නිසි ලෙස ගබඩා නොකිරීමෙන් අවුරුදු 9 ක්ම රෝගීන්ට දී ඇත්තේ ෆේල් බෙහෙත්!

461

කෝපා වාර්තාවෙන් හෙළි වෙයි

නිසි පරිදි ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 දක්වා කාලය තුළ රෝගීන් වෙත ලබා දී ඇත්තේ සියයට 99ක්ම තත්ත්වයෙන් අසමත් ඖෂධ බව රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) කමිටු වාර්තාවකින් අනාවරණය කර ඇත.

එලෙස තත්ත්වයෙන් අසමත් වූ ඖෂධ සඳහා රජය රුපියල් මිලියන 6259ක් වැය කර ඇති අතර එම මුදල සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමට ද නොහැකි වී ඇතැයි එම වාර්තාව සඳහන් කර සිටී.

මේ නිසා ඖෂධවල සුරක්ෂිතතාව සුරැකෙන පරිදි ඖෂධ ගබඩා කිරීම සඳහා පහසුකම් ඇති කිරීමේ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් අවසන් කරන මෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත නියෝග කොට තිබේ. වෛද්‍ය සැපයීම් අංශය සතු ගබඩාවල උෂ්ණත්වය නිසි ලෙස පවත්වා ගෙන නොමැති බවත්, වෛද්‍ය සැපයීම්, මධ්‍යම ඖෂධ ගබඩාවේ හා රෝහල්වල කොරිඩෝවල තැන්පත් කර ඇති බවත් කමිටුව විසින් නිරීක්ෂණය කොට තිබේ.

මේ අතර, ඖෂධය ලැබුණු වහාම තත්ත්වයෙන් අසමත් බව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අය කර ගැනීමට හැකි බවද, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඖෂධ 60ක තත්ත්ව පරීක්ෂාව සිදු කළ හැකි නම් මෙම තත්ත්වය තරමක් දුරට හෝ මග හරවා ගත හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වාදී තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පසුගියදා (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාවේ මෙම කරුණු සඳහන් වේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment