නිළියො එක්ක  වැඩ කළාට  බිරිඳට අවුලක් නැහැ – මිලින්ද මඩුගල්ල

340

රංගනය වෘත්තිය වුණා…. බැංකුවෙන් අයින් වුණා
අධ්‍යක්‍ෂණය කරන්න කලින් නළුවෙක් වෙන්න ඕන

මේ දිනවල ටෙලි නාට්‍ය හතරක විවිධ චරිත මගින් ඔබ හමුවට එන මිලින්ද මඩුගල්ල සමගින් මෙවර මීවිත කතාබහකට එකතු වුණා. එතනදි ක්‍ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ ඔහු මුහුණ දුන්න අපූරු සිදුවීමක් ගැන වගේම තවත් තොරතුරු බොහොමයක් මේ විදිහට විස්තර කළා.

● මිලින්ද මේ දිනවල විවිධ චරිත තුළින් දකින්න ලැබෙනවා?
වීදුරු මල්, බන්ධනා, දෙවැනි ඉනිම සහ මැස්සා යන ටෙලි නාට්‍යවල සතියේ දිනවල වගේම සති අන්තයේ දිනවලත් මාව දකින්න පුළුවන්.

නිළියො එක්ක  වැඩ කළාට  බිරිඳට අවුලක් නැහැ - මිලින්ද මඩුගල්ල

● මේ අතරින් ඔබ වඩාත් කැමති චරිතය?
මේ චරිත ගත්තොත් එකකට විශේෂ කැමැත්තක් තියෙනව කියල කියන්න අමාරුයි. මොකද ඒවා එකකට එකක් වෙනස්.

● මැස්සා ටෙලියේ මැනේජර් මහත්තයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙන චරිතය තමයි මැස්සා ටෙලියේ මැනේජර් මහත්තයා. දෙවෙනි ඉනිමෙන් පස්සෙ මට වැඩිපුරම ප්‍රතිචාර ලැබුණෙ මේ චරිතයට. ඒකට ලැබෙන්නෙ ඒක මරු නේද වෙන විදිහක් නේද වගේ වෙනස්ම ප්‍රතිචාර.

● මෙතෙක් පැමිණි ගමන ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?
ඔව් ඇත්තටම මට සතුටු වෙන්න පුළුවන්. මොකක්දෝ වාසනාවකට මට ලැබුණ චරිත සහ මුණගැහුණ අධ්‍යක්‍ෂවරු එකිනෙකට වගේම එකිනෙකාට වෙනස්. මේ තුළින් මට ඉගෙනගන්න ගොඩක් දේවල් තිබුණ. වේදිකාවෙන් පස්සෙ මේ දේවල් හරහා මම ලොකු පන්නරයක් ලැබුව. අපිට වඩා ගොඩක් දක්‍ෂ නළුවො ලංකාවෙ ඉන්නව. නමුත් ඔවුන්ට ක්‍ෂේත්‍රයට එන්නවත් අවස්ථාවක් ලැබිල නැහැ. ඒ අතරින් ගත්තාම මම වාසනාවන්ත බව මට දැනෙනව.

නිළියො එක්ක  වැඩ කළාට  බිරිඳට අවුලක් නැහැ - මිලින්ද මඩුගල්ල

● මේ ඔබ ක්‍ෂේත්‍රය මගින් බලාපොරොත්තු වුණ තත්ත්වයද?
මුල් කාලෙ මේ වගේ තත්ත්වයක් ගැන කිසිම අදහසක් තිබුණෙ නැහැ. නමුත් පාසල් යන කාලෙ ඉඳන් මම නළුවෙක් වෙන්න ආසයි. සාහිත්‍ය සංගම්වල විවිධ වැඩසටහන්වලදි අභිරූපණ රංගන වගේ දේවල් මම තනිවම කරනව. කොළඹ පාසලකට ඇතුළත් වීමෙන් පසුව මේ ගැන මගේ උනන්දුව වැඩිවෙනව. වේදිකා නාට්‍ය බලන්න යනව. කලාව ගැන ඉගෙනගන්න උනන්දු වෙනව. මුලින්ම නාලක විතානගේ  මහත්මයාගේ ‘අල්ලපු ගෙදර’ ඩ්‍රාමා එකේ රඟපාන්න මට අවස්ථාව  උදාවෙනව. මුල්ම සීන් එක කරන්න ලැබෙන්නෙ රංජන් රාමනායකත් එක්ක. එතනදි හරි අපූරු දෙයක් සිද්ධ වුණා. මුල්ම ෂූට් එක කරන්න තිබුණෙ පන්සලක් ළඟ. මම ෂෝට් එකකුයි ස්කිනි එකකුයි ඇඳගෙන ඉන්නව. මම සුරේන්ද්‍ර. රංජන් අයියගෙ ගෝලය. කකුලක් උඩින් කකුලක් දාගෙන පත්තරයක් කියව කියව ඉන්නකොට රංජන් අයිය ඇවිත් බයිසිකලය නවත්වනව. එතනදි තියෙන දෙබස කියන්න හැදුවත් මට කියවෙන්නෙ නැහැ. මාව වෙව්ලනව. එතනදි රංජන් අයිය අහනව මල්ලි ෆස්ට් ටයිම් නේද මට බයවෙන්න එපා මම එහෙම එකෙක් නෙමෙයි උඹ ඇක්ට් කරපන් කියල. මං කිව්ව අයියේ ටිකක් උඩ බලන්න කියල. එතන උඩ තිබුණ පන්සලේ රංජන් අයියව බලන්න ආපු සෙනඟ පිරිල. ඒ සෙනඟ දැකල තමයි මාව වෙව්ලන්න පටන්ගත්තෙ.

● මිලින්දගෙ වෘත්තිය රංගනයද?
ඔව් දැනට අවුරුදු තුනක පටන් රංගනය මගේ වෘත්තිය වෙලා. කලින් බැංකු නිලධාරියෙක් හැටියට රැකියාව කළත් ඒ අතර රඟපෑම කරන්න අමාරුයි. එනතදි මගෙ අතින් වෘත්තීන් දෙකටම අසාධාරණයක් වෙනව.

● බැංකුවේ රැකියාව අතහරිනකොට පවුලේ අය විරුද්ධ වුණේ නැද්ද?
බැංකුවේ රැකියාවෙන් මම මගේ අවශ්‍යතා ගොඩක් සපුරාගෙන තිබුණ. ඒ නිසා රංගනයට යොමුවෙන කාලෙ වන විට ලොකු පීඩනයක් තිබුණෙ නැහැ. ඇත්තටම මගේ බිරිඳගෙන් වුණත් විරෝධයක් ආවෙ නැහැ. ඇය කිව්වෙ ඔයා හිතල බලල හොඳ තීරණයක් ගන්න කියල. රැකියාවෙන් ඉවත්වීම ගැන මගේ පසුතැවීමක් නැහැ.

නිළියො එක්ක  වැඩ කළාට  බිරිඳට අවුලක් නැහැ - මිලින්ද මඩුගල්ල


● බිරිඳ ඔබේ නාට්‍ය බලනවද?
ඔව් ඔව්… මැස්සා ටෙලියෙ පූජනී භාග්‍යාත් එක්ක රඟපාපු දර්ශනය දැකල ඇය කියනව අයියේ ඒක මාර ගතිනෙ කියල. අවුල් තැනක් තිබුණොත් මේ කිව්ව වගේම ඒකත් කියනව.

● සිනමා නිර්මාණ?
සිනමා නිර්මාණ දෙකක් එන්න තියෙනව. එකක් සංජීව පුෂ්පකුමාර අයියගෙ ‘විහඟ ප්‍රේමය’ අනෙක උදාර අබේසුන්දරගෙ ‘පබ්ලික් ඩොමේන්’

● ටෙලි නිර්මාණ?
මම මුල්වතාවට ප්‍රධාන චරිතයක් රඟපාන මේනක රාජපක්‍ෂගෙ ‘අහස්. ටෙලිය විකාශනය වීමට නියමිතව තියෙනව. මම” රොෂාන් රණවන” තරින්දි ප්‍රනාන්දු සහ සඳනි ප්‍රනාන්දු තමයි ප්‍රධාන චරිත වෙන්නෙ. මීට අමතරව තුෂාරි අබේසේකරගෙ ‘චන්දූරි’, ඉන්දික ධර්මතිලකගෙ ‘රැහැයියෙක්’, ‘යාදිනි’, නිරෝෂන් ඉලේපෙරුමගෙ ‘ධරණි’ මේ නම නම් දැන් වෙනස් කරල තියෙන්නෙ. අරුණ ජයවර්ධනගෙ ටීවී සීරිස් එකකුත් ඉදිරියේදී විකාශනය වීමට නියමිතව තියෙනව. තවත් නාට්‍ය තුනක සහ චිත්‍රපට තුනක ෂූටින් පටන්ගැනීමට නියමිතව තියෙනව.

● ඔබට වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ටෙලි නාට්‍යවලට?
ඒකට හේතුව තමයි මේ දිනවල වැඩි වශයෙන් න්ෂ්පාදනය වෙන්නෙ ටෙලි නාට්‍ය. සිනමා නිර්මාණ නිෂ්පාදනයට අර්බුදයක් මතුවෙලා තියෙනව. අපේ රටේ තියෙන ලොකුම ඛේදවාචකය තමයි වැසීගිය සිනමා ශාලා වෙනුවට එකක් හෝ අලුතින් එකතු නොවීම. තියෙන ඒවායෙත් වැඩි පහසුකම් තියෙන්නෙ කොළඹ තියෙන ශාලාවල විතරයි. මේ හේතු නිසා නිෂ්පාදකවරු අවදානමක් ගන්න කැමති නැහැ. ඒ වගේම මිනිසුන්ටත් ගෙදරදොර ප්‍රශ්නත් එක්ක සිනමා නිර්මාණයක් රසවිඳින්න තරම් මානසිකත්වයක් නැහැ.

● ටෙලියක් හෝ චිත්‍රපටයක් නිෂ්පාදනයට හෝ අධ්‍යක්‍ෂණයට අදහසක් ඇති?
ඇත්තටම ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න ආසාවක් තියෙනව. චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඊටත් වඩා ආසාවක් තියෙනව. නමුත් එහෙම කරන්න හැකියාවක් තවම නැහැ. අධ්‍යක්‍ෂණය ගැන කතා කළොත් මම තවම ඒකට සුදුසු නැහැ කියලයි මට හිතෙන්නෙ. මුලින්ම නළුවෙක් වෙලා ඉන්න ඕන. මට තව ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනව කියලයි ඒකෙන් අදහස් කරන්නෙ. මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි සහ දර්ශන් ධර්මරාජ් වැනි අය මට්ටමට එන්න මට තව දුර ගමනක් යන්න තියෙනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment