නිශ්ශංකගේ නමට අනුමැතිය නොදීම: – ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව නීතිඥයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට

98

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කරන නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කර ඇති නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව එම විනිසුරුවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන තීන්දුවක් නිකුත්කරන්නැයි ඉල්ලා නීතිඥවරයෙක් ඊයේ (14 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ සංජීව කළුආරච්චි මහතා මගින් ගොනු කර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව සහ නීතිපතිවරයා නම් කර ඇත.

සාධාරණ හේතුවක් නොමැතිව ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයාගේ එම නිර්දේශය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව පෙනී යන බවත් ඒ හෙයින් එකී ප්‍රතික්‍ෂේප කිරීමට හේතුපාදක වූ කරුණු ඇතුළත් සටහන් අධිකරණයට කැඳවා විභාගයක් පවත්වන ලෙසටත් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නීතිඥ බුළුගහ පතිරන්නැහැලාගේ සරිත් මහිපුත්‍ර පතිරත්න මහතා එමගින් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයාගේ එකී නිර්දේශ දෙවරක්ම ප්‍රතික්‍ෂේප කිරීම මගින් විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති සැමට සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම් එනම් 12 (1) ව්‍යවස්ථාව අනුව හිමිකම් දී ඇති අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බවත් එබැවින් සිය පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු මේ වනවිට පුරප්පාඩුවී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට වෙනත් අයකු පත් කිරීම වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙසටත් පෙත්සම්කරු ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment