නිහැඬිතාවය තුළ දෙවිඳුන් අත්දකිමු

114

ලෝකාරම්භයේදී දෙවිපියාණන් වහන්සේ අහසත්, පොළොවත් මැවූ බවත්, මහ පොළොව පාළුව හිස්ව පැවැති බවත් මහ සයුර මත අන්ධකාරය පැවැති බවත් ශුද්ධ ලියවිල්ලේ උප්පත්ති 1/4 තුළින් ගම්‍ය වන්නකි. එයින් අපට පණිවිඩයක් ලැබේ. එනම් ආරම්භයේ සිට නිහඬතාව පැවැති බවය. අපගේ මැවුම්කාර දෙවි සමිඳුන් සොබාදහම තුළින් අපට කතා කරන අතර උන්වහන්සේ සියලූ අවස්ථාවලදී කි‍්‍රයාත්මක වූයේ නිහඬතාව තුළය. නිහඬතාව ලෝකය වෙනස් කරමින් සමාදානය රැගෙන ඒමට හේතු වේ. යම් පුද්ගලයකු තුළ අභ්‍යන්තර නිසලතාව ඈත් වී ගියහොත්, ඔහුගේ සමාජ සබැඳියාව තුරන් වේ. මම කවරෙක්ද යන්න නිසලතාව සමග නිබඳව බද්ධ වී ඇත.

සිතේ අභ්‍යන්තරික නිශ්චලතාව පැවතීම තුළින් විවිධාකාර සිතුවිලි, ආකල්ප උපදී. නොසන්සුන්, කලබල මනසකට එවන් සිතුවිලි ගලා එන්නේ නැත. මෙහිලා අප අවබෝධ කර ගත යුතු දෙයක් පවතී. එනම් සිතේ නිහඬතාව පවත්වා ගැනීමට, බාහිර ලෙස නිශ්ශබ්දතාව අවශ්‍ය නොවන බවයි. බාහිර ලෙස විවිධ ශබ්ද පවත්නා විටෙක වුවද එම ශබ්ද පරදවමින් නිසලතාව ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇත. යම්කිසි ගැටලූවකට විසඳීම් සොයද්දී නිශ්චලතාව ඉතා ප‍්‍රයෝජනවත් වන්නකි. නිසල මානසිකත්වයකින් යුතුව සොබාදහමේ කි‍්‍රයාකාරීත්වය අධ්‍යයනය කළ විට දෙවිපියාණන් වහන්සේ මැවූ විශ්වය තුළ පවත්නා චමත්කාරය, අසිරිමත් බව පිළිබඳව අපට අවබෝධ වේ. සියල්ල ශාන්ත නිසලතාව තුළ ගැලී සිටියදී වාක්‍යාණෝ ස්වර්ගීය සිංහාසනයෙන් බැස මෙලොවට වැඩිය බව ශුද්ධ ලියැවිල්ලේ දැක්වේ.

දෙවිපියාණන් වහන්සේ තමන් වහන්සේ මැවූ ලෝකය දෙස බලා සතුටු වූ බැව් ශුද්ධ බයිබලය තුළ සඳහන් වේ. එමෙන්ම ගීතාවලියෙහි 19 වැනි යැදුම තුළින් නිසල බවේ ගැඹුරු බව මනාව විදහා දක්වයි. දවස උදා වී නිමා වන අන්දම තුළ පවතින්නේ ද ස්වභාව ධර්මයට ආවේණික නිහැඬියාව බව තේරුම් ගත යුත්තකි. හිරු, සඳු, සූර්ය ග‍්‍රහ මණ්ඩලය, නිහඬතාව තුළින් කි‍්‍රයාකාරි වන අන්දම අතිශයින් වර්ණනා විෂය ක‍්‍රාන්තය. අචින්ත්‍යය, ගැඹුරුය. සොබාදහම සහ නිශ්චපලතාව අතර අවියෝජනීය බැඳීමක් දක්නට ලැබේ. ඒවායෙහි කි‍්‍රයාකාරීත්වයන් ඇසට නොපෙනුන ද, කණට නොවැකුණ ද ඒකාග‍්‍රතාවයෙන් යුක්තව ගමනක යෙදේ.

අපගේ සිරුර ද දේව කි‍්‍රයාකාරීත්වයේ අගනා ප‍්‍රතිඵලයකි. එය අපගේ අවශ්‍යතාව මත නිර්මාණය වූ දෙයක් නොවන අතර මැවුම්කාර දෙවිඳාණන්ගේ පරක් තෙරක් නැති බුද්ධිය, දයාව පෙන්නුම් කරයි. අප නිශ්චලත්වයට පත්වී කි‍්‍රයා කරද්දී දේව පරිපාලනය තුළ පවත්නා විශිෂ්ටත්වය මැනවින් පැහැදිලි කරයි.

‘‘අහස් තලය දේව මහිමය පළ කරන්නේය. එතුමන්ගේ අත්කම් විදහා පාන්නේය. එක් රැයක් තව රැයකට එයම පවසන්නේය. කතාවක්, වචනයක් කිසියම් හඬක් ඇසෙන්නේ නැති වුව ද ඒ පණිවිඩය ලොව පුරා පැතිර යන්නේය.’’ යනුවෙන් එය අපට පසක් කරයි. මරිය වහන්සේගේ ජීවිතය තුළ ද නිහඬතාව පැවැති අතර එතුමිය දේව වචනයට සංවේදී වන්නට, බද්ධ වන්නට මුනිවත රැක්කාය. එලෙස අප ජීවිත තුළ ද මුනිවත රකිමින් ඒ තුළින් දෙවිඳුන් අත්දැකීමට පියවර ගනිමු. ඒ සඳහා උන්වහනස්සේ අපට නොමඳව සහාය ලබා දෙති.

මලින්ත බෝපෙආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment