නිවැරදි දිවි පැවැත්මකට ආයුර්වේදයෙන් උපදෙස්

533

(චරක සංහිතාවේ සද්වෘත්තය ඇසුරින්)

වත්මන් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ එය සමනය කර ගැනීමට අවැසි ඖෂධයන් නිපදවීම කෙරෙහියි. බටහිර වෛද්‍ය ක‍්‍රමයට අනුව රෝග ව්‍යුපශමනය ප‍්‍රධාන අභිමතාර්ථය වුවත් පෙරදිග ආයුර්වේදාගත වෛද්‍ය ශාස්ත‍්‍රයෙහි ප‍්‍රමුඛ කාර්යය වන්නේ ස්වස්ථ්‍යයාගේ ස්වස්ථ බව නොහොත් නිරෝගී පුද්ගලයාගේ එම නිරෝගී බව ආරක්‍ෂා කර ගැනීමයි. චිකිත්සාව නොහොත් ආතුරයාගේ රෝග නිවාරණය දැක්වෙන්නේ දෙවැන්න වශයෙනි. (ප‍්‍රයෝජනඤ්චාස්‍ය ස්වස්ථස්‍ය ස්වාස්ථ්‍ය – රක්‍ෂණමාතුරස්‍ය විකාරඃ ප‍්‍රශමනඤ්ච – චරක සංහිතා, සද්වෘත්තයයි.) මේ අනුව ජීවිතය පිළිබඳ සමස්තය අන්තර්ගත වෛද්‍ය ක‍්‍රමයක් වන පෙරදිග ආයුර්වේදාගත වෛද්‍ය ශාස්ත‍්‍රානුකූලව රෝගයකට පිළියම් සෙවීමට වඩා එයට ගොදුරු නොවන ආකාරයෙන් කායික සහ මානසික යන දෙඅංශයෙන් ම සුවදායී සෞඛ්‍යවත් ජීවිතයක් පවත්වා ගැනීම අදහස් කෙරේ. ඒ සඳහා නිවැරදි ඇවතුම් පැවතුම් මෙන්ම යහපත් ආහාර විහාර පිළිබඳව ආයුර්වේදයේ සඳහන් කොට ඇති දින චර්යාව, සද්වෘත්තය, ධර්ම චර්යාව යන කොටස් තුළින් මනාව පෙන්වා දී ඇති මෙම ලිපියෙන් අපේක්‍ෂා කෙරෙන්නේ ආයුර්වේදයේ චරක සංහිතාවට අයත් සද්වෘත්තය නිවැරදි දිවි පැවැත්මකට කෙසේ බලපාන්නේ ද යන්න විග‍්‍රහ කිරීමටයි.

ආයුර්වේදයට අනුව ඇස, කන, නාසය, දිව, සහ ශරීරය යන පඤ්චේන්ද්‍රියයෝ තේජෝ, ආකාශ, පඨවි, ආපෝ, සහ වායු යන පඤ්ච මහාභූතයන් ඇසුරු කොට, ඒවාම ස්වභාව කොට, ඒවාම ප‍්‍රධාන කොට පවතිත්, තත් ඉන්ද්‍රිය විෂයයෝ තත් භූතාත්ම විෂයයන් හා අතියෝග, අයෝග, හීනයෝග, හෝ මිථ්‍යායෝග වූ කල්හි මනස සහිත වූ ඉන්ද්‍රිය සමූහයාගේ විපිළිසර භාවයෙන් ඒ ඒ විෂයයන් පිළිබඳ බුද්ධිය හීනත්වයට පත් වේ. ‘අතියෝග’ නම් පමණ ඉක්මවා යමක නිරත වීම හෝ යමක් භාවිත කිරීමයි. ‘අයෝග’ යනු කිසිවක් භාවිත නොකිරීමයි. ‘හීනයෝග’ යනු ප‍්‍රමාණයට වඩා අඩුවෙන් භාවිත කිරීම වන අතර ‘මිථ්‍යායෝග’ නම් වැරදි අයුරින් භාවිත කිරීමයි. ඒ අනුව තත් ඉන්ද්‍රිය සහ විෂයයෝ අතියෝග, අයෝග, හීනයෝග හෝ මිත්‍යායෝග නොවී සමව පවත්වා ගැනීමෙන් ඔවුහු ප‍්‍රකෘති ස්වභාවයටත් හීන වූ බුද්ධීන්ගේ වර්ධනයටත් හේතු වන්නා හි සරලව පවසන්නේ නම් අපගේ කි‍්‍රයාකාරකම් වල පැවැත්මෙහි සමබරතාව වෙනස් වුවහොත් එය කායික රෝ්ග සඳහා පමණක් නොව මානසික රෝග සඳහා ද හේතු වන්නේ යි. සියලූ කි‍්‍රයා සමව පවත්වා ගැනීම සඳහා ඉවහල් වන කටයුතු වල නිරත වීමෙහි වැදගත් කම ආයුර්වේදයේ නිරන්තර සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ ඒ සඳහා ඖෂධ භාවිතය නොව නිවැරදි චර්යාත්මක පැවැත්ම හේතු සාධක වන හෙයිනි. එසේ පුද්ගලයාගේ ඉඳුරන් සංවරයත් නිරෝගී කමත් ලබා දෙන්නා වූ යහපත් සමාජ චර්යාත්මක පැවැත්ම පිළිබඳව උපදේශාත්මක කරුණු රැසක් අන්තර්ගත කොටසක් ලෙස ආයුර්වේදයේ සද්වෘත්තය පෙන්වා දිය හැකියි. එහි ඇතැම් කරුණු හින්දු ආගමික මතවාද සමග සම්බන්ධ වුවත් ඒවායේ අර්ථ ගැලපෙන පරිදි ජීවිතය හා සම්බන්ධ කරගත හැකියි. සද්වෘත්තයේ සඳහන් කරුණු පහත දැක්වෙන අනු කොටස් යටතේ සාකච්ඡාවට බඳුන් කළ හැකි යි.

  1. පවිත‍්‍රතාව

විවිධ වසංගත සහ වෛරස් වැනි බෝවන රෝග සඳහා ප‍්‍රධාන හේතුවක් වන්නේ පුද්ගලයාගේ සහ බාහිර පරිසරයේ අපිරිසිදු බවයි. මනා පවිත‍්‍රතාව පිළිබඳව ආයුර්වේදයේ බෙහෙවින් අවධානය යොමු කර ඇත්තේ එනිසා යි. අත් පා මනා පවිත‍්‍රතාවකින් යුතුව තබා ගැනීම, පිරිසිදු වස්ත‍්‍ර දැරීම, අත් ආදියකින් මුව නොවසා ඈනුම් ඇරීම, කිවිසීම, සිනාසීම යන මේවා නො පවත්වන්නේ ය (නානාවෘතමුඛො ජෘම්භාං ක්‍ෂවථුං හාස්‍යං වා ප‍්‍රවර්තයෙත්) වැනි කරුණු වසර දහස් ගණනකට පෙර පවා නිරෝගී බව පවත්වා ගැනීමට හේතු වන අයුරු පෙන්වා දී තිබීම සුවිශේෂී කරුණකි.

ආහාර ගැනීමේ දී එම ආහාර වල පිරිසිදු බව පමණක් නොව තම ශරීරයේ පිරිසිදු බව පිළිබඳව ද සැලකිලිමත් වීම වැදගත් වේ. අතපය, මුහුණ සහ කට නො සෝදා ආහාර නොගත යුතු බව (නාප‍්‍රක්‍ෂාලිතපාණිපාදවදනො නාශුද්ධමුඛෝ අන්නමාදදීත) පෙන්වා දී ඇත්තේ එනිසා යි. එසේම කායික පැවැත්මෙහි පවිත‍්‍රතාව පවත්වා ගැනීම උදෙසා දෙසතියක් තුළ තුන්වරක් හෙවත් දින පසින් පසට කෙස්, රැවුළු, ලොම්, සහ නිය කැපීම යනාදියෙහි වැදගත්කම පෙන්වා දී ඇත. තම පවිත‍්‍රතාව නිවැරදිව පවත්වා ගන්නා පුද්ගලයා වෙනත් අපවිත‍්‍රස්ථාන දර්ශනය පවා අපි‍්‍රය කරයි. එය ඔහුට අප‍්‍රසන්න හැ`ගීමක් ජනනය කෙරෙන හෙයිනි. අපවිත‍්‍ර වස්ත‍්‍ර, ඇට කැබලි, කටු, අපවිත‍්‍ර කෙස් හා ලොම්, දහයියා, බොරළු, අළු, මැටි කබල්, හිස් කබල්, ස්නානය කරන බිම් සහිත ස්ථාන අත්හැරිය යුතු බව (කුචෙලාස්ථිකණ්ටකාමෙධ්‍යකෙශතුෂොත් කරභස්මකපාලස්නානබලිභූමීනාං පරිහර්තා) සද්වෘත්තයේ දක්වා ඇත්තේ මේ නිසා යි.

  1. නිවැරදි ඖෂධ භාවිතය

තම රෝගයට ගැළපෙන ලෙස ඖෂධ භාවිත කිරීමේ වැදගත්කම සද්වෘත්තයේ පෙන්වා දී ඇත. (ඔෂධීඃ ප‍්‍රශස්තා ධාරයෙත්) අද වනවිට ඇතැම් පුද්්ගලයන් රෝගයක් නොමැති වුවත් ඖෂධ භාවිත කරන අවස්ථා දක්නට ලැබේ. එසේම ස්වභාවික ප‍්‍රතිශක්තියකින් සුව වන රෝග සඳහා ද ස්වභාවිකව පවත්නා ශරීර වර්ණය, පැහැය, වෙනස් කිරීමට ද ඖෂධ භාවිත කරනු දක්නට ලැබේ. එය පසු කාලීනව නිරෝගී ශරීරය රෝගී වීමට ද හේතුවක් විය හැකි යි.

  1. නිවැරදි ආහාර භාවිතය

ආයුර්වේදයට අනුව කායික ස්වස්ථතාව සහ ආහාර අතර ඇත්තේ මනා සබැඳියාවකි. ආහාර මගින් ආයු, වර්ණ, සැප, බල, ප‍්‍රඥා, තුෂ්ටි, පුෂ්ටි, අධිපති යන ප‍්‍රයෝජන අට ලැබෙන බව එහි පෙන්වා දී ඇතත් ඒවායේ පවත්නා ගුණයන්හි වෙනස් කම් සහ වැරදි ආහාර පුරුදු නිසා කායික රෝගී බවට ද හේතු වන්නේ ආහාරම බව පෙන්වා දී ඇත. මේ නිසා නිවැරදි ජීවන ක‍්‍රමයකට අවශ්‍ය ලක්‍ෂණ පෙන්වා දෙන සද්වෘත්තයේ නිවැරදි ආහාර විහරණය පිළිබඳව ද බෙහෙවින් අවධානය යොමු කර ඇති පැරණි හෝ පිළුණු වූ ආහාර නොගැනීම (න ප‍්‍රතිකූලො පරිහතමන්නමාදදීත), රාතී‍්‍ර කාලයේ දී කිරි ආහාරයට නොගැනීම (න නක්තං දධි භුඤ්ජීත), වක‍්‍ර වූ ශරීර ඇතිව ආහාර ගැනීමෙන් වැළකීම (නානෘජුඃ ක්‍ෂුයාන්නාද්‍යාත්) යනාදිය ඉන් සමහරකි. මේවාට අමතරව ආහාර ගන්නා අවස්ථාවෙහි සංවරශීලී සමාජ චර්යාත්මක පැවැත්ම කෙරෙහි ද කරුණු දක්වා ඇති ස්නානය නොකොට, කිලිටි වස්ත‍්‍ර හැඳ, ඉෂ්ට දේවතාදීන් නොපුදා, පිතෘදේවතාවන් සන්තර්පණය නොකොට, ආගන්තුකයන්ට ආහාර නොදී, අප‍්‍රසන්න වූ සිතින් ආහාර නොගත යුතු බව සඳහන් කර ඇත. එසේම කුසගින්නෙන් පෙළෙන සේවකයන් සමීපයේ ඇති කල්හි, බලූ, බළල් ආදි සතුන් සමීපයේ ඇති කල්හි සහ ආහාරය කෙරෙහි කැත වචන පවසමින් භෝජනාදිය නොගත යුතු බව පෙන්වා දී ඇත. මෙම කරුණු තුළින් පැහැදිලි වන්නේ ආයුර්වේදය, නිවැරදි ආහාරය මෙන්ම ඒ හා සබැඳි විහරණ කෙරෙහි ද දක්වා ඇති අවධානයයි.

  1. නිවැරදි විහරණයන් සහිතව වාසය කිරීම

ආයුර්වේදයේ ‘ආහාර’ යන වචනයට පසුව ‘විහරණ’ යන වචනය සමීපව යෙදී ඇති අයුරු සුලබව දක්නට ලැබේ. එයට හේතුව නිරෝගී පැවැත්ම උදෙසා නිවැරදි ආහාර ගැනීම මෙන්ම නිවැරදි විහරණය ද එකසේ වැදගත් වන හෙයිනි. ඒ අනුව යාම්-ඊම්, ඉඳුම්-හිටුම් යන සෑම ඉරියව්වක්ම නිවැරදිව පවත්වාගන්නේ කෙසේද යන්න පෙන්වා දීමට සද්වෘත්තයේ වැඩි කොටසක් වෙන්කොට ඇත. ඒ අනුව අප නිවස තුළ සයනය කළ යුතු ආකාරය පෙන්වා දී ඇත්තේ ඇතිරිලි රහිත, කොට්ට මෙට්ට නැති, නියම ප‍්‍රමාණයට උස මහත ඉඩකඩ නැති, අසම වූ යහන් වල සයනය නොකරන ලෙස උපදෙස් දෙමිනි. නිවසින් පිටත ගමන් කරන විට විවිධ ස්ථානයන්හි දී අනතුරු වලට පත් නොවී සිටීමට අවශ්‍ය උපදෙස් ලෙස පර්වතයන්හි, විෂම මුදුන් ඇති ස්ථානයන්හි සහ උස් වූ වෘක්‍ෂයන්හි නැගීමෙන් වැළකීම

(න ගිරිවිෂමමස්තකෙෂ්වනුචරෙත්), සැඩ පහර දරුණු වූ ජලය සහිත ස්ථානයන්ට බැසීමෙන් වැළකීම (න ද්‍රැමමාරොහෙත්), අනතුරක් සිදුවිය හැකි යැයි සිතෙන දුෂ්ට යානාවලට නොනැගීම (න දුෂ්ටයානාන්‍යාරොහෙත්) ගිනි රැස් අබිමුවට යෑමෙන් වැළකීම (නාග්න්‍යුත්පාතමභිතශ්චරෙත්), දේවාල, පූජ්‍ය වෘක්ෂ, තුන් මංසල්, සිවු මංසල්, උයන්, සොහොන්, මරණ දඬුවම් දෙන තැන් යන ස්ථානයන්හි රාතී‍්‍ර වාසය කිරීමෙන් වැළකීම, රාතී‍්‍ර කාලයෙහි නුපුරුදු නොදන්නා දේශයන්හි හැසිරීමෙන් වැළකීම (න නක්තං නාදෙශෙ චරෙත්), හිස් ගෙවල හා වනයන්හි හුදෙකලාව නොපිවිසීම (නෛකඃ ශූන්‍යගෘහං න චාටවීමනුප‍්‍රවිශෙත්) යන කරුණු පෙන්වා දී ඇත. එසේම එදිනෙදා ව්‍යායාම සිදු කරන්නේ නම් විඩාව ඇති වන්නට පෙර හෙවත් වෙහෙස දැනුනාට පසු එම ව්‍යායාමය අත්හැරිය යුතු බවත් (ප‍්‍රාක් ශ‍්‍රමාද් ව්‍යායාමවර්ජී ස්‍යාත්) දක්වා ඇති අධික ලෙස වෙහෙසීම ද කායික සුවතාව සඳහා උචිත නොවන්නක් හෙයිනි.

  1. කායික සංවරය පවත්වා ගැනීම

නිවැරදි දිවි පැවැත්මක් සහිත පුද්ගලයා තමාගේ කායික සංවරය ගැන ද සිතමින් කටයුතු කරයි. භික්ෂුවගේ බාහිර පැවැත්මෙහි සංවරය සඳහා බුදුන් වහන්සේ සේඛියා නමින් ශික්‍ෂා පද හැත්තෑ පහක් දේශනා කර ඇත. එය අප‍්‍රසන්න වූවන්ගේ පැහැදීම සඳහාත් ප‍්‍රසන්න වූවන්ගේ එම පැහැදීම වඩා වර්ධනය සඳහාත් හේතු වන්නක් හෙයිනි. ආයුර්වේදයට අයත් සද්වෘත්තයේ ද පුද්ගලයාගේ බාහිර සංවරය සඳහා අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් දක්වා ඇත. ඒවා මෙසේ යි. ගමනෙහි යෙදෙන විට කුඩයක් සහ සැරයටියක් ඇතිව, පාවහන් සහිතව, කථා නොකරමින්, ඉදිරියෙහි වියදණ්ඩක ප‍්‍රමාණයෙන් දුර බැලූම් ඇතිව ගමන් කළ යුතු ය (ඡතී‍්‍ර දණ්ඞී මෞලී සොපානත්කො යුගමාත‍්‍රදෘග්විචරෙත්) යහපත් ආචාරශීලී ගති පැවතුම් ඇත්තෙක් විය යුතු ය (මංගලාචාරශීලඃ) උස් හඩින් සිනා නොවිය යුතු ය (නොච්චෛර්හසෙත්) ද්ව, බ‍්‍රාහ්මණ, ගුරු, වෘද්ධ, ආචාර්යාදි ගරු කළ යුතු පුද්ගලයන් පිදීම, ගෞරව කිරීම කළ යුතු ය (දෙවගොබ‍්‍රාහ්මණගුරුවෘද්ධසිද්ධාචාර්යානර්චයෙත්) ප‍්‍රයෝජනයක් නොමැතිව නාසය සීරීම, දත් වීකීම, නියපොතු ගැටීම නොකළ යුතු යි. අතපය ආදි අවයව වලින් විකෘත කි‍්‍රයා නොකළ යුතු ය (න විගුණමඕගෙශ්චෂ්ටෙත)

  1. යහපත් සිතුවිලි සහිතව වාසය කිරීම

අප මනසින් ඇති කරගන්නා අරමුණු වල ස්වභාවය අනුව ඒවා මානසික මෙන්ම කායික ස්වස්ථතාව කෙරෙහි ද බල පවත්නා බව පෙනේ. රාග, ද්වේෂ, මෝහාදිය අකුසල චෛතසිකයන් බව බුදුදහමෙහි විස්තර වේ. ආයුර්වේදයේ දක්වා ඇත්තේ ති‍්‍රදෝෂයන්ගේ අසමතුලිත බව ලෝභ, ඊර්ෂ්‍යාදි මානසික සිතුවිලි වලට හේතුවක් වන බවයි. සද්වෘත්තයේ ද ක්ලිෂ්ට නොවූ පවිත‍්‍ර මනසක් පවත්වා ගැනීම සඳහා පිළිපැදිය යුතු කරුණු කිහිපයක් දක්වා ඇත. ඉන් එක් කරුණක් නම් අනුන්ට ඊර්ෂ්‍යා නොකිරීමේ ගුණයයි. එය දක්වා ඇත්තේ සාමාන්‍ය ක‍්‍රමයට වඩා වෙනස් ආකාරයෙනි. එනම්, ලෝකයාගේ විද්‍යා, ධන, ධර්ම යනාදිය පිළිබඳ හේතූන්ට ඊර්ෂ්‍යා කරන්නේ නමුත් ඒවායේ ඵලයන්ට ඊර්ෂ්‍යා නොකළ යුතු බව පෙන්වා දෙමිනි. (හෙතාවීර්ෂ්‍යුඃ, ඵලෙ නෙර්ෂ්‍යුඃ)’ ලෝකයේ ධාර්මිකව ධනෝපායන ශිල්පීය ක‍්‍රම දක්නා ලැබේ. අප කළ යුතු වන්නේ ඒවා අනුගමනය කරමින් තම දියුණුව සලසා ගැනීම මිස අනෙකාගේ දියුණුවට ඊර්ෂ්‍යා කිරීම නොවේ. එසේම රාග ද්වේෂ පිළිබඳ හේතූන් නැසීම (රාගද්වෙෂහෙතූනාං හන්තා ච), නරක සිතුවිලි වලින් තොර වීම (නිශ්චින්තඃ), සියලූ ප‍්‍රාණීන් කෙරෙහි මිත‍්‍රයෙකු මෙන් කි‍්‍රයා කිරීම (සර්වප‍්‍රාණිෂු බන්ධුභූතඃ), සතුරාගේ සහ අනුන්ගේ පරුෂ වචන ඉවසීම (පරපරුෂවචනසහිෂ්ණුඃ), ශාන්ති ගුණයෙන් යුක්තව සියල්ල දෙස බැලීම (ප‍්‍රශමගුණදර්ශී), පරස්තී‍්‍රන් සහ අනුන් සතු වස්තුව ඇල්ම ඇති කර නොගැනීම (නාන්‍යස්ති‍්‍රයමභිලෂෙන්නාන්‍යශි‍්‍රයං), මද්‍යපානය, සූදුව, වෙසගනන් යන මොවුන් කෙරෙහි ඇලූම් නොකිරීම (න මද්‍යද්‍යූතවෙශ්‍යාප‍්‍රසඕගරුචිඃ ස්‍යාත්) යනාදිය ද ක්ලිෂ්ට බවින් තොරව පිවිතුරු, නිදහස් මනසක් පවත්වා ගැනීමට මනාව උපකාර වන බව පෙන්වා දිය හැකි යි. අප සමාජයේ බහුතරයක් ලෙඩ රෝග වලට ගොදුරු වෙමින් ඇත්තේ මෙම කරුණු අනුව කි‍්‍රයා නොකොට නිතරම අපවිත‍්‍ර මනසක් සහිතව දිවි ගෙවන්නන් බව සිතිය හැකි යි.

  1. නිවැරදි වාග් කෞශල්‍යය

අප එදිනෙදා ජීවිතයේ මිනිසුන් සමග සන්නිවේදනයේ දී භාවිත කෙරෙන වචන කෙරෙහි බෙහෙවින් සැලකිලිමත් විය යුතු ය. කුමක් නිසා ද යත් යම් එක් වදනකින් වුවත් තවෙකෙකුට අනර්ථයක් සිදුවිය හැකි හෙයිනි. බුදුදහමට අනුව අභයරාජ කුමාර සූත‍්‍රයේ දෙවැනි කරුණ ලෙස දක්වා ඇත්තේ යමක් සත්‍යයක් යැයි දනීද එහෙත් එය කීමෙන් අසන්නාට යහපතක් සිදු නොවන්නේ නම් අකැමැත්ත අමනාපය ඇති කරන්නේ නම් තථාගතයන් වහන්සේ එබඳු දේ කීමෙන් වැළකී සිටින බවයි. සංස්කෘත උපදේශ සාහිත්‍යයේ ද මෙබඳු අර්ථයක් සහිත ශ්ලෝකයක් දක්නා ලැබේ. ‘‘සත්‍යං බ‍්‍රෑයාත් පි‍්‍රයං බ‍්‍රෑයාන්නබ‍්‍රෑහාත් සත්‍යමපි‍්‍රයම් – පි‍්‍රයඤච නානෘතං බ‍්‍රෑයාදෙෂඃ ධර්මඃ සනාතනඃ’’ යනුවෙන් සත්‍ය වූත් පි‍්‍රය වූ දේත් අන්‍යනයන්ට ප‍්‍රකාශ කළ යුතු බවත්, සත්‍ය වුවත් අනෙකෙකුට අනර්ථයක් වන්නේ නම් එබඳු දේ කීමෙන් වැළකී සිටිය යුතු බවත්, එසේ වුවත් අන්‍යයන්ට පි‍්‍රය වුව ද අසත්‍ය දේ ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් පෙන්වා දී ඇත. සත්‍ය වචන සහිත බව නිවැරදි වාග් කෞශල්‍යයට වැදගත් හේතුවක් වේ. සමාජයේ විශ්වාසනීය පුදගලයෙක් ලෙස ඔහු පිළිගැනීමට ලක්වන්නේ එවිටයි. ‘‘නානෘතං බ‍්‍රෑයාත්, සත්‍යසංධඃ’’ යනුවෙන් සද්වෘත්තයේ දක්වා ඇත්තේ ද බොරු කීමෙන් වැළකී සිටිය යුතු බවයි. එය නිවැරදි දිවි පැවැත්මකට හේතු වන චර්යාත්මක ලක්‍ෂණයක් බව එයින් පැහැදිලි වේ.

අන්‍යයන් හා පි‍්‍රයමනාප අයුරින් සම්භාෂණයේ යෙදීම බහුජනපි‍්‍රයතාවට හේතුවක් වේ. බුදුන් වහන්සේ ද ඇතැම් අවස්ථාවල එක්වරම ධර්මදේශනා කිරීමට නොගොස් තම ශ‍්‍රාවකයන් සමග කිසියම් පිළිසඳරක යෙදෙන අයුරු ති‍්‍රපිටක සූත‍්‍ර තුළ නිතර දක්නට ලැබෙන්නකි. (සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්තා) සද්වෘත්තයේ ‘‘පුර්වාභිභාෂී’’ යන පාඨයෙන් දක්වා ඇත්තේ ද අමුත්තන්, පිදිය යුත්තන්, සහ ගෞරව කටයුත්තන් සමග තමා පළමුව බුහුමන් සහිතව කථා කරන තැනැත්තෙක් විය යුතු බවයි. එහෙත් යමක් ප‍්‍රකාශ කිරීමේ දී සුදුසු කාලය පිළිබඳවත්, ප‍්‍රමාණවත් වූ, මිහිරි වූ, ප‍්‍රයෝජනවත් වූ, භාෂණයක් ද යන්න පිළිබඳවත් සැලකිලිමත් වීම වැදගත් බව ‘‘කාලෙ හිතමිතමධුරාර්ථවාදී’’ යන සද්වෘත්ත පාඨයෙන් පෙන්වා දී ඇත. නොකල්හි නුසුදුසු යමක් ප‍්‍රකාශ කිරීමත් එය අහිත සහ අමිහිරි වීමත් නිසා විවිධ අනර්ථදායක විපත් වලට මුහුණ දීමට සිදුවන අවස්ථා සමාජය තුළ බෙහෙවින් දැකිය හැකි අතර එය සාධු චර්යාවට ද බලපෑමක් සිදු කරයි. එසේම අනුන්ගේ දොස් සොයා ඒවා අන්‍යයන් හා ප‍්‍රකාශ නොකිරීමත් (නාන්‍යදොෂාන් බ‍්‍රෑයාත්), අනුන්ගේ රහස් දැනගෙන ඒවා වෙනත් අය සමග ප‍්‍රකාශ නොකිරීමත් (නාන්‍යරහස්‍යමාගමයෙත්) වාග් සංවරය රැකගැනීමට හේතු වන වැදගත් කරුණු දෙකක් ලෙස සද්වෘත්තයේ සඳහන් වේ.

  1. පරෝපකාරය

විපතට පැමිණියවුන් ඉන් මුදා ගැනීමේ අභිප‍්‍රායයෙන් අනුන්ට උපකාර කිරීම සත් චර්යාත්මක පැවැත්මක් සහිත පුද්ගලයෙකු තුළින් නිරතුරු දැකිය හැකි ලක්‍ෂණයකි. මේ දිනවල එහි අවශ්‍යතාව වඩාත් ප‍්‍රකටව දැකිය හැකි යි. මේ ශරීරය පරෝපකාරය සඳහා ම යැයි (පරෝපකාරාර්ථමිදම් ශරීරම්) පූර්ව සකු ප`ඩිවරුන් ප‍්‍රකාශිත වදන් තුළින් ද එය සනාථ වේ. සද්වෘත්තයේ දුප්පත් පුද්ගලයන්ට ඉන් මිදීම සඳහා උපකාර කිරීමත් (දීනානාමභ්‍යුපපත්තා), තමන් විසින් පෝෂණය කළ යුත්තන් ද නොකළ යුත්තන් ද පෝෂණය කිරීමත් (නාභෘතභෘත්‍යඃ) එවැනි උපදෙස් ලබාදෙන අවස්ථා දෙකකි. මෙලෙස කායිකව පමණක් නොව මානසික සහනය ඇති කරලීමට ද උපකාර කිරීමෙහි වැදගත් කම පෙන්වා දෙන අවස්ථා දෙකක් ලෙස බියට පත් වූවන් අස්වසාලීමට කි‍්‍රයා කිරීමත් (භීතානාමාශ්වාසයිතා), කිපුණවුන්ගේ ක්‍රෝධය සන්සිඳුවීමට කි‍්‍රයා කිරීමත් (අමර්ෂඝ්නඃ) පෙන්වා දිය හැකි යි.

  1. ගුණවතුන් ඇසුරු කිරීම

අධාර්මික පුද්ගලයන්ගෙන් ඈත්ව සත්පුරුෂයන් ආශ‍්‍රය කිරීම පුද්ගලයාගේ සාර්ථකත්වයට මනා පිටු බලයක් සැපයෙන්නකි. එවැනි ගුණවතුන් ඇසුරු කිරීම සද්වෘත්තයේ ද කොටසක් බව අධාර්මිකයා, උමතු තැනැත්තා, සදාචාර ගුණයන්ගෙන් හීන තැනැත්තා, ගැබ් නසන්නා, පහත් සිත් ඇත්තා, දුෂ්ටයා යන මෙබන්දන් සමග එක්ව වාසය නොකිරීමට (නාධාර්මිකෛර්න නරෙන්ද්‍රද්විෂ්ෙටෙඃ සහාසීත නොන්මත්තෛර්න පතිතෛර්න භ‍්‍රෑණහන්තෘභිර්න ක්‍ෂුෙද්‍රෙර්න දුෂ්ෙටෙඃ) උපදෙස් ලබාදීමෙන් පැහැදිලි වේ.

  1. ධාර්මිකත්වය

සිත, කය සහ වචනය යන ති‍්‍රවිධද්වාරයෙන් සිදුවන වැරදි වලින් මිදී කටයුතුු කරන අයුරු ඉහත දී සාකච්ඡුා කෙරිණි. සමස්තයක් වශයෙන් මෙහිදී ධාර්මිකත්වය යනුවෙන් දක්වා ඇත්තේ පවිටු කි‍්‍රයාවන්ගෙන් තොරව ඉන්ද්‍රිය සංවරය සහිතව දිවි ගෙවීමේ ඇති වටිනාකම පෙන්වා දීමට ලබා දී ඇති උපදෙස් සඳහායි. ඒ අනුව දිනන ලද ඉඳුරන් ඇතිව ධාර්මිකයෙක් වීම (වශ්‍යාත්මා ධර්මාත්මා), අනුන් සතු දේ පැහැර නොගැනීම (නාන්‍යස්වමාදදීත), පාප කි‍්‍රයා නොකිරීම, පාප කි‍්‍රයාවක් එළඹ සිටිය ද පාපියෙකු නොවීමට පරෙස්සම් වීම (න කුර්යාත් පාපං, න පාපෙ’පි පාපී ස්‍යාත්) යන කරුණු කිහිපය දක්වා ඇත. මෙයින් පැහැදිලි වන්නේ අපගේ බාහිර චර්යාත්මක පද්ධතිය සහ අධ්‍යාත්මික සංවර්ධනය තුළින් පුද්ගලයාගේ ස්වස්ථ බව හෙවත් නිරෝගී බව ආරක්‍ෂා කර ගැනීමට ආයුර්වේදයට අයත් සද්වෘත්තයෙන් ලබා දී ඇති මනා පිටුබලයයි. මෙසේ නිවැරදි දිවි පැවැත්ම පිළිබඳව දැන ඒ අනුව පැවැතීම පුද්ගලයාගේ නිරෝගී බවට හේතුවක් වන අතර ඔහු ශතවර්ෂාදික කාලයක් ජීවත්වන බව ‘‘ස්වස්ථවෘත්තං යථොද්දිෂ්ටං යඃ සම්‍යගනුතිෂ්ඨති – ස සමාඃ ශතමව්‍යාධිරායුෂා න වියුජ්‍යතෙ’’ යන පාඨයෙන් පෙන්වා දී ඇත. එසේම ඔහු මෙලොව සාධු සම්මත සියලූ දෙනාගේ පිළිගැනීමට ලක්වන අතර යසසින් පූර්ණය වේ. ධර්මයත් අර්ථයත් සම්පාදනය කෙරේ ධාර්මික දිවි පැවැත්ම නිසා ලොව සියලූ සතුන්ගේ ඥාතීත්වය ලබයි.

කුඹුරුවෙල සීලානන්ද හිමි
B.A. (Hons) (University of Peradeniya),
M.A. (University of Kelaniya),
Royal Pandith (OSS),
M.Phil. (University of Peradeniya)

advertistmentadvertistment
advertistmentadvertistment