නිශ්චිත රාජ්‍ය ප‍්‍රතිපත්තිමය රාමුවෙන් බැහැරව රට තුළ කිසිඳු වාහනයක් එකලස් කිරීමකට ඉඩ නෑ

199

ශ‍්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් හෙවත් එම කර්මාන්ත ක්ෂේත‍්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප‍්‍රතිපත්තිමය රාමුවක් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සකස් කර දී ඇති බවත් ඉන් බැහැරව ශ‍්‍රී ලංකාව තුළ කිසිඳු වාහන එකලස් කිරීමේ කටයුත්තකට ඉඩ නොතබන බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පැවසීය.

තම මගපෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය හා එහි අදාළ දෙපාර්තමේන්තු, මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා රේගුව, අපනයන හා ආනයන පාලක දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන ද මොරටුව විශ්ව විද්‍යාලයේ අදාල විෂය ප‍්‍රවීණයන් ද ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ උපාංග නිෂ්පාදකයන්ගේ සංගමය හා ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තකරුවන්ගේ සංගමය සම්බන්ධ කරගනිමින් සැකසූ මෙම සම්මත මෙහෙයුම් පටිපාටියට, කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය මාර්තු මස 15 වැනිදා ජනගත කිරීම සිදුකළ බවත් විමල් වීරවංශ මහතා කියා සිටියේය.

මේ වන විට සම්මත මෙහෙයුම් පටිපාටියට අනුකූලව ශ‍්‍රී ලංකාව තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයෙහි ආයතන 11ක් නිරතව සිටින බවත් ඔවුනට දේශීය එකතු කිරීම්වලට අමතරව අවශ්‍ය අනෙකුත් උපාංග ගෙන්වීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් 2021.04.05 දින අංක 2222/03 දරන ගැසට් නිවේදනය නිකුත් කරමින් අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් මෙම වාහන එකලස් කිරීමේ කටයුතු ඉහත කී රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක නිසි අධීක්ෂණය යටතේ සිදුවන බවත් විමල් වීරවංශ මහතා පැවසීය.

මෙම ආයතන 11 විසින් මෝටර් සයිකල්, මෝටර් රථ මෙන්ම ලොරි රථ වැනි වාණිජ වාහන එකලස් කිරීමේ කටයුතු දැනටමත් සිදු කරන බවත් සම්මත මෙහෙයුම් පටිපාටියට අනුව ඔවුන් වාහන එකලස් කිරීමේදී එකතු කරනු ලබන දේශීය උපාංග ප‍්‍රමාණය අනුව 20% සිට ඉහළට බදු සහන ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා, වාහන එකලස් කිරීමේ දී දේශීය උපාංග යොදා ගැනීමේ ප‍්‍රතිශතය ඉහළ යන විට ලැබෙන බදු සහන ද ඉහළ යන බැවින් ඉදිරියේදී මෙම නිශ්චිත රාජ්‍ය ප‍්‍රතිපත්තිය බල ගැන්වීමෙන් ‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ වාහන නිපදවෙනු ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment