නිහඬව දිවි සැරිය නිමා කළ ජේම්ස් ලැනරෝල් නම් වූ දක්‍ෂ පරිපාලකයා

248

‘‘දී අයිලන්ඞ්’’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුව සිටි ප්‍රෙමිල් රත්නායක මහතා ලියූ ග‍්‍රන්ථය එළිදැක්වීම ‘‘දී අයිලන්ඞ්’’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයේදී එදා සිදුවූ අවස්ථාවේ ඊට එක්වූ උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපතිව සිටි දොස්තර සීවලී රත්වත්ත මැතිතුමා උපාලි පුවත්පත් සමාගමේ සභාපතිනි ලක්මණී ආර් වෙල්ගම මැතිනිය. එවක කළමනාකාර අධ්‍යක්‍ෂ ධුරයක් දැරූ ජේම්ස් ලැනරෝල් මැතිතුමා හා මාධ්‍යවේදී නාරද නිශ්ශංක ද මෙහි වෙති.

නිහඬව දිවි සැරිය නිමා කළ ජේම්ස් ලැනරෝල් නම් වූ දක්‍ෂ පරිපාලකයා

මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළම පදවි කිහිපයක් හෙබවූ දක්‍ෂ පරිපාලන නිලධාරියකු වූ ජේම්ස් ලැනරෝල් මහතා අභාවයට පත්වූ බව අපට දැනගන්නට ලැබුණේ එතුමන්ගේ අවසන් කටයුතුද සිදු කිරීමෙන් දින කිහිපයකට පසුවය.

එතුමන් ගාල්ල රිච්මන්ඞ් විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූවේය. 1931 වසරේදී එම විදුහලට ඇතුළත් විය. 1944 වසරේදී විද්‍යාලයේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයකු වූ 1945 වසරේදී විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයාට හිමිවන ඩැරල් සම්මානයද හිමිකර ගත්තේය. ඉන් ඉක්බිතිව ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව දේශපාලන විද්‍යාව පිළිබඳව ගෞරව උපාධියද ලැබුවේය. 1955 වසරේදී පමණ ලංකා පරිපාලන සේවයට ඇතුළත්වූ එතුමන් වැඩබලන පුරාවිද්‍යා කොමසාරිස්, වරාය, සංචාරක ගුවන් සේවා, විදුලිබල යනාදී විෂයන්ට අදාළ අමාත්‍යාංශ ගණනාවකම ලේකම්ධුර ඇතුළු ඉහළ පෙළේ පදවි හෙබවීය.

ඉන් ඉක්බිතිව ඇමෙරිකා එක්සත් ජනපද හා පොදු රාජ්‍ය මණ්ඩලයීය තානාපති දූත මණ්ඩල සේවාවේද එතුමන් වරින් වර සේවය කර තිබේ.

ජේම්ස් ලැනරෝල් මහතා සමඟ අපට යම් තරමක සමීපතාවකින් කටයුතු කරන්නට ලැබුණේ ඔහු උපාලි පුවත්පත් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කරන සමයේදීය. උපාලි පුවත්පත් සමාගමේ තීරණාත්මක යම් යම් වකවානුවල එතුමන් ආයාතනය ආරක්‍ෂා කිරීමට ඉටුකළ කාර්ය භාරය ප‍්‍රශංසනීය වූවේය. කළමනාකාරීත්වයේත් විධායකයේත් විශ්වාසය දිනා ගනිමින් පුවත්පත් සාර්ථක ඉලක්කයක් කරා මෙහෙයවන්නට ඉතා දක්‍ෂ පරිපාලකයකු ලෙස ඔහු කළ මෙහෙවර අතිශයින්ම වැදගත් වේ.

විද්‍යාව, තාක්‍ෂණය හා නව දැනුමෙන්ද අපේ ජාතිය සන්නද්ධ කිරීමට එතුමන් තුළ වූයේ මහත් උනන්දුවකි. උපාලි පුවත්පත් සමාගමේ විදුසර පුවත්පතේ ජයග‍්‍රාහී ගමන සඳහා ලැනරෝල් මැතිතුමා එම පුවත්පතේ එදා සිටි කර්තෘවරයා වූ අනුර සිරිවර්ධන ඇතුළු මාධ්‍යවේදීන්ට විශාල සහයෝගයක් ලබාදුන්නේය.

නිරතුරුවම ‘විදුසර’ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදීන් සමඟ සබඳතා තබා ගනිමින් විදුසර විජයග‍්‍රහණය කරා ගෙන යෑමට එතුමන් මහත්සේ ආශාවකින් කැපවූවේය.

‘විදුසර’ පුවත්පතේ එදා අංකුර ලේඛකයන් ලෙස එක්වූ විද්‍යා ලේඛකයන් බොහෝ දෙනකු පසුකලක රට බබලවන කීර්තිමත් වෛද්‍යවරු බවට පත්වූහ. එහි ගෞරවයෙන් කොටසක් එම පුවත්පතේ එදා මෙදා කතුවරුන්ට මෙන්ම ලැනරෝල් මහතාටද හිමිවිය යුතු බව පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

එපමණක් ද නොව ‘වත්මන’ සඟරාවේ හා ආයතනයේ සෙසු පුවත්පත්වල ඉදිරි ගමනටද තීන්දු තීරණ ගනිමින් එතුමන් දැක්වූ දායකත්වයද අපට සිහිපත් වේ.

ආයතනයේ යම් යම් වකවානුවල සේව්‍ය සේවක සබඳතා ශක්තිමත් කරලීමට ගැටලූ දෙස තුලනාත්මකව බලමින් එහිලා පැවැති සාකච්ඡුා සාර්ථක කරලීමට සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතාට සහය වෙමින් මා හට මෙන්ම සෙසු අයට ඉතා ඉවසිලිවන්තව උපදෙස් ලබාදුන් වග මම පෞද්ගලිකව දනිමි.

ජේම්ස් ලැනරෝල් නම බොහෝ කලකට පෙර අපට අසන්නට ලැබුණේ එතුමන් රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු කිහිපයක් හොබවන සමයේදීය.

ඒ පිළිබඳව මේ රටේ සිටින ප‍්‍රකට විදුලි ඉංජිනේරුවරයකුද වන ආචාර්ය සුසන්ත ගුණතිලක අපට පැවසුවේ මෙවැන්නකි.

‘‘එතුමන් මියගිය වග අප දැන සිටියේ නැහැ. මගේ ජීවිතයේ හමුවූ ඉතා අවංක සෘජු තීරණ ගත්ත රට ගැන හිතපු උසස් රාජ්‍ය නිලධාරියකු පරිපාලකවරයකු ලෙස එතුමන් ප‍්‍රසාදයට පාත‍්‍රව සිටියා.

උපාලි පුවත්පත් සමාගමට සේවයට එන්නට පෙර එතුමන් වරෙක විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වුණා. ඒ පත්වීම සිදුකළේ එවක ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ගේ උපදෙස් මතයි. විදුලිබල අංශයේ අක‍්‍රමිකතා කිහිපයක් සිදුවෙමින් තිබෙන බවට අපි එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ජයවර්ධන මහතා දේශපාලනයේ විවාදාත්මක පුද්ගලයෙක් වුවත් ඔහු නිවැරදි තීරණගත යුතු යැයි හා හැ`ගුණවිට එය

ගැනීමට මැලිකමක් දැක්වූවේ නැහැ. ඒ අනුව ලැනරෝල් මහතා කැඳවා ජයවර්ධන මහතා ඔහුට විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් පදවිය භාරදුන්නා. ඒ විතරක් නොවෙයි එතුමන් කෙටි කලක් විදුලිබල විෂය තමන් යටතට පවරාගෙන විෂය භාර ඇමැතිවරයා පවා වෙනස් කළා.

ලැනරෝල් මැතිතුමා විදුලිබල ක්‍ෂේත‍්‍රයේ උන්නතියට එදා වැදගත් තීන්දු තීරණ ගත්තා. දූෂණ වංචා කිසිවකට ඉඩ නොතැබූ අවංක රාජ්‍ය සේවකයකු ලෙස කරපු සේවය ඉතා වැදගත්. ඉංජිනේරු තාක්‍ෂණය පිළිබඳ ක්‍ෂේත‍්‍රය ගැනත් එතුමන් තුළ තිබුණ බුද්ධිය කැපී පෙනුණා. ඒ සියල්ලටම වඩා සෘජු තීරණ ගන්න කිසිවිටක බිය වූයේ නැහැ. ඔහු ‘‘හොඳ මහත්මයෙක්’’ එතුමන් ගේ අභාවය ගැන අපේ සංවේගය පළ කරනවා. ආචාර්ය සුසන්ත ගුණතිලකයන් කීවේය.

1959 වසරේ රිච්මන්ඞ් විද්‍යාලයීය කොළඹ සංගමයෙහි ලේකම්ව හා සභාපති පදවිද දරන බැවින් රිච්මන්ඞ් සඟරාවට 1994 ලියූ ,”RICHMOND TRADITIONS, BRIEF RECOLLECTIONS OF SOME GREAT TEACHERS” ලිපිය රිච්මන්ඞ් සංස්කෘතික හා ගුරු භවතුන් පිළිබඳ අගනා සටහනකි. ඔහු සැබෑ රිච්මන්ඞ්වරයකු ලෙස සමාජයේ ගෞරවයට පාත‍්‍ර වූවෙකි.

සෑම විටම චාම් නිහඬ දිවි පැවැත්මක් එතුමන් තුළින් අපට විද්‍යාමාන වූයේය. අපට අවසන් වරට ඔහු මුණගැසුණේ මීට වසර ගණනකට පෙර උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපති අභාවප‍්‍රාප්ත දොස්තර සීවලී රත්වත්ත මැතිතුමාගේ අවමඟුල් උළෙලට පසුව පැවැති දානමය පුණ්‍යකර්මයට පැමිණි අවස්ථාවේදීය.

තමා මියගිය දිනෙක කිසිදු ප‍්‍රසිද්ධියක් නොදී චාම්ව හා නිහඬව ඉතා සරලව අවසන් කටයුතු කළ යුතු බවට වූ ඔහුගේ අවසන් ඉල්ලීම පරිදි එතුමන්ගේ අවසන් කටයුතු සිදුකළ බව ඒ මහතාගේ පවුලේ ආරංචි මාර්ග පැවසුවේය. එතුමන්ට මොක්සුව අපි ප‍්‍රාර්ථනා කරමු.

නාරද නිශ්ශංක
 

advertistmentadvertistment
advertistmentadvertistment