නිහඬතාව බිඳ දමා මාතෘ භූමිය බේරාගන්න වහා පෙරට එන්න – අනුර කුමාර දිසානායක

534

එක පවුලක අකටයුතුකම් නිසා රට අඳුරුතම යුගයකට ගමන් කරනවා:

වගකීම් විරහිත එක් පවුලකගේ අකටයුතු හේතුවෙන් ඉතිහාසයේ අඳුරුතම යුගයක් කරා රට ගමන් කරමින් ඇති බවත් එවැනි පවුලකට අපේ රටත් ආර්ථිකයත් තවදුරටත් ගොදුරු කිරීමට ඉඩදිය යුතු නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 11 වැනිදා සඳහන් කළේය.

විනාශය කරා යමින් ඇති මාතෘභූමිය බේරා ගැනීමට සෑම සියලූ දෙනා වහා පෙරට පැමිණිය යුතු බවත් ඒ සඳහා නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවත් හෙතෙම කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 11 වැනිදා එම අදහස් පළකලේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

අද වන විට ආර්ථිකයේ විශාල කඩා වැටීමක් තිබෙනවා. ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය රටට විනාශයක් කැඳවන බව අපි දිගින් දිගට පෙන්වා දුන්නා. ඒ වගේම ආර්ථික අර්බුදය විශාල ලෙස තීව‍්‍ර කරන බව පෙන්වා දුන්නා. මේ වන විට මහ බැංකු අධිපතිවරයා ඩොලරය පා කරන ලෙසට නියෝගයක් ලබා දී තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස දින දෙකක් තුළ රුපියල විශාල ලෙස කඩා වැටුණා. එය අපේ රටේ ආර්ථිකයට කිසිසේත් ඔරොත්තු නොදෙන තත්වයක්. එය විසින් රට තුළ විශාල කම්පනයක් ඇතිකර තිබෙනවා. අප රටට ලැබෙන විදේශ සංක‍්‍රාම නොලැබීමේ අවදානම අප පෙන්වා දුන්නා. ඒ අවස්ථාවේ ඩොලරය යම් ප‍්‍රමාණයකට නිදහස් කළේ නම් අද වන විට ඩොලරය 220-225ත් මුදලක රඳවා ගැනීමේ හැකියාව තිබුණා. නමුත් ආණ්ඩුවට නිසි දැක්මක් තිබුණේ නැහැ. ඔවුන් අර්බුදය මෝරන්න ඉඩ දුන්නා. ජලාශයක රබර් බෝලයක් යට කර ගෙන සිටියා වගේ තෙරපුමක් දී සඟවා ගෙන සිටියා. දැන් අවසානයේ එය අත්හැරියා. දැන් එය විසින් ආර්ථික තුළ දැවැන්ත කම්පනයක් ඇති කොට තිබෙනවා.

මෙම තත්වය ආර්ථිකයේ සෑම ක්ෂේත‍්‍රයකටම බලපෑම් ඇති කරමින් ඇති බව පේනවා. මේ වන විට අයි ඕසී සමාගම තෙල් මිල වැඩි කළා. ඔවුන් ඞීසල් ලීටරයක් රු. 75කිද පෙට‍්‍රල් ලීටරයක් රු. 50කින්ද වැඩි කොට තිබෙනවා. පහුගිය කාලයේ තෙල් මිල වැඩිවුණේ රු. 2ක්, 3ක් 5ක් වැනි කුඩා ප‍්‍රමාණයකිනුයි. දැන් එය රු. 50-75 වැනි අධික ප‍්‍රමාණයන්ගෙන් සිදුවනවා. පසුගිය පෙබරවාරි 06වැනිදා සිට මේ මාසයේ 10වැනිදා වන විට අයි ඕසී සමාගම ඞීසල් ලීටරයක් රු. 93කින් වැඩි කොට තිබෙනවා. පෙට‍්‍රල් ලීටරයක් රු. 90කින් වැඩි කර තිබෙනවා. මේ මාසයකට ආසන්න කාලයක් තුළයි. ඩොලරයේ නව තත්වය ඇතිවීමට පෙර ලොකුගේ අමාත්‍යවරයා සිපෙට්කෝ ආයතනය අවම වශයෙන් ඞීසල් ලීටරයක් රු. 81කින් වැඩි කළ යුතු බව කියා තිබුණා. දැන් මේ කඩා වැටීමත් එක්ක එය රු. 121ක් 130 අතර මුදලකින් වැඩි විය හැකියි.

ඉන්ධන මිල ඉහළ යාමත්, ඩොලරයේ කඩා වැටීමත් අපේ රටේ සෑම ක්ෂේත‍්‍රයක්ම අර්බුදයට යවා තිබෙනවා. බේකරි හිමියන්ගේ සංගමය ප‍්‍රකාශයට පත්කර තිබුණේ පාන් ගෙඩියක මිල රු. 20-30 අතර මුදලකින් වැඩි කළ යුතුව ඇති බවයි. දැන් රු. 80ට පාන් ගෙඩියක් අලෙවි වන්නේ නම් එය රු.110 දක්වා මිල ඉහළ යාමට ඉඩ තිබෙනවා. ප‍්‍රධාන පිටි ආනයන සමාගමක් තමන්ගේ පිටි කිලෝග‍්‍රෑම් 01ක් රු. 35කින් මිල ඉහළ දමන බව ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. කිරිපිටි ආයනයනකරුවන් දැන් ප‍්‍රකාශයට පත් කරමින් සිටින්නේ කිරිපිටි කිලෝගෑම් 01ක මිල රු. 300-400 අතර මිලකින් වැඩි කිරීමට සිදුවන බවයි. ගුවන් ටිකට්පත් සමාගම් ටිකට්පතක මිල අවම වශයෙන් 27%කින් ඉහළ දමන බව ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ආර්ථිකයට ඇති කරන ලද කම්පනය විසින් ජනතාවගේ සියලූම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාමට නියමිතයි.

ඒ හා සමාන ලෙස පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ ආනයනය කරන භාණ්ඩ වර්ග 367ක් සඳහා ආනයන සීමා පනවන බවටයි. ඇතැම් භාණ්ඩ සඳහා බදු වැඩි කරන්න, සමහර භාණ්ඩ සඳහා බලපත‍්‍රයක් ලබා දෙන්න. තවත් භාණ්ඩ සඳහා ඒ අවශ්‍යතා දෙකම සම්පූර්ණ කළ යුතු බව එහි සඳහන් වුණා. ඒ අනුව කොන්දේසි 03කට යටත්ව දැඩි ආනයන කොන්දේසි පනවන්න ආණ්ඩුව කටයුතු කර තිබුණා. එය එම භාණ්ඩ ආශ‍්‍රිත වෙළෙඳ ව්‍යාපාරවලට විශාල තර්ජනයක්. ඒ වගේම ඒ භාණ්ඩ ආශ‍්‍රිත ස්වයං රැුකියාවලටත් විශාල බලපෑමක් ඇති කරනවා.

මේ සෑම පැත්තකින්ම පෙන්වන්නේ අපේ රටේ ආර්ථිකය ගැඹුරු අර්බුදයක තිබෙන බවයි. නමුත් ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා ඇතුළු රාපපක්ෂ පවුල බූවල්ලෙකු සේ අපේ රටේ ආර්ථිකයත් රටත් ග‍්‍රහණය කර ගෙන තිබෙනවා. රාජපක්ෂ බූවල්ලාගේ අඩු විහිදුණේ නැති තැනක් නැහැ. කෘෂිකර්මාන්තය, ආර්ථිකය, ආරක්ෂාව, වාරිමාර්ග, ඩිජිටල් තාක්ෂණය, ප‍්‍රාදේශීය සංවර්ධනය, ක‍්‍රීඩාව ආදී සියල්ල රාජපක්ෂ බූවල්ලා විසින් අත්කර ගෙන තිබෙනවා. ඒ නිසා අද පවුලක් විසින් අපේ රටත් අපේ රටේ ජනතාවත් විශාල ව්‍යසනයකට කැඳවා ගෙන යමින් තිබෙනවා. කිසිදු තීන්දුවක් අවශ්‍ය වේලාවේදී, නිසි පරිදි නොගන්නා පාලනයක් අප ඉදිරිපිට නිර්මාණය තිබෙනවා.

මෙවැනි අර්බුදයක් මොහොතක සාමූහික සාකච්ඡාවක් මගින් නිවැරදි තීන්දු තීරණ ගන්නවා වෙනුවට බැසිල් රාජපක්ෂ උදේ නැගිටිනකොට තමන්ගේ හිසට එන හිතළු අද අපේ රටේ ආර්ථික තීන්දු බවට පත්වී තිබෙනවා. කබ්රාල්ගේ හිසට නැගෙන හිතළු ආර්ථික තීන්දු බවට පත් වෙනවා. ජනාධිපතිවරයාගේ ඔළුවේ එළිවෙනකොට ආර්ථික හිතළුවක්වත් ඇති වෙන්නේ නැහැ. ඔහුගේ ඔළුවට එන්නේ වෙන වෙන මනස්ගාතයි. මේ සියල්ල විසින් අපේ රටත් ආර්ථිකයක් මුළුමනින්ම බිඳවට්ටා තිබෙනවා.

මෙවැනි ආර්ථිකයේ සුවිශේෂී ආපදාකාරී තත්වයක් මෑත කාලයේ අප කිසිවෙක් අත්විඳ නැහැ. එය විශාලතම ආර්ථික අර්බුදයක්. මෙවැනි අවස්ථාවක ජනාධිපතිවරයා ජාතිය අමතා මේ අර්බුදයත්, මේ අර්බුදයට විසඳුම් යෝජනාත් රටට ඉදිරිපත් කළ යුතුයි. ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ කණ්ඩායම් අතරමං වී සිටිනවා. අලූත් ආයෝජන සිදුකරන්නේද නැද්ද ඔවුනට ගැටලූකාරී වී තිබෙනවා. පුරවැසියන්ට අද තෙල් නැතිවෙයිද, හෙට තෙල් නැතිවෙයිද යන ගැටලූව තිබෙනවා.

මේ තත්වය තුළ අප මේ රටේ ජනතාවගෙන් අහන්නේ මේ වගකීම් විරහිතව කටයුතු කරන පවුලකට අපේ රටත් ආර්ථිකයත් තවදුරටත් ගොදුරු කිරීමට ඉඩදිය යුතුද යන්නයි. සෑම පුරවැසියෙකුම මේ විනාශකාරීත්වයට එරෙහිව පෙරට පැමිණිය යුතුයි. අපි සූදානම් ඊට නායකත්වය දෙන්න. තවදුරටත් කිසිදු පුරවැසියෙකුට නිහඬතාවයෙන් සිටීමට අයිතියක් නැහැ. අපි සියලූ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ නිහඬතාව බිඳින්න. මේ විනාශය කරා ගෙන යන්නේ ඔබේ දුවා දරුවන්ගේ අනාගතයයි; අපේ මාතෘ භූමියයි. එය
බේරාගැනීම වෙනුවෙන් පෙරට එන සියලූ දෙනාට ආරාධනය කරනවා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment