හැදුවා. ඒ ණය මුදල ගෙවා ගන්න බැරිව ප්‍රශ්න අතර සිටියා. මේ මුදල ගෙවා ගන්න බැරි වුණොත් කලිනුත් වහ බොනවා කියලා කිව්වා. පසුව බිරිඳගෙන් මට කෝල් එකක් දීලා කිව්වා තාත්තා කනේරු ඇට කාලා වමනෙ දාලා ඉන්නවා කියලා යැයි බෑණා සාක්‍ෂි දෙමින් කීය.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි ධම්මි ලුවිස් හේවා මහත්මිය විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූවාය.

මරදාන පොලිසියේ පොලිස් සැරයන් මර්වින් (31924) සහ පොලිස් සැරයන් කොඩිතුවක්කු (48740) යන නිලධාරීහු මෙහිදී සාක්‍ෂි මෙහෙය වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment