නීතිඥවරියට මහෙස්ත්‍රාත්ගෙන් අවවාද!

2283

මහෙස්ත්‍රාත්වරුන් හා පොලිසිය හොඳින් හඳුනන බැවින් කඩිනමින් ඇප ලබාගත හැකි බවට තැරැව්කරුවකු මාර්ගයෙන් පොරොන්දුවී රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි තරුණ නීතිඥවරියකට හොරණ මහෙස්ත්‍රාත්වරයා පසුගිය 21 වැනිදා විවෘත අධිකරණය හමුවේදී තරයේ අවවාද කළේය.

පෙර කී සැකකරු වෙනුවෙන් මුල් දිනයේදී වෙනත් නීතිඥවරයකු පෙනී සිටි බව දැනගත් එම සැකකරුගේ සහෝදරයකු හමුවී ඇති තැරැව්කරු සිය නීතිඥවරිය හමුවුවහොත් කඩිනමින් ඇප ලබාගත හැකි බව පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් විවෘත අධිකරණය හමුවේ කැඳවූ මහෙස්ත්‍රාත්වරයා නීතිඥවරුන්ගේ හැඳුනුම්කම් මත තම අධිකරණය නියෝග ලබානොදෙන බවත් පෙන්වා දෙමින් එම නීතිඥවරියට තරයේ අවවාද කළේය. තම අධිකරණය අසනු ලබන ප්‍රශ්නවලට සිංහල භාෂාවෙන් පිළිතුරු ලබාදෙන ලෙස අවවාද කරමින් විවෘත අධිකරණය හමුවේදී ඇගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කවුදැයි මහෙස්ත්‍රාත්වරයා විමසා සිටි අතර තමා තනිව වෘත්තීය කටයුතු සිදුකරන බව ඇය ප්‍රකාශ කළාය. ඒ බව ඇගේ ක්‍රියාකලාපය අනුවම තම අධිකරණයට වහාම පැවැදිලි වන බවත් ඉක්මනින් උපයා ගන්නා මුදල් වැඩිකල් රැඳී නොපවතින බව සිහියේ තබා ගන්නා ලෙසටත් ඇයට තවදුරටත් අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා පොලිසිය හෝ තැරැව්කරුවකු යම් නීතිඥවරයකුට අනිසි ලෙස සහය ලබාදෙන්නේ නම් ඔවුනට එරෙහිව තම අධිකරණය දැඩි පියවර ගන්නා බව ද සෙසු ජනතාවට ද පණිවිඩයක් ලැබෙන පරිදි විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේය.

රිය අනතුරක් සිදුකර පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ එම සැකකරු තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කළ මහෙස්ත්‍රාත්වරයා තම අධිකරණය කළ එම අවවාදය වෘත්තීය ගරුත්වය රැකෙන පරිදි කටයුතු කරන සෙසු නීතිඥ මණ්ඩලයට නොව පෙර කී නීතිඥවරියට පමණක් අදාළ වන්නේ යැයි ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment