නිවුන්නු ලෝකය ම සුන්දර කරනවා!

395

ප‍්‍රවීණ ලේඛක  – ව.අ. සරත් ලාල් කුමාර

නිවුන් පුද්ගලයන් පිළිබඳව සිංහලෙන් පළවූ පළමු කෘතිය වන ප‍්‍රවීණ මාධ්‍යවේදී හා ලේඛක ව.අ. සරත් ලාල් කුමාරගේ ‘නිවුන්නු’ කෘතිය  පසුගිය 22 වැනි දින මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයේ දී එළිදැක්විණි. මේ, ඒ සම්බන්ධයෙන් එම කෘතියේ කතුවර ව.අ. සරත් ලාල් කුමාර සමඟ කළ සංවාදයකි.

නිවුන්නු ලෝකය ම සුන්දර කරනවා!

රුසියානු සාහිත්‍යයට වැඩි නැඹුරුවක් දක්වන ඔබ ඊට තරමක් වෙනස් සාහිත්‍ය කටයුත්තකට යොමු වී සිටින බව දැනගන්න ලැබුණා. ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්.

මම මගේ සාහිත්‍ය නිර්මාණ බොහොමයක් සිදුකර තිබෙන්නේ පවත්නා සමාජ, දේශපාලන හා ආර්ථික රටාවට සාපේක්ෂව යි. ‘කොරෝනා කාලයේ අසමත් රාජ්‍ය’, ‘71 කැරැුල්ලට පනහයි!’, ‘කළු ජීවිතත් වටී’ යන කෘති ඊට නිදසුන්. ඒ වගේ ම තමයි ‘රුසියාව’ ත්‍රෛමාසිකය සංස්කරණය කර පළකිරීම. එමගින් සෝවියට් රුසියානු සාහිත්‍යය මෙරට පාඨක ප‍්‍රජාව අතර ප‍්‍රචලිත කිරීම මගින් සුවිසල් කාර්යභාරයක් සිදු කෙරෙනවා. ඒ වගේ ම තමයි, මා සතු ‘රුසියාව ප‍්‍රකාශකයෝ’ ප‍්‍රකාශන ආයතනය හරහා සෑම මාසයක ම අලූතින් සෝවියට් රුසියානු සාහිත්‍ය කෘතියක් ප‍්‍රකාශයට පත්කිරීමට කටයුතු කර තිබෙනවා. පසුගිය කොරෝනා සමය තුළ පමණක් එමගින් ග‍්‍රන්ථ දොළහක් පමණ මා ප‍්‍රකාශයට පත්කළා. මගේ අලූත් ම කෘතියේ නම ‘නිවුන්නු’. එය මුළුමනින් ම නිවුන් පුද්ගලයන් අරමුණු කර ලියූ කෘතියක්.

ඔබේ ‘නිවුන්නු’ කෘතිය අපේ රටේ ළමයින්ට විශේෂයෙන් ම නිවුන් දරු දැරියන්ට කුමන ආකාරයෙන් බලපායි ද?

මා ද නිවුන් තැනැත්තකු බව මුලින් ම සඳහන් කරන්න කැමැතියි. ඒ නිසා ම වසර ගණනාවක පටන් මා නිවුන් අය පිළිබඳ තොරතුරු එක්රැුස් කරමින් සිටියා. අපේ රටේ වගේ ම මුළු මහත් ලෝකයේ ම නිවුන් පුද්ගලයන් කියන්නේ හරි පුදුම සංහිඳියාවක් එක්කරන විශේෂිත පුද්ගලයන් පිරිසක්. නිවුන්, තුන් නිවුන්, සිව් නිවුන්, පස් නිවුන් සහ සය නිවුන් වශයෙන් අපේ රටේ නිවුන් වර්ග පහක් සිටිනවා. ඔවුන් ඕනෑ ම තැනෙක කැපී පෙනෙන සුන්දර අය. ඒ නිසා ම, ඕනෑ ම කෙනෙක් ඔවුන් දෙස වරක් නොව, දෙවරක් බලන්න පෙළඹෙනවා. ඔවුන්ගේ සිතුම් පැතුම්, ක‍්‍රියා පිළිවෙත් වගේ ම, ජීවන රටාවනුත් බෙහෙවින් ම විචිත‍්‍ර යි. ඔවුන් බොහෝදුරට එක සමාන වුණත්, ‘කොපි කරන්නන්’ නොවෙයි. ඔවුනොවුන්ට ආවේණික විවිධ චර්යා සහ දක්ෂතා ඇති නිවුන් අය පිළිබඳව මේ කෘතිය පුරා ම සාකච්ඡුා කරනවා. නිවුන් අයෙකු මවකගේ ගර්භාෂයේ පිළිසිඳ ගැනීමේ වෛද්‍ය විද්‍යාත්මක ක‍්‍රියාවලියේ සිට ඔවුන් පිළිබඳ එකිනෙකට වෙනස් චර්යාවන් පිළිබඳවත්, අපේ රටේ සුවිශේෂ නිවුන් චරිත ගැන සහ ලොව නිවුන් පුද්ගලයන් බොහොමයකගේ තොරතුරුත් මා මෙම කෘතියේ අන්තර්ගත කර තිබෙනවා.

ලෝකයේ නිවුන් දරු දැරියන් ඉලක්ක කොට ඇමෙරිකානු ලේඛක වේරියන් ජොන්සන් වැනි ලේඛකයන් අතළොස්සක් අතින් මෙවැනි කෘති බිහිවී ඇතත්, අප දන්නා තරමින් අපේ රටේ නිවුන් දරු දැරියන් ඉලක්ක කොට මෙවන් ග‍්‍රන්ථයක් නිර්මාණය වන්නේ පළමු වතාවට. ඒ ගැන ඔබේ අදහස.

ඒක හරි. ශ‍්‍රී ලංකාවේ නිවුන් පුද්ගලයන් ගැන මීට පෙර මෙවන් කෘතියක් බිහිවෙලා නැහැ. මේ තමයි පළමු කෘතිය. මමත් නිවුන් පුද්ගලයෙක් නිසා ම, ඔවුන් පිළිබඳව එක්රැුස් කරගත් තොරතුරු ඇසුරින් මෙවන් කෘතියක් නිර්මාණය කිරීමට හැකිවීම කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු සිහිනයක් මල්ඵල ගැන්වීමක්. නිවුනෙක් ලෙස මා උපත ලබා තිබෙන්නේ මා සමග උපත ලද පළමු දරුවා වන මගේ අයියා උපත ලබා විනාඩි 28කට පසුව යි. ඒ නිසා අපි බලාගත්ත ආච්චි කෙනෙක් නිතර ම කී කතාවක් තමයි ”පුතේ..! ඔයා මැරිල ඉපදුන කෙනෙක් !” කියන එක. අපි දෙන්නා ඉපදුණේ ගෙදර ම නිසා දරු ප‍්‍රසූතිය සිදුවෙන තුරු ම දැනගෙන ඉඳල නැහැ අපි නිවුන්නු බව. ඒ නිසා, අපේ උපත මහා විස්මයක්. අද වගේ සෞඛ්‍ය සේවාවල විශාල දියුණුවක් හැට හැත්තෑව දශකවල තිබුණේ නැහැ. ඒ වගේ ම මගේ මව ඒ වනවිටත් අපට වැඩිමල් දරු දෙදෙනෙකුගේ මවක්. අපි නිවුන්නු වූ නිසා ම පවුලේ, ගමේ, සමාජයේ තිබුණේ හොඳ පිළිගැනීමක්. ඒ නිසා ම අපේ ජීවිතවලට බොහෝ අවස්ථා ලැබී තිබෙනවා. මා හා එක ළඟ උපන් මගේ වැඩිමල් සහෝදරයා අද වාසය කරන්නේ ඇමෙරිකාවේ වුණත්, අපේ සබඳතා හරිම සමීප යි, ළෙන්ගතු යි, විචිත‍්‍ර යි. ඒ නිසා ම වෙන්න ඇති මෙවන් නිර්මාණයක් කරන්න මා යොමු වුණේ.

ඔබ අතින් නිර්මාණය වන ‘නිවුන්නු’ කෘතිය ජනගත කරන්න ඔබ යොදාගෙන තිබෙන්නේ ඉතා වෙනස් ආකාරයක්. ඒ පිළිබඳ මඳක් විස්තර කළොත්.

මගේ මේ කෘතිය නිර්මාණය කරන අතරතුර නිවුන් අය වෙනුවෙන් ම කැපවී කටයුතු කරන ‘ශ‍්‍රී ලංකා නිවුන් සංවිධානයේ’ උපුලි ගමගේ හා චම්ලි ගමගේ සමඟ කතා කළා. එවන් අවස්ථාවක මගේ උත්සාහය අගය කළ උපුලී මට පුදුම හිතෙන යෝජනාවක් කළා. ඒ තමයි 2022.02.22 සවස 2.22 ට නිවුන්නු වෙනුවෙන් ඔවුන් විශේෂ වැඩසටහනක් කරන්න සූදානම් වන හෙයින්, ඒ මොහොතේ ම මෙම කෘතිය එළි දක්වමු කියන යෝජනාව. එය මා පුදුමයට පත්කළේ බිංදුව හැරෙන්නට එහි සියලූ ම අංක නිවුන් අංක වීම නිසයි. අනිවාර්යයෙන් ම එය ඉතා ආකර්ෂණීය දිනයක් වේවි. ඉතිං මා ඇගේ යෝජනාවට එකඟ වුණා. මෙවන් දිනයක් නැවත අපට හමුවන්නේ 2222 දී. ඒ අනුව 2022.02.22 සවස 2.22 ට කොළඹ 07 මහවැලි කේන්ද්‍රයේ දී තෝරාගත් නිවුන්නු සියයකගේ සහභාගීත්වයෙන් අපි එම සුවිශේෂ වැඩසටහන ආරම්භ කළා. එදින උත්සවයේ සංගීත, නර්තන, නිවේදන ආදී සියලූ ම අංග ඉදිරිපත් කළේ ඒ ඒ ක්ෂේත‍්‍රවල දක්ෂතා දක්වන නිවුන් අය විසින් ම යි. මගේ කෘතිය පිළිබඳ විශේෂ දේශනය සිදුකළේ ප‍්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි. තව ද මාධ්‍යවේදීන් හැරුණු විට මෙම අවස්ථාවට සහභාගී වූයේ නිවුන් අය පමණක් වීම මෙහි විශේෂත්වයක්.

සංවාද සටහන

* අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment